පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික අතවර කළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකුට වැඩ වරදී !

Deshaya

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය දා වැරදිකරුවන් බවට පත් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහකර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වී ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ‍පසුගියදා නව වනදා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව 2021 සහ 2022 වර්ෂවල පාර්ලිමේන්තුව තුළ සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධව 2023 වසරේ ජූලි හා අගෝස්තු මාසයන් වල පුවත්පතක පළ වූ පුවත් සම්බන්ධයෙන් එවකට හිටපු කථානායකවරයාගේ උපදෙස් මත ත්‍රිපුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කෙරුණු අතර එම විමර්ශන ඔස්සේ සේවකයන් දෙදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මීට අදාළ පරීක්ෂණය පොලිස්පතිතුමා මගින් හා ළමා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යංශය වෙත පැවරී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට අදාළ චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව විනය පරීක්ෂණයක් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය යටතේ සිදුකර ඇති අතර එම විනය පරීක්ෂණයේ වාර්තාවට අනුව මෙම සේවකයන් වරදකරුවන් ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔවුන්ව සේවයෙන් පහ කර තිබේ.

Social Sharing
අවකාශය නවතම පුවත්