රිචඩ් ගේ නාඳුනන පෙම්වතිය – අශෝක හදගම

රිචඩ් ට ඕන තරම් පෙම්වතියන් ඉන්න ඇති. ඒ වගේම පෙම්වතුනුත් ඉන්න ඇති. දැන හෝ නොදැන. ඔහු  මාධ්‍ය කරුවෙක්.  ඒ වගේම ප්‍රවෘත්ති නිවේදකයෙක් සහ නළුවෙක්. ඒ නිසා ඔහුට මනසින් පෙම් කරන්නන්, පෙම් කරන්නියන් අනන්තවත් ඉන්න ඇති. එහෙම එක් පෙම්වතියකගේ චරිතය තමයි  රිතිකා කොඩිතුවක්කු රඟපාන්නේ. ඊට වැඩිය යමක් මේ වෙලාවේ මං කියන්න යන්නේ නැහැ.  සිනමා පටය බලනකොට ඈ ඔබට හමුවෙයි.

ඒ උනාට රිතිකා කියන චරිතාංග  නිරූපිකාව ගැන යමක් කියන්න ඕනේ.

රිතිකා ඉස්සරලාම මට හම්බවෙන්නේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයේ   විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ චරිතයට නිළි වරණය කරද්දී. මේ චරිතය සඳහා ලොකු තිරයේ ඇස නොගැටුණු රූපයක් මට වුවමනා කලා. ඒ එහි ප්‍රධාන භූමිකාව වන  මහාචාර්යවරයා ගේ ෆැන්ටසි ස්ත්‍රිය සඳහා. එය නවක නිළියෙකුට අභියෝගාත්මක චරිතයක්. තමන්ගේ පළවෙනි සිනමා රංගනය, ඉන්දියානු රංගන ශිල්පී ද්රිතිමන් චැටර්ජි සහ මහාචාර්ය බිරිඳ ලෙස රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චි  කියන පල පුරුදු නළු  නිලි යුවළගේ දෛව ස්ත්‍රියගේ භූමිකාව ලෙස ඇය නොබියව රඟපෑවා. ඒ 2014.

ඉන් පසු ‘ඇල්බොරාදා’ චිත්‍රපටියේ පැබ්ලෝ නෙරුදා ගේ මනස කලම්බන සක්කිලි තරුණියගේ භූමිකාවත් ඔබට මතක ඇති. ඇයත් පැබ්ලෝගේ එක්තරා විදිහක ෆැන්ටසියක්.

ඇය චරිත තෝරා බේරාගෙන රඟන්නියක්. ඒ වගේම සිනමාව පමණක්ම තම රංගන සීමාව ලෙස තෝරා ගත්  තැනැත්තියක්. හැමදාම හැම තැනම දකින්න නැහැ. ඒ නිසාම ඇගේ රූපණය චරිතයට අපූර්ව බවක් එක් කරනවා.

රාණි චිත්‍රපටයේ රිචඩ් ගේ නාඳුනන පෙම්වතියක් ලෙස ඇය ඔබට හමුවෙයි.

Social Sharing
නවතම පුවත්