2023 වර්ෂයේ සිට අගුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකුට ඉකුත් 12දා දිවා කාලයේදී, බන්ධනාගාර නිළදාරින් විසින් බරපතල ලෙස පහරදී, ප්‍රථිකාර කිරීමකින් තොරව සිටිනා බවට හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත බන්ධනාගාර නිලධාරින්ගෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ මව විසින් පැමිණිල්ලක්කර ඇත.
මෙලෙස අගුණුකොළපෑලැස්ස බන්ධනාගාර නිළධාරින්ගෙන් පහර කෑමට ලක්ව ඇත්තේ. අම්බලන්තොට, මාමඩල, හංගංවගුර, අංක 51/4 යන ලිපිණයේ පදිංචි 32 හැවරිදි පුංචි පටබැදිගේ චරිත් මධූරංග නැමති අයෙකි.
මොහු 2022 නොවැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනයකදී, සැකකරුවකු ලෙස හම්බන්තොට අධිකරණය විසින් අගුණුකොළපෑලැස්ස බන්ධනාගාරය වෙත යොමුකර ඇති අතර, එදින පටන් මොහුට ඇප ලබා ගැණීමට තම මව විසින් උත්සාහ කර ඇතත්, මොහුට මෙතෙක් ඇප ලබාගැණීමට නොහැකි වී ඇත. මේ අතරතුරු 2025 දූරුතු පෝය දින බන්ධනාගාරයේ පසුවන තම පුත් බැලීමට ගිය මවට දැන ගැනිමට හැකිවූයේ තම පුතුට පෙරදින බන්ධනාගාර නිළදාරින් පහරදී අසාධ්‍ය තත්වයේ සෙල් එකකට දමා ප්‍රථිකාර කිරීමකින් තොරව වසා ඇති බවයි. ඒ පිළිබදව චරිත් මධූරංග යන අයගේ මව වූ රමණි බදුගේ යන අය අප සමග මෙසේ ද කියා සිටීහ.
“පෝයදා මම පුතා බලන්න බන්ධනාගාරයට ගියාම පුතා නෙවේ ආවේ, වෙන දරුවො වගයක්. එයාල මට කීවා චරිත්ට ඊයේ (12දා) දවල් ජේලර් මහත්වරු හොදටම ගහල සෙල් දමල තියෙන්නෙ, එයාට ගොඩාක් අමාරුයි, මෝසන් එකක් දමල අධිකරණයට කරුණු කියල රෝහලකට ගන්න බලන්න කියල ඒ අය මට කීවා. ඊට පස්සෙ මම දූවට මේ ගැන කීවාම මගේ දූව 14දා අගුණුකොලපෑලැස්ස බන්ධනාගාරය වෙත ගොස් චරිත් මධුරංග බලන්න අවශ්‍ය බව කීවාම එයා අද බලන්න බෑහැ කියා ජේලර් කෙනකු කියල තියෙනව. ඊට පස්සෙ මගේ දූව විසින් එම නිලදාරින්ට බලපෑම් කිරීමේ ප්‍රථිපලයක් ලෙස මගේ පුතාව පී.එච් එකට ගෙනවිත් පෙන්නා ඇත. මගේ පුතාට ජේලර් පොඩි මහත්තය කියන මහත්තය සමග තවත් මහත්තුරු පස් දෙනෙක් විසින් අතින්-පයින් පොලුවලින් පහරදී, බිමදමාගෙන කොන්ඩෙන් ඇදගෙන ගොස් ඇති බවත්, ඒ පහරදීමෙන් මගේ පුතාගේ දකුණු කනෙන් ලේ ගලන බවත් ඔළුව හිරි වැටී තිබෙන බවත් පපුව රිදෙන බවත් ඔළුව කෙලින් කරන්න අමාරු බව පවසා, මගේ පුතා විසින් ඇදගෙන සිටි කමිසය ගලවා මගේ දූවට පිට පෙන්නා ඇති අතර, මගේ පුතාගේ පිට පුරාම පොලු පාරවල් දක්නට ලැබුනු බව මගේ දූව විසින් මා සමග කිවුවා. මෙම නිළධාරින් මාගේ පුතාව සෙල් එකට දමල වහල වරින් වර පැමිණ පහර දෙන බවද මාගේ පුතා විසින් ඔහුගේ අක්කා වන මගේ දූවට කියා තියෙනව. ඉන් අනතරුව මා බන්ධනාගාර නිලධාරින් විසින් මගේ පුතාට පහරදී ඇති බව 15දා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථාකර, මාගේ පුතාව ප්‍රථිකාර සදහා රෝහල් ගත කරනා ලෙස ඉල්ලා සිටියා.”
නමුත් මේ වෙනතෙක් ඔහුව රෝහල් ගතකර නොමැත. මා විසින් මේ වනවිට මානව හිමිකම් කොමිසම ඇතුළු වගකිවයුතු සියළුම ආයතන වෙත පැමිණිලි කර ඇති බව ඇය විසින් ප්‍රකාශකර සිටී.