ශ්‍රී ලාංකේය ඉතිහාසයේ බිහිසුණුම බස් – දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 වැනි දින අහුන්ගල්ලේදිය. එයින් පාසල් සිසු සිසුවියන් 38 දෙනකු ඇතුළුව 40 දෙනකු මරුමුවට පත්වීමෙනි. අම්බලන්ගොඩ සිට ඌරගහ දක්වා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගයේදී, අළුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. එකල අහුන්ගල්ල – ඌරගහ මාර්ගයේ ධාවනය වූයේ මෙම බස් රථය පමණි. වර්තමානයේ මෙන් එදා පෞද්ගලික බස්රථ මෙම මාර්ගයේ ධාවනය වූයේ නැත. පොල්අතු පළාත, පතිරාජ පෙදෙස, කටුවිල, නෙල්ලිගොඩ, ගල්වෙහෙර, වැලිකන්ද, බෝගහපිටිය, මරදාන ආදී ප්‍රදේශ රැසක පාසල් සිසු සිසුවියන් අම්බලන්ගොඩ, බළපිටිය, අහුන්ගල්ල ප්‍රදේශයේ පාසල් වෙත ආවේ ගියේ මෙම බස් රථයෙනි. පාසල නිම වී පොත් මිටි තුරුළුකර ගනිමින් කුසගින්නේ නිවෙස් වෙත බලා එමින් සිටි සිසු සිසුවියෝ 38 දෙනකු මෙම අනතුරින් මරණයට පත්වූහ.
මේ අනතුරත් සමඟ එදා අහුන්ගල්ල හා ඒ අවට ගම්මානයන් එකම මළගෙයක් බවට පත් විය. අහුන්ගල්ල පසු කර දුම්රියක් පැමිණෙන බව බොහෝ වාහන හිමියන්ට එදා දැනුම් දුන්නේ අසල්වැසි කාන්තාවකි. ඇය නමින් දයාවතී වුවාය. ඇය මේ වන විට මියගොසිනි. මෙදින ද එම කාන්තාව අත් ඔසවා කෑගසමින් ඒ බව දැනුම් දුන්නත් බස් රථයේ රියැදුරා ඒ බව ගණන් නොගෙන මගීන් පුරවා ගත් බස් රථය නතර කළේ දුම්රිය මාර්ගය මතය.
1980 පෙබරවාරි 08 වැනි දින පුහුණු වන දුම්රිය රියැදුරකු ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට එක් වූ බළපිටියේ ඒ.ආර්. ද සිල්වා මහතා මෙම දුම්රියේ
රියැදුරු ලෙස කටයුතු කරමින් සිටියේය. මෙම අනතුර සිදු වී වසර 36ක් ගතවුවත්, තවමත් බරපතළ තුවාල ලබා ආබාධිත තත්ත්වයේ පසුවන අය මේ පළාත්වල තවමත් ජීවත් වෙති. ඔවුන් කිහිප දෙනෙකුගේ තොරතුරු සෙවීමට පසුගියදා අපි අහුන්ගල්ල, කටුවිල,
නෙල්ලිගොඩ, මරදාන ප්‍රදේශයයන්හි සංචාරයක නිරත විය.
මෙහිදී අදහස් දැක්වූ අහුන්ගල්ල, සී.පී. ද සිල්වා මාවතේ පදිංචි ඩී . සමන් මෙන්ඩිස් (56) මහතා මෙසේ පැවසීය.
‘මම අදටත් බෙහෙත් බොනවා. අත් – කකුල් කඩල ගියා. බඩේ, පපුවේ සැත්කම් කරල තිබෙනවා. මාස 02ක් විතර මම සිහිය නැතුව ඉඳල තිබෙනවා. දැන් ස්නායු ආබාධයක් තියෙනවා. මාසෙකට රුපියල් 2000ක් විතර බෙහෙත්වලට යනවා. අක්කයි , නංගියි ,මමයි ,අම්මයි ඉන්නේ. මම ලෙඩෙක්. අක්කයි නංගියි මම ගැන වෙහෙසෙනවා. ඒ නිසා කවුරුවත් විවාහ වෙලා නැහැ. තාත්තගේ පැන්ෂන් එකෙන් ජීවත් වෙන්නේ. අනතුර නිසා අපේ පවුලම විනාශ වුණා. දැන් කවුරුවත් අපි ගැන සොයල බලන්නෙත් නැහැ.’
ඩී. උෂානි ඉමල්කා ද සිල්වා (54) මෙසේ පැවසුවාය.
‘මේ අනතරින් තුවාල ලැබුවේ මගේ පොඩි අක්කා. ඇය බළපිටිය රේවත ජාතික පාසලේ ඉගෙන ගත්තේ. අනතුර සිදුවන විට 10 වැනි ශ්‍රේණියේ හිටියේ. අනතුරෙන් පොඩි අක්කගේ ඔළුව කොහේ හරි වැදිල. දැන් හරියට සිහියක් නැහැ. පොඩි එකෙක් වගෙයි හැසිරෙන්නේ. කන්න දුන්නොත් කනවා. නැත්නම් ඔහේ ඉන්නවා. කොහේවත් එක්ක යන්න බැහැ. බස් දකින විට බයයි. කෑගහනවා. තාත්තා මැරෙන විටත් කිව්වේ පොඩි අක්ක හොඳින් බලා ගන්න කියල. අපිත් දුප්පත්. පුළුවන් විදියට උදව් කරන්න. අනතුර නිසා අක්කගේ ජිවිතයම විනාශ වුණා.’
අහුන්ගල්ල, කටුවිල පදිංචි අගම්පොඩි ස්වර්ණපාලි ද සොයිසා (51) මෙසේ පැවසුවාය.
‘මට වන්දි හැටියට රුපියල් 75,000ක් දුන්නා. අනතුරින් පස්සේ අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වැටුණා. ඉස්සර දැන්වගේ මේ පාරේ බස් තිබුණේ නැහැ. කිහිලිකරුවෙන් හෝ රෝද පුටුවකින් පාසල් යන්න බැරි නිසා පාසල් ගමන නැවතුණා. අනතුරින් පස්සේ පාසල් ගියේ නැහැ. ඒ කාලේ ඒ ගැන තේරුමක් තිබුණෙත් නැහැ. ඉගෙන නොගත් එකේ පාඩුව දැන් තේරෙනවා. මම ඒ කාලේ හොඳට ඉගෙන ගත්තා. දැන් ඉතින් අපි ගැන කවුරුවත් හොයල බලන්නේ නැහැ. පත්තරවලට විතරයි මෙහෙමවත් අපිව මතක් වෙන්නේ. අපිට ඒ කාලේ ගොඩක් උදව් කළේ මඩිහේ පඤ්ඤ්ඥාසීහ හාමුදුරුවෝ. වලගෙදර අමරවංශ හාමුදුරුවෝත් ගොඩාක් උදව් කළා. අර කෝච්චියේ පැටලිලා තිබෙන්නේ අපේ
අම්මගේ සාරියයි. අම්ම මතක් වෙන විට අදටත් විශාල කනගාටුවක් දැනෙනවා. මේකෙන් අම්මා නැති වුණා. මගේ අක්කා බරපතළ තුවාල ලැබුවා. මගේ වම් පාදයේ දණහිසින් පහළ කොටස ඉවත් කරලා.’
අහුන්ගල්ල, මරදානේ පදිංචි ලියනගේ ජානක පුෂ්ප කුමාර (51) මෙසේ පවසා සිටියේය.
එදා මට බරපතළ තුවාල වුණා. ශරීරයේ වම් පැත්තට ගොඩක් තුවාල වෙලා තිබුණා. වම් අත, වම් කකුල කිහිප තැනකින් කැඩිල තිබුණා. වම් ඇහැටත් තුවාල වෙලා තිබුණා. දැනටත් වම් අත නවන්න දිග අරින්න බැහැ. බඩේ පපුවේ ලොකු ඔපරේෂන් දෙකක් කරල තිබෙනවා. ඉස්කෝල අධ්‍යාපනය කඩාකප්පල් වුණා. මාස 04ක් විතර ගාල්ලේ සහ කොළඹ ඉස්පිරිතාලවල හිටියා. දැන් ඉතින් වෙල්ඩින් වැඩ කරනවා. වැඩිම තුවාල වුණේ මටයි කියලයි කියන්නේ. මට වන්දි වශයෙන් රුපියල් 92,000/-ක් ලැබුණා. අපේ තාත්තා ඒ මුදලත් එක්ක
තාත්තාත් ගාණක් දාල ඒ කාලෙම මගේ නමට ඉඩම් කැබැල්ලක් අරන් තිබුණා. මම දැන් පදිංචි වෙලා ඉන්නේ ඒ ඉඩමේ. අපි ගැන දැන් ආණ්ඩු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අනතුරෙන් විපතට පත්වූවන් තවත් ඉන්නවා.
බළපිටිය විශේෂ – ජයකාන්ත ලියනගේ
දිනමිණ පුවත්පතින් උපුටා ගැනිණි