එමිල් රංජන් පිළිබඳ අතීත මතකයෙන් බිඳක්! – ඉන්ද්‍රානන්ද ද සිල්වා

Indrananda De Silva

FB හි වෛරල් වෙමින් පවතින ඡායාරූපයක ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු සිරකරුවන් 27 දෙනෙකුගේ අමානුෂික ඝාතනයට අදාලව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණීය දණ්ඩනය පනවන ලද, පසුගිය 2024 වසරේ අගෝස්තු මස ශේෂ්ඨාධිකරණ තින්දුවකට අනුව නිදහස ලැබු එමිල් රංජන් නැමති වැලිකඩ බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා වත්මන් අධිකරණ ඇමති අතින් සම්මානයක් ලබා ගන්නා ඡායාරූපයකි. එය උපුටාගෙන ඇත්තේද එමිල් රංජන්ගේම ෆේස්බුක් පිටුවෙනි.

2025 01 03 දිනැති එකී ෆේස්බුක් සටහනෙහි ඇත්තේ තමන් අධිකරන ඇමතිවරයා අතින් ගෞරව සම්මානයෙන්  පුද ලැබු බවකි.

මේ සිදුවීම බොහෝ දෙනා හෙළාදකිමින් පෝස්ට් පළකර ඇත. ඒ අතරින් බහුතරයක්ම සිටිනුයේ මාලිමා පාලනයක් පත් කර ගැනීම උදෙසා නිර්ලෝභීව සිය කාලය ශ්‍රමය ධනය කැප කළ වුන්ය. ඔවුන්  රිදුම් දෙන සිය හෘද සාක්ෂිය මතින් එන හඬට අනුකූලව මේ සිදුවීමට එරෙහිව ලියමින් ඇත. ඒ අතරින් වැලිකඩ ඝාතන සිදුවීම අරභයා පොතක් ලියු කසුන් පුස්සේවෙල මාධ්‍යවේදියා ලියා ඇති පේලි පද හතරකින් යුත්  සටහන ඉමහත් සංවේදී එකකි. ඔහු එහි මාතෘකාවට  ලියා ඇත්තේ “කැතයි, ලැජ්ජයි නින්දිතයි” කියාය. තමන්ට කියා තමන්ගේ අතින්ම මෙම පොත ලබා ගත් ජනාධිපති තුමණි. ජවිපෙ පැලවත්ත මුලස්ථානයේ ඇති ඒ පොතේ පිටු ඉරා අත පිස කුණුකුඩයට දමන ලෙස ඔහු එමගින් ඉල්ලා ඇත.

ඉන්ද්‍රානන්ද ද සිල්වා

මේ සියල්ල මැද එමිල් රංජන් පිළිබඳ මගේ මතකය මෙසේ පෙළගැස්සවීමට සිතුවෙමි…

ඒ වසර 15 ක බරපතල සිරදඬුවමකට  ලක්කර මා වැලිකඩ බන්ධනාගාර ගතකළ 1993 වසරයි. බන්ධනාගාර ගතකර සිටි මා හට අවශ්‍ය වුයේ කෙසේ හෝ ටිල්වින් සිල්වා පුමුඛ සහෝදරවරුන් සිය ගනනක් රඳවා සිටි මැගසින් සිර කඳවුරට මාරුවි යාමටය. ටිල්වින් සිල්වා සහෝදරයා පක්ෂයට හිතවත් බන්ධනාගාර නියාමක වරයෙක් අත රහසේ  මා හට එවන ලද ලියුම් වල තිබුණේ ප්‍රවේශමින් වැඩ කටයුතු කරගෙන යන ලෙසය. ඒ වනවිටත් මැගසින් සිර කඳවුරට එල්ල කළ ප්‍රහාරයකින් මානවඩු නැමති සහෝදරයා මරා දමා තවත් විසිගනනකගේ අතපය කඩා බිද දමා තිබුණි. වැලිකඩ හිරගෙදර ඒ වන විට පසුවුයේ මමත්, අඔගහවත්ත සහෝදරයාත්, පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා ඝාතන සිදුවිමට අදාලව දඬුවම් ලැබ සිටි වික්‍රමසිංහ (විකී ) සහෝදරයාත් පමණි.

මා ඝාතනය කර දැමිමට කළ උත්සාහයක් පිළිබදව “හිරු” පුවත්පතත් “දිවයින” පුවත්පතත් ප්‍රධාන පුවතින් හෙළිකිරිමත්, බන්ධනාගාර සිවිලිමේ සඟවා තබා සිට අසුවු පිහි යකඩ පොලු ආදිය නිසාත්, රතු කුරුස සංවිධානයෙන් නිතර අප පිළිබදව බන්ධනාගාරයට පැමිණ කළ සොයා බැලිම් නිසාත් මා රඳවා සිටි හකර දෙනෙක්ගෙන් යුත් සිර කුටියෙන් ඉවත් කර මා තනි සිර කුටියක රඳවා තබනු ලැබ තිබුණි.

ඒ වනවිට එමිල් රංජන් ජේලර් වරයෙකු ලෙස සේවය කළේද වැලිකඩ බන්ධනාගාරයේය. මා නිතර නිතර  බන්ධනාගාර අධිකාරි මුණ ගැසෙමින් අභියාචනා ඉදිරිපත් කරමින්  කෙසේ හෝ මැගසින්හි රදවා සිටි සහෝදරවරුන් අතරට යා හැකි මාර්ගයක් සොයමින් සිටියෙමි. මා වැලිකඩට ගෙනවිත් මාස  6 ක් ගතව තිබුණද, අභියාචනාවන්ගෙන් කිසිදු පලක් වි නොතිබුණි. එනිසාම බන්ධනාගාර පාලනයට හිසරදකාරයෙක් වන ලෙස හැසිරීමට මා උපක්‍රමික උත්සාහයන් ගනිමින් සිටියෙමි. ඉර එළිය වැදිමට මා රදවා සිටි චැපල් අංශයේ සිරකරුවන් සිර කුටියෙන් එලියට ගන්නේ උදෑසන පැය භාගයක් පමණි. නමුත් ජේලර් වරයා ඒ සදහා ලබා දෙමින් තිබුණේ විනාඩි 15 ක් පමණි. ජේලර් වරුන් සමග බහින් බස් වෙමින් එම නියමිත වෙලාව අප ලබා ගත්තෙමු. රතු කුරුස සංවිධානයට දැනුම් දි ක්‍රිකට් ආම්පන්න ලබා ගෙන නියමිත පැය භාගයේ ක්‍රිකට් ගැසිමට පටන් ගත්තෙමු. නියමිත ප්‍රමිතියෙන් යුතු ආහාර ලබා දෙන ලෙස ඉල්ලා ලබා දුන් ආහාර වර්ජනය කළෙමු. එමිල් රංජන්ලාට මෙය විෂ වි තිබු බව දැන දැනත් විකිලා සමග එකතුව අපි ඒවා ඉටු කර ගත්තෙමු. ටිල්වින් සිල්වා සහෝදරයා නිතර දැනුම් දෙනු ලැබුවේ ආරක්ෂාව පතා මෙවන් අරගලයන්ට නොයන ලෙසය. නායකයෙක් ලෙස ඔහු එසේ පැවසිම අසාධාරන නොවේ. 4 වෙනි තට්ටුව නවකතා පොතේ එන සමහර අවස්ථාවන්හී අනතුරින් ගැලවි ගත හැක්කේ අනතුර මැදටම පැනිමෙන් බව මම විශ්වාස කළෙමි.

මේ සිදුවිම සිදුවුයේ 1994 වසරේය. මා එදිනද බන්ධනාගාර අධිකාරි හමුවට රැගෙන ගොස්  සිටියේ  නියාමක වරුන් දොදෙනෙක් විසිනි. ඒ එන විට ප්‍රධාන ජේලර්වරයාගේ කාමරය දෙසින් සිරකරුවෙක් මහ හඬින් විලාප දෙන හඩක් ඇසි ඒ දෙස බැලුවට දැකගත හැකිවුයේ නිළධාරින් 4 -5 දෙනෙක් එකතුව මගේ සිර කුටියට යාබද සිරකුටියේ රඳවා සිටි සැකකරුවකු ලෙස රඳවා සිටි අයෙකුට අමානුෂික ලෙස පොලු මුගුරු වලින් පහරදෙන අන්දමය.

මද වේලාවකින් අදාල සිරකරු රැගෙන විත් සිර කුටියට දමනු  ලැබීය. කෙඳිරිගාමින් සිටි ඔහුගෙන් මා විමසා සිටියේ පහර දිමට හේතුවය. ඔහු පවසා සිටියේ තමාගේ බිරිඳ පෙර දින තමාව බැලීමට බන්ධනාගාරයට පැමිණ සිටියදී   නිළධාරින් දෙදෙනෙක් ඇයගේ පියයුරු මිරිකමින් කළ නොමනා ක්‍රියාවක් එදින ඇය ඔහුට පැවසු බවත්, තමන් නිළධාරින්ට  බැන වැදිම නිසා ඔවුන් තමාව කාමරයකට දමා එලෙස පහර දුන් බවත්ය.

අහම්බයකට මෙන් ඔහුගේ නඩු විභාගය ඊලග දිනයට යෙදි තිබුණි. මා මගේ සිර කුටියේ සිටම ඔහුට පවසා සිටියේ  නඩුකාරයා හමුවේ මේ අමානුෂික පහරදීමට එරෙහිව යුක්තිය අයැද සිටින ලෙසය. මා ඇසින් දුටු සාක්ෂිකරවෙකු ලෙස සාක්ෂි දීමට සුදානම් බවත්ය. මගේ වචනය ඔහු තදින් විශ්විස කළේය. ඔහු පසු දින උසාවියේදි සිය කමිසය එකවරම ගලවා දමා තමාගේ පිට පුරා ඇති පොලු පහරවල් මහේස්ත්‍රාත් වරයාට පෙන්වා ඇත. බන්ධනාගාර නිළධාරින්ට තදින් බැන වැදි ඇති මහේස්ත්‍රාත් වරයා එදිනම ඔහුව වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වෛද්‍ය වාර්ථාවක් ලබා ගන්නා ලෙසටත්, බන්ධනාගාර අධිකාරිවරයාට නියේගයක් පනවමින් සැක කරුට පහරදීම දෑසින් දුටු බව පවසන මගේ කට උත්තරයක්ද රැගෙන මෙම සිදුවිම ගැන විමර්ශන වාර්ථාවක් කැදවන ලෙසටත් දන්වා තිබුණි.

කිසිවිටෙකදිවත් වැලිකඩ වැනි සිර ගෙවල් වල මෙවන් පහරදිම් ගැන කිසිවෙක් කටක් හොල්ලන්නේ නැත. ඒ බන්ධනාගාර පාලනයේ ඇති කුරිරු භාවය ඔවුන් දන්නා නිසාවෙනි. අනතුර මැදට පැනීම තෝරා ගත් මම එදිනම සිදුවීම ගැන රතු කුරුස සංවිධානයට දන්වා කඩිනමින් මා හමුවීමට එනමෙන් ඉල්ලා සිටියෙමි.

පසු දිනම එමිල් රංජන් මා හමුවට සිරකුටිය අසලට පැමිණ “හමුදා නිල ඇදුමක් ඇඳි අයෙක් ලෙස මේ මොහොතේ බන්ධනාගාර නිළධාරින්ට එරෙහිව කටයුතු නොකරන ලෙස විනීතව මගෙන් ඉල්ලා සිටියේය. අදාල සැකකරු ” කුඩු කාරයෙක් ”  බවද ජවිපෙ සාමාජිකයෙක් ලෙස කුඩුකාරයන්  ආරක්ෂා නොකරන ලෙසත් දැන්වීය. මා එමිල් රංජන්ට  පවසා  සිටියේ සැකකරුවන්ගේ බිරින්දෑවරුන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම ගැන නිළධාරින් ලැජ්ජා විය යුතු බවය.

පසුදින මගේ කට උත්තරය ලියා ගැන්මට මා රැගෙන ගියේද එමිල් රංජන් ලඟටමය. ඔහු යළි යළිත් පෙරදින කියු දෑම පවසද්දී මා ඔහුට පැවසුවේ මගේ කට උත්තරය ලියා ගන්නා ලෙසය. අවසානයේ මගේ කට උත්තරය ලියා ගත් ඔහු ඊට අත්සන් කරන ලෙස මා හට දැන්වීය. ඇති වු සැකය නිසාම ඊට පෙර මට එය කියවා බැලිය යුතු බව මම ඔහුට දැන්වුයෙමි. මා සිතු ලෙසම අත්‍යාවශ්‍ය තැන් මගහැර ඔහු කට උත්තරය ලියා තිබුණි. ඊට අත්සන් නොකළ මම යළි ඒ කොටස් කට උත්තරයට පහලින් හෝ එක්කළ යුතු බව අවධාරනය කළ නිසාම ඒවා යළි ලිවීමට ඔහුට සිදුවිය.

ඊලඟ නඩු දිනය දා බන්ධනාගාරයෙන් ඉදිරිපත් කළ වාර්ථාව බලා මහේස්ත්‍රාත් වරයා පවසා තිබුණේ වෛද්‍ය වාර්ථාවේ ඉතා බරපතල පහරදීම් ගැන සඳහන්ව ඇතත්, බන්ධනාගාර වාර්ථාවේ ඇත්තේ සැකකරුට පහර දුන් බවට ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැති බවය. ඉන්ද්‍රානන්ද ද සිල්වා නැමති සාක්ෂිකරුවා පවා පවසා ඇත්තේ කාට හෝ යම් පහරදිමක් පිළිබද ශබ්දයක් තමන්ට ඇසුනු බවත් එහෙත් එය ඇසින් නොදුටු බවත්ය. බන්ධනාගාරයේ සිදුවන මෙවන් ක්‍රියා ගැන අධිකරණය බලවත් කම්පාවට පත් වන බවද මහේස්ත්‍රාත් වරයා පවසා තිබුණි.

එහෙත් අධිකරනය හමුවේ හඩා වැළපෙමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ “ඉන්ද්‍රානන්ද නැමති සිරකරු ඇසින් දුටු සියල්ලම කට උත්තරයට එක්කළ බව තමන්ට පැවසු බවය. ඉන්ද්‍රානන්ද යනු කුමන වරදකට සිර දඩුවම් විඳින්නෙක්ද යනුවෙන් විමසු විට අදාල පුද්ගලයා ” ඔහු ජේවිපී කෙනෙක් ”   බව පැවසු සැනෙන් මහේස්ත්‍රාත් වරයා පවසා තිබුණේ ඒ මොහොතේම මාව අධිකරණයට රැගෙන එන ලෙසය.

මුලු බන්ධනාගාර පාලනයම බියෙන් තැති ගත්හ. මා බන්ධනාගාර අධිකාරිවරයා හමුවට රැගෙන යනු ලැබිණ. ඔහු  බැගෑපත්ව මගෙන් ඉල්ලා සිටියේ මේ මොහොතේ ඔහු වෙනුවෙන් සිතා යමක් කරන මෙන්ය. ප්‍රතිපත්ති පාවා දීමට කිසි විටෙකදිවත් අප කටයුතු නොකරන බව මම ඔහුට අවධාරනයෙන් යුතුව පැවසුවෙමි. අවසානයේ මා මහේස්ත්‍රාත් වරයාහමුවට රැගෙන යනු ලැබිණි. මා කට උත්තරයට  දුන් සියල්ලම ඔහුට පැවසු විට මද  වේලාවක් කල්පනා කරමින් සිට ඔහු පැවසුවේ මා කට උත්තරය කියවා බලා අත්සන් කළේද යන්නය. එවිට එමිල් රංජන් කළ වංචාවද මා  හෙලි කිරිම නිසා වහාම මාගේ කට උත්තරය ඔහු හමුවට ඒ මොහොතේම රැගෙන එන ලෙස නියෝග කරනු ලැබිනි.

රැගෙන ආ මගේ කට උත්තරය කියවා බැලු මහේස්තුාත් වරයා කෝපයෙන් යුතුව පවසා සිටියේ වහාම බන්ධනාගාර අධිකාරිව තමන් හමුවට පමුණුවන ලෙසය. එතෙක් මා එහිම රඳවා තබා ගන්නා ලදි.

බන්ධාගාර අධිකාරි වරයාට දඬුවම් නොකිරීමට නිදහසට කරුනු ඇත්නම් පවසන්නට ඉඩ දුන් විට ඔහු සිදුවී ඇත්තේ වාර්ථාව ලියු එමිල් රංජන් නැමති ජේලර් වරයා තමන්වත් නොමඟ යවමින් අසත්‍ය වාර්ථාවක් ඉදිරිපත් කර ඇති බවය. දහස් ගනනාවක සිරකරුවන් පාලනය භාරව සිටින තමාට එම කට උත්තර කියවීමට වෙලාවක් නොහැකි නිසාම හා තමන්ගේ පහල නිළධාරින් මත විශ්වාසය තබා කටයුතු කිරීම නිසාම එකි වාර්ථාවට අත්සන් කිරීම නිසාම  මෙකි බරපතල වැරැද්ද සිදුව ඇති බව පැවසු අධිකාරිවරයා ඊට තමන්ට අධිකරනයේ සමාව ලබා දෙන මෙන් අයැද සිටියේය.

බන්ධනාගාර අධිකාරිට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා එමිල් රංජන්ට එරෙහිව ගත් නීතිමය ක්‍රියාමාර්ග සති දෙකක් ඇතුලත අධිකරණයට දන්වන ලෙසටත්, පහරදුන් නිළධාරින්ට නඩු පැවරිමටත් දන්වමින් සාක්ෂි දුන් ඉන්දානන්ද හට කිසිදු අයුරකින් තර්ජනයක් හෝ නොකිරීමට වග බලා ගන්නා ලෙසටත්, ආරක්ෂාව සම්බන්ධව නිසි පියවර ගන්නා ලෙසටත් දැන්විය.

එමිල් රංජන් නිලයෙන් පහකර වෙනත් බන්ධනාගාරයකට මාරු කර හරිනු ලැබු අතර, දින දෙකකින් හෝ තුනකින් පසුව මාවද මැගසින් බන්ධනාගාරයට මාරු කර හරිනු ලැබිනි..

එමිල් රංජන්ලාගේ හිරිකිත පැටිකිරිය එබඳුය. උන්ට ගෞරව සම්මාන දෙන මාලිමා ආණ්ඩුව මේ අවමානයට ලක්කරනුයේ හර්ෂණ නානායක්කාරලාගේ කෙරුවාව නොව මිනිමරු පාලනයකට එරෙහිව අවදානමද නොතකා අරගලයට බට ජනතාවකගේ හෘද සාක්ෂියය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග