පරිසර දුෂණය නිසා කඩවන මානව අයිතිවාසිකම්

පරිසර දුෂණය මානව හිමිකම් සහ සත්ත්ව අයිතිවාසිකම් කෙරෙහි බලපානුයේ කෙසේද?

සංවර්ධනය හා නාගරීකරණය

රටක් සංවර්ධනය කරා යන ගමන් මාර්ගයේ එක් ප්‍රධාන අංගයක්වනුයේ නාගරීකරණයයි. මිනිසුන් ග්‍රාමීය ප්‍රදේශවලින් නගරයට සංක්‍රමණය වීම හරහා හෝ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් යනාදිය වැඩි දියුණු වීමත් සමග එම ප්‍රදේශයට පෙරට වඩා වැඩි ජන සංඛ්‍යාවක් සංක්‍රමණයවන ක්‍රියාවලිය නාගරීකරණය ලෙසට හැඳින්විය හැකිය.

නාගරීකරණය නිසා කැලි කසල බැහැර කිරීමේ ගැටලුව, ස්වභාවික ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම, රථවාහන අධික වීම නිසා වායු දුෂණය හා කාබන් විමෝචනය ඉහල යාම, ශබ්ධ දුෂණය යනාදී පාරිසරික ගැටළු රාශියකට මුහුණ දීමට ප්‍රජාවන්ට සිදු වේ. එමෙන්ම නිවාස ගැටලුව වැනි සාමාජිය ක්ෂේත්‍රයන්හිද ගැටළු ඇතිකරවීමට නාගරීකරණය සමත් වේ. නාගරිකරණයත් සමගින් ඇතිවන මෙම ගැටළු ගෝලීය වශයෙන් දැකිය හැකිය.

නාගරීකරණය හමුවේ භූමියේ එතෙක් වාසය කරන ලද ශාක සහ සත්ත්ව ප්‍රජාවන් යම් බලපෑමකට ලක්වීමේ හැකියාවක් පවතී. එසේ ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ට සිදුවන බලපෑම අවම කර ගනිමින් නාගරීකරණය වෙත යොමුවීම සඳහා බොහෝ රටවල් වර්තමානයේදී පෙළඹී ඇත. මෙහිදී නාගරික තෙත්බිම් (Urban Wetlands) සංකල්පය ඉතා වැදගත් වේ. නගර ඉදිකිරීමේදී මිනිසුන්ට සහ පරිසරයට බොහෝ ප්‍රතිලාභ ලබා දෙන තෙත්බිම් එම නගරවලම කොටසක් ලෙසට පවත්වාගෙන යමින් කරන ඉදිකිරිම නාගරික තෙත්බිම්කරණය ලෙස හැඳින්විය හැකිය. මෙහිදී එම තෙත්බිම් තුළ එතෙක් පැවති පරිසර පද්ධතිය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාම හෝ එහි ජෛව විවිධත්වයට සහ පරිසර පද්ධතියට හානි නොවන ලෙස සුළු වෙනසක් කිරීමෙන් අනතුරුව පවත්වාගෙන යාම සිදුවේ.

තිරසාර සංවර්ධනය හා පරිසරය

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට පවා තෙත්බිම් හා බැඳුනු පරිසරයේ වැදගත්කම ඇතුලත් වී තිබේ. ඒ අනුව තිරසාර සංවර්ධන ඉලක්ක  (Sustainable Development Goals) 6, 11, 13, 15 හරහා තෙත් බිම්වල වැදගත්කම වඩාත් ඉස්මතු කර තිබේ. දැන් දැන් ලෝකයේ සංවර්ධිත රටවල් පවා මෙම නාගරික තෙත්බිම් සංකල්පය අනුගමනය කිරීමට යොමු වී තිබෙන අතර ඊට උදාහරණ වශයෙන් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය, යුරෝපයේ විශාලතම නාගරික තෙත්බිම් ස්වභාවික රක්ෂිතයවන නැගෙනහිර ලන්ඩනයේ වෝල්තම්ස්ටෝහි (Walthamstow) පිහිටි තෙත් බිම යනාදිය ගත හැකිය. ශ්‍රී ලංකාවේද එවැනි තෙත්බිම් නගර කිහිපයක් තිබෙන අතර ඉන් බැද්දගාන තෙත් බිම් උද්‍යානයට හිමිවනුයේ ඉතා සුවිශේෂී ස්ථානයකි.

බැද්දගාන තෙත්බිම

අගනුවර මැද තෙත් බිම නැතහොත් බැද්දගාන තෙත් බිම් උද්‍යානය, ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ ගොඩනැගිලි වලින් පිරුණ නාගරික පරිසරයක් මැද තිබෙන ජෛව විවිධත්වයෙන්  අනූන වූ සංවේදී පරිසර කලාපයකි. බැද්දගාන තෙත්බිම් උද්‍යානය මහජනතාවට විවෘත වන්නේ 2016 වසරේදීය. මහජනතාවට තම කාර්යබහුල නාගරික ජීවිතයෙන් මිදී සොබාදහමේ නිස්කලංක බව විඳිය හැකි සුන්දර පරිසර පද්ධතියක් ලෙසට කටයුතු කරන බැද්දගාන තෙත් බිම් උද්‍යානයේ මුළු බිම් වපසරිය අක්කර 40ක් පමණ විශාල වේ. නාගරික සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව බැද්දගාන තෙත්බිම තුළ ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම තර්ජනයට ලක් වූ ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක්ම හමුවේ. ඒ අතර කුරුලු විශේෂ 80ක්, සමනලුන් වර්ග 50ක්, කූරන් වර්ග 35ක්, මත්ස්‍යයින් වර්ග 20ක්, ශීරපායීන් වර්ග 10ක්, උභය ජීවීන් වර්ග 05, ශාක වර්ග 100ක් යනාදී ලෙස වාර්තා වී ඇත. හඳුන් දිවියා (fishing cat) වැනි නාගරික පරිසරයක් තුල තර්ජනයට ලක්ව සිටින සතුන්ට ආරක්ෂාව සළසමින් අභය භූමියක් ලෙස කටයුතු කරන බැද්දගාන තෙත් බිම් උද්‍යානය සොබාදහම විසින් පැවරූ සිය වගකීම හොඳින් ඉටුකරන අතරම  කොළඹ නගරයේ උණුසුම අඩු කිරීම, ගංවතුර පාලනය කිරීම වැනි තවත් පාරිසරික සේවාවන් බොහොමයක් සඳහාද දායක වේ.

තෙත් බිමෙහි සිටින කුරුල්ලන් නැරඹීමට ඉදිකළ කුළුන සහ ලී වලින් සෑදූ ඇවිදීමේ මංතීරු

 

දියවන්නා ඔය ජලාශය

වර්ෂ 1979 දී නිර්මාණය කරන ලද දියවන්නා ඔය ජලාශය මධ්‍යයේ තිබෙන කෘතීම දුපතක ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුව ඉදිකර තිබෙනු දක්නට ලැබේ. දියවන්නා ඔය ජලාශය දුපත් 8කින් සමන්විතවන අතර දියත උයන උද්‍යානයද මෙම වැව ඉවුරේ ඉදිකර ඇත.

පාර්ලිමේන්තු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය (ජල ද්‍රෝණිය) ට අයත්වන පෝෂක ප්‍රදේශ 4ක් තිබේ. ඒවා නම් කඩුවෙල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොළොන්නාව, මහරගම යන නගර සභා බල ප්‍රදේශයි. ඉන් වැඩිම ඇළ මාර්ග ප්‍රමාණයක් අයිති වන්නේ කඩුවෙල නගර සභා බල ප්‍රදේශයටයි. ඉහත ජල ද්‍රෝණිය හරහා ගලා එන සියලු ජලය, කිඹුලාවල ප්‍රදේශය, දියසරු උයන ප්‍රදේශය, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ප්‍රදේශය, බැද්දගාන තෙත් බිම් උද්‍යානය ප්‍රදේශය, පිංනියර ප්‍රදේශය, Bird Park ප්‍රදේශය යනාදී ප්‍රදේශවල පිහිටි අතුරු ඇළ මාර්ඝ හරහා දියවන්නා ඔය ප්‍රධාන ජලාශය වෙත ප්‍රවේශ වේ. පාර්ලිමේන්තු ජලාශයට එක්රැස්වන අතිරික්ත ජලය දියත ප්‍රදේශයෙන් ඉවතට ගලා ගොස් කොළොන්නාව ඇළ මාර්ගය හා කෝට්ටේ ඇළ මාර්ගය හරහා කිරුළපන ඇළ ප්‍රදේශයෙන් සාගරය බලා ගමන් අරඹයි.

බැද්දගාන තෙත්බිම් උද්‍යානය සහ දියවන්නා ඔය යනු සොබා සෞන්දර්‍යය විඳිය හැකි ස්ථානයන් පමණක් නොව නාගරික සංරක්‍ෂණයේද සංකේතයකි. කෝට්ටේ මහා නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ සඳහා අවශ්‍යය ජලය ලබා ගැනීමේ ප්‍රධාන ජල මුලාශ්‍රයක් වනුයේද මෙම දියවන්නා ඔය ජලාශයයි. එමෙන්ම තෙත්බිම් හරහා ඉදිකර තිබෙන ඇවිදින මංතීරු මිනිසුන්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම කෙරෙහි ඉතා විශාල මෙහෙයක් ඉටුකරනු ලබයි.

 

මානව ක්‍රියාකාරකම් නිසා වැනසෙන පරිසරය

පාරිසරික හා සාමජිය වශයෙන් ඉතා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබන දියවන්නා ඔය සහ බැද්දගාන තෙත්බිම් පරිසර පද්ධතිය වෙත අපද්‍රව්‍ය සහ අපජලය මුදාහරිමින් සිදුකරනු ලබන මානව ක්‍රියාකාරකම් නිසා මේ වන විටත් ප්‍රදේශයේ සුන්දරත්වයට මෙන්ම තෙත්බිම් ආශ්‍රිත පරිසර පද්ධතියට විශාල බලපෑමක් සිදු කෙරෙමින් පවතී.

අපජලය මුදාහැරිම

උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) සඳහන් කරන පරිදි වර්ෂ 2021 දී පාර්ලිමේන්තු ජලාශයට අයත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ අකුරේගොඩ ප්‍රදේශයේ ඇළ මාර්ගවල මින් පෙර නොතිබූ ආකාරයක විශාල ඇල්ගී වර්ධනයක් දැකිය හැකි විය.  ඊට හේතු සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යංශය විසින් කරන ලද අධ්‍යයනයකදී හෙළි වූ කරුණු අනුව අනාවරණය වූ එක් කාරණයක් වනුයේ ඇතැම් අපජල පවිත්‍රාගාරවලින් (Sewage Treatment Plants) බැහැර කෙරෙන අපජලය නිසි ලෙස පිරිපහදු නොකර ඇළ මාර්ග වෙත මුදා හැරෙන බවයි. බොහෝ ගොඩනැගිලිවල අපජල පවිත්‍රාගාර නොතිබුණු අතර තිබෙන ඇතැම් ඒවායින්ද අපජලය නිසි ලෙස පිරිපහදු වීම සිදු වී නොතිබිණි. එම ප්‍රදේශවල ගොඩනැගිලි තුලින් බැහැර කෙරුණු මලාපවාහන මුසු අපජලය (Black Water) සහ අනෙකුත් අපජලය (Grey Water) ඇළ මාර්ඝ වෙත එක් වී තිබේ. එම අපජලය හරහා නයිට්‍රේට් සහ පොස්පේට් යන සංඝටක එක් විමෙන් එම ඇල්ගී වර්ධනය සිදුව ඇති බව අවසානයේ තහවුරු කර ගැනීමට හැකි විය.

එසේ ජලය මතුපිට ඇල්ගී ඇතිවීම ජලාශ්‍රිත පරිසරයේ වෙසෙන සත්ත්වයින්ගේ සහ ශාකවල පරිසර ක්‍රියාවලිය (Eco System) කෙරෙහි බලපෑම් ඇතිකරනු ලබයි. එහිදී සිදුවනුයේ ජලය මතුපිට ඝන තීරුවක් මෙන් ඇල්ගී ක්‍රියාත්මක වී ජලය අභ්‍යන්තරයට හිරු එළිය සහ ඔක්සිජන් ගලා යාම අවහිර කිරීමයි. ඒ හරහා අභ්‍යන්තරයේ වෙසෙන ජලජ ජිවින්ට සහ ශාකවලට අවශ්‍ය හිරු එළිය සහ පෝෂණය යනාදිය ලබා ගැනීම අවහිරවනු ඇත. එය එම සත්ත්වයින්ගේ සහ ශාකවල පැවැත්මට ප්‍රභල තර්ජනයකි.

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ අකුරේගොඩ ප්‍රදේශයේ ඇළ මාර්ගවල ඇතිවූ ඇල්ගීවල එම අවස්ථාවේ විෂ සහිත (Toxic) ස්වභාවයක් නොතිබුණද, ලෝකයේ බොහෝ රටවල මෙලෙස ඇතිවන ඇල්ගී විෂ සහිත (Toxic) ස්වභාවයක් ගනී. ඒ හරහා ස්වසන අපහසුතා සහ ආසාත්මිකතා ඇතිවීමට හැකියාවක් ඇති බැවින් ඇතැම් අවස්තාවලදී එවැනි ඇල්ගී තිබෙන ප්‍රදේශයන් වෙත මිනිසුන්ට ප්‍රවේශ වීමද තහනම් කරනු ලබයි.

විෂ සහිත ඇල්ගී ඇතිවීම නිසා කැලිෆෝනියාවේ නැගෙනහිර බොක්ක ප්‍රදේශයේ විලක් ඉදිරියේ සවිකර තිබෙන අනතුරුදායක පුවරු

 

විෂ සහිත ඇල්ගී ඇතිවීම නිසා කැලිෆෝනියාවේ නැගෙනහිර බොක්ක ප්‍රදේශයේ විලක් ඉදිරියේ සවිකර තිබෙන අනතුරුදායක පුවරු

 

එක් උදාහරණයක් ලෙසට විෂ සහිත ඇල්ගී ඇතිවීම නිසා කැලිෆෝනියාවේ නැගෙනහිර බොක්ක ප්‍රදේශයේ  ජනප්‍රිය විල් දෙකක් වසා දැමීමේ සිදුවීම ගත හැකිය. විෂ සහිත ඇල්ගී ඇතිවීම කැලිෆෝනියාවේ විවිධ ජල මාර්ගවල තිබෙන පාරිසරික ගැටලුවකි.

ඊට අදාළ පුවතේ වීඩියෝව නරඹන්න:

ඒ අනුව බලන කළ එවැනි ඇල්ගී ඇතිවීමට හේතුවන පරිදි අපජලය ජල මාර්ග වෙත මුදාහැරිම යනු පොදු මහජනතාවගේ සෞඛ්‍යය මෙන්ම සත්ත්ව සහ ශාක ප්‍රජාවන්ගේද ජිවිත අනතුරේ හෙළීමකි.

මානව ක්‍රියාකාරකම් නිසා ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ අකුරේගොඩ ප්‍රදේශයේ ඇළ මාර්ගවල ඇතිවූ එම ඇල්ගී වර්ධනය පාලනය සඳහා පරිසර අමාත්‍යංශයේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) හරහා ව්‍යාපෘතියක් පසුව ආරම්භ කරනු ලැබිය. අපජලය එන ස්ථාන හඳුනා ගෙන ඒවා නියාමනය කිරීමත්, ඒ වන විට පැමිණ තිබුණු අපජලය පිරිපහදු කිරීමත් එහි ප්‍රධාන කාර්යයන් විය. අපජලය පිරිපහදු කිරීමේ ස්වභාවික ක්‍රමවේදයක් (Nature Based Solutions) ලෙස පාවෙන තෙත්බිම් (Floating Treatment Wetlands) සංකල්පය ක්‍රියාවට නංවනු ලැබිය. ඒ හරහා සිදුවනුයේ ජලයේ තිබෙන නයිට්‍රේට් පොස්පේට් එම පාවෙන තෙත්බිම්හි ඇති ශාක හරහා උරා ගෙන ජලයේ ගුණත්වය ඉහළ නැංවීමයි. මෙම පාවෙන තෙත්බිම් සඳහා යොදා ගනුයේ නයිට්‍රජන් පොස්පරස් උරා ගැනීමේ ඉහළ හැකියාවක් ඇති ශාකයන්ය.

මේවන විටත් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) විසින් දියවන්නා ඔයෙහි ජලයේ ගුණත්වය පවත්වාගෙන යාම සඳහා විවිධ ව්‍යාපෘති සිදු කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාව මගින්ද ආරක්ෂක මූලස්ථාන ප්‍රවේශය අවට තෙත් බිම් සඳහා ‘පාරිසරික පාවෙන දූපත්’ හඳුන්වා දීමේ වැඩසටහනක් සිදුකර තිබේ. 

 

පාරිසරික පාවෙන දූපත්

 

පාරිසරික පාවෙන දූපත්

ජපන් ජබර ශාකය හරහාද නයිට්‍රජන් පොස්පේට් උරාගන්නා බැවින්, ඇල්ගී පාලනය සඳහා එම ශාකයද ඒ මොහොතේ යොදා ගනු ලැබිය. ඇළ මාර්ගවල මේවන විටත් තිබෙන, දැනට ඉවත් කරමින් පවතින ජපන් ජබර ශාකය සම්පුර්ණයෙන් එම ඇළ මාර්ගවලින් ඉවත් නොකර ජලාශයට ප්‍රවේශවන ඇළ මාර්ගයේ තැනින් තැන රැඳීමට සළස්වා ඒ හරහා ස්වාභාවිකවම ජලය පිරිපහදු වීමට ඉඩක් ඇතිකර දී තිබේ.

ලිපියට අදාළ කරුණු සොයා බැලීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවේ යන අතරතුර මාදිවෙල ප්‍රදේශයේදී මහජනතාව දැක්වූ අදහස්වලට අනුව අනාවරණය වූ තවත් ප්‍රධාන කරුණක් වනුයේ ඇතැම් පුද්ගලයන් සිය නිවසේ මලාපවාහන අපද්‍රව්‍ය අසළ තිබෙන කුඩා ඇළ මාර්ඝ වෙත යොමුකර ඇති බවයි. එම ඇළ මාර්ඝ සියල්ලක්ම පාහේ යොමු වී තිබෙනුයේ දියවන්නා ඔය වෙතය. ඇතැම් ඇළ මාර්ගවල ජලය යම් ස්ථානවලදී ගලායාම වේගවත්ව සිදු නොවී නිශ්චලව පැවතීමද දැකිය හැකි විය. එමෙන්ම ඇතැම් ඇළ මාර්ගයන් දැනටමත් වී වගා කෙරෙන කෙත්වතු සහ පලා වර්ග වගාකර තිබෙන භූමින් මැදින් ගලා බසිනු දැකිය හැකි විය. වගා කටයුතු සහ පශු සම්පත් ආශ්‍රිත කටයුතු සඳහා ඇතැමුන් එම ජලය භාවිතා කරයි. නිවෙස්වල මලාපවාහන අපද්‍රව්‍ය හා අපජලය සෘජුවම ඇළ මාර්ග වෙතට මුදා හැරීම යනාදී කරුණු එසේ සිදුවනවිට, එය දියවන්නා ඔයේ අඩංගු ජලයේ ගුණාත්මකභාවය සහ මහජන සෞඛ්‍යය සුරක්ෂිතවිම සම්බන්ධව ප්‍රභල ගැටළුවක් ඉස්මතු කරයි.

 

එහිදී තවත් ප්‍රදේශවාසියෙක් “මම දවස් දෙකක්ම දැක්කා පෞද්ගලික ආයතනවලින් ක්‍රියාත්මක කෙරෙන ගලී බවුසර්වලින් මේ ස්ථානයට ඇවිත් ඒවායේ තිබෙන මලාපවාහන අපද්‍රව්‍ය ඇළට මුදා හරිනවා. මිනිස්සු එතනින් යනකොට එයාලා හැසිරෙන්නේ ඇළ මාර්ඝයෙන් වතුර ගන්නවා වගේ. හැබැයි එයාලා ඇළ මාර්ඝයට ගලී බවුසර්වල තියෙන මලාපවාහන අපද්‍රවය මුදාහරිනවා.” යනාදී ලෙස සඳහන් කරමින් ඔහුගේ අදහස් ප්‍රකාශකර සිටියේය. ඔහු සඳහන්කළ පරිදි ඇළ මාර්ගයේ අදාළ ස්ථානය ගැන වැඩිදුරටත් සොයා බැලීමේදී එම ස්ථානය අසල නිතරම දුගඳක් වහනයවන බවක් දැන ගන්නට ලැබිණි.

 

ඒ අනුව එක් ස්ථානයක රැස්වූ අපජලය නිසා ඒ අසල සිටින ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට පවා තර්ජනයක් ඇති කළ හැකිය. බලධාරීන්ගේ අවධානය මේ කාරණා කෙරෙහි යොමු විය යුතුය.

මහවැලි ගඟ වෙතද මලාපවාහන අපද්‍රව්‍ය මුදා හැරීමේ සිදුවීමක් පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර මෙවැනි පරිසර විරෝධී හැසිරිම් රටාවලට එරෙහිව ශක්තිමත් නීති රීති සකස් විය යුතු බව බොහෝ පරිසරවේදීන් සහ මහජනතාව දරණ මතයයි.

අපජලය මුදාහැරීමට අමතරව ඝන අපද්‍රව්‍ය (Solid Waste) නිසිලෙස කළමනාකරණය නොකිරීම නිසාද දියවන්නා ඔයේ ජලය හා තෙත් බිම් ප්‍රදේශ දුෂණයට ලක් වී තිබෙනු දැකිය හැකි විය. එමෙන්ම එළිමහනේ කුණු පිළිස්සීම (Open Burning) වැනි ක්‍රියාකාරකම් හරහා තෙත් බිම් ආශ්‍රිත පරිසරයට අහිතකර වායුන් මුදා හැරීම යනාදියද සිදු වේ. ඒ හරහා එම පරිසර ආශ්‍රිතව වෙසෙන සංවේදී ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ගේත්, මිනිසුන්ගේත් සෞඛ්‍ය කෙරෙහි බලපෑමක් ඇති කෙරෙනු ඇත.

කුඹුරු සහ වෙනත් වගා බිම් සඳහා යොදන රසායනික ද්‍රව්‍ය මෙම ඇළ මාර්ගයන් වෙත එක්වීමද තෙත් බිම් ආශ්‍රිත ජලයේත් පසෙහිත් ගුණත්වය හා පරිසර ක්‍රියාවලිය කෙරෙහිත් අයහපත් ආකාරයෙන් බලපෑම් ඇතිකරලීමට හේතු වී තිබේ.

මානව ක්‍රියාකාරකම් නිසා දියවන්නා ඔයේ ලවණතාවය ඉහළ යාමෙන් තෙත් බිමේ වෙසෙන මත්ස්‍යන්ගේ සහ අනෙකුත් ජලජ සත්ත්වයන්ගේ ගහනයේ වෙනස්කම් ඇති වී තිබීම තවත් ගැටලුවකි. ලවණතාවය ඉහළ යාම කෘෂිකාර්මික වගාවන් කෙරෙහිද බලපෑම් ඇතිකරනු ලබයි.

2016 අප්‍රේල් මාසයේ සිට දියවන්නා ඔයේ ජලයේ ගුණාත්මක බව නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියැදි ස්ථාන අටක් තෝරාගෙන ඇත.

 

පොලිතින් සහ ප්ලාස්ටික් පරිසරයට මුදා හැරීම

බැද්දගාන තෙත් බිම් උද්‍යානය තෙත් බිම් පරිසර පද්ධතියක එක කොටසකි.  දියසරු උද්‍යානය, දියවන්නා ඔය ජලාශය, දියත උයන, ප්‍රදේශයේ තිබෙන අනෙකුත් කුඩා ඇළ මාර්ග යනාදිය සමඟ බැද්දගාන තෙත් බිම් උද්‍යානයද ජලයෙන් එකිනෙක සම්බන්ධ වී තිබේ. නාගරික කෝට්ටේ ප්‍රදේශයේ ඇතැම් නිවෙස්වලින් ඇළ මාර්ග වෙත බැහැර කෙරෙන පොලිතින්, හිස් බෝතල් සහ වෙනත් අපද්‍රව්‍ය යනාදිය බොහෝ විට ගලාගෙනවිත් බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ සිර වී තිබීම දැකිය හැකිය. බොහෝ දුරක සිට යම් පුද්ගලයෙක් දියවන්නා ජල මුලාශ්‍රයට අයත් කුඩා හෝ ඇළ මාර්ගයක් වෙත දමන කුඩා ටොෆි කොලයක්, ප්ලාස්ටික් බෝතලයක් පවා සුළඟ ආධාරයෙන් ජලයේ ගසගෙනවිත් මෙම බැද්දගාන තෙත්බිම් පරිශ්‍රය වෙත පැමිණිය හැකිය. එය එහි වාසය කරන සතුන්ගේ පාරිසරික ක්‍රියාවලියටද අහිතකර අන්දමින් බලපා තිබේ. දිරාපත් නොවන කුඩා පොලිතින් දවටන සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බොහොමයක් දීයවන්නා ඔය ජලාශය ඉවුරේද බහුලව දැකිය හැකිය.

දියවන්නා ඔයේ සිට ගසාගෙන ආ පොලිතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍යය, උද්‍යානයේ විල මත රැඳී තිබෙන අයුරු

 

දියවන්නා ඔයේ සිට ගසාගෙන ආ පොලිතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍යය, උද්‍යානයේ විල මත රැඳී තිබෙන අයුරු

 

ප්‍රවේශ මාර්ග අවට කුණු දැමීම 

බැද්දගාන තෙත් බිම් පරිසරයට ප්‍රවිෂ්ඨවන මාර්ඝය දෙපස සහ දියවන්නා ඔය ජලාශය ආශ්‍රිත පරිසරයට කුණු දැමීම අනෙක් ප්‍රධාන ගැටලුවයි. ඉවත දමන ටයරයේ සිට විදුරු බෝතල් දක්වා විවිධ ප්‍රමාණයන්ගෙන් අපද්‍රවය මෙම මාර්ඝය දෙපස දමා ගොස් තිබීම දැකිය හැකිය. එම අපද්‍රව්‍ය කානු පද්ධතිවල සිරවූ පසු ක්‍රමවත් ලෙස ජලය බැස නොයාමෙන් හා එම අපද්‍රව්‍ය මත ජලය එක්රැස් වී ඒ තුළ මදුරුවන් බෝ වීම ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යය කෙරෙහිද බලපෑමක් ඇති කර තිබේ.

බැද්දගාන තෙත් බිම් උද්‍යානය වෙත එන මාර්ඝ්යේ දියවන්නා ඔය ඉවුරත් මාර්ඝයත් අතරට ගෙනවිත් දමා තිබෙන කුණු
බැද්දගාන තෙත් බිම් උද්‍යානය වෙත එන මාර්ඝ්යේ දියවන්නා ඔය ඉවුරත් මාර්ඝයත් අතරට ගෙනවිත් දමා තිබෙන කුණු

 

බලධාරීන් විසින් කොතෙකුත් උත්සාහ දැරුවද ඇතැම් පුද්ගලයන්ගේ වගකීම් විරහිත හැසිරීම සමස්ත පරිසර පද්ධතිය කෙරෙහිම ගැටළු ඇතිකර වීමට සමත්ව තිබේ. කෝට්ටේ මහ නගර සභාව විසින් සෑම සතියකම දින කිහිපයකට වරක් කුණු රැගෙන යාමේ රථ ප්‍රදේශයේ නිවෙස්වලට එවද්දීත්, දියවන්නා ඔය සහ බැද්දගාන තෙත් බිම අසල මාර්ගයට කුණු දැමීම වැනි මානව ක්‍රියාකාරකම් තවමත් සක්‍රියව සිදුවෙමින් පවතී.

 

තෙත් බිමෙහි තිබෙන විල සහ කුරුල්ලන් නැරඹීමට ඉදිකළ කුළුන

 

පරිසර දුෂණය හා මානව හිමිකම්

පරිසර දුෂණය හරහා කඩවන ප්‍රධානතම මානව අයිතියවනුයේ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් තුළ ජීවත්වීමට මිනිසාට ඇති අයිතියයි. පරිසර දූෂණය මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සහ ජීවන තත්ත්වයට තර්ජනයක් වෙමින් මානව වර්ගයාගේ යහ පැවැත්ම කෙරෙහි සෘජුවම බලපෑම් කරනු ලබයි.

පරිසර දුෂණය මානව හිමිකම් කෙරෙහි බලපෑම් කරනු ලබන ආකාරය.
1. සෞඛ්‍ය අයිතිය (Right to Health)
වාතය, ජලය සහ පස දූෂණය වීම නිසා මිනිසුන් හානිකර විෂ ද්‍රව්‍යවලට නිරාවරණය වන අතර එමඟින් රෝග, ශ්වසන අපහසුතා සහ ජලයෙන් බෝවන රෝග යනාදිය ඇති වේ. මෙය සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කරයි.
2. ජීවත්වීමේ අයිතිය (Right to Life)
දරුණු පරිසර දූෂණය මිනිසුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන තත්වයන්ට හේතු විය හැක. නිදසුනක් වශයෙන්, දූෂිත පානීය ජලය හෝ හුස්ම ගත නොහැකි වාතය සමහර රටවල වෙසෙන ජනතාවගේ මරණවලට හේතු වී ඇති අතර එය මිනිසුන්ගේ ජීවත්වීමේ මූලික අයිතිය උල්ලංඝනය කරයි.
3. පිරිසිදු ජලය සහ ආහාර සඳහා අයිතිය (Right to Clean Water and Food)
ජලය සහ පාංශු දූෂණය කෘෂිකර්මාන්තයට හානි සිදු කරයි. පිරිසිදු ජලය සහ පෝෂ්‍යදායී ආහාර සඳහා මිනිසුන්ට ප්‍රවේශ වීම අඩු කරයි. මෙය ආරක්ෂිත පානීය ජලය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා ජනතාවගේ අයිතියට බලපායි.
4. නිවාස අයිතිය (Right to Housing)
ගංවතුර සහ විෂ සහිත අපද්‍රව්‍ය බැහැර කිරීම් වැනි දූෂණයෙන් උග්‍ර වන පාරිසරික විපත්, මිනිසුන්ට තම නිවෙස්වලින් අකමැත්තෙන් නමුත් ඉවත් වීමට බල කරයි. ඒ හරහා ප්‍රමාණවත් නිවාස සඳහා ඇති අයිතිය උල්ලංඝනය කරයි.
5. සංවර්ධනයේ අයිතිය (Right to Development)
පරිසර දූෂණය බොහෝ විට ආන්තික ප්‍රජාවන්ට අසමාන ලෙස බලපායි. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ආර්ථික අවස්ථා වැනි සම්පත් වෙත ඔවුන්ගේ ප්‍රවේශය සීමා කරයි. මෙය තිරසාර සංවර්ධනයට සහ සමානාත්මතාවයට බාධා කරයි.
6. රැකියාවක් කිරීමේ අයිතිය (Right to Work)
පාරිසරික හායනය ගොවිතැන, සංචාරක ව්‍යාපාරය වැනි කර්මාන්තවලට බලපාන අතර එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙකුට රැකියා අහිමිවීම් සහ ආර්ථික අස්ථාවරත්වයක් ඇති කරනු ලබයි. එය වැඩ කිරීමට සහ ජීවනෝපායක් උපයා ගැනීමට ඇති මානව අයිතිය උල්ලංඝනය කරයි.
7. පරම්පරා අතර අයිතිවාසිකම් (Intergenerational Rights)
තම අනාගත පරම්පරාවන්ටද තැන භුක්ති විඳින ආකාරයෙන්ම පරිසරය භුක්ති විඳීමට ඉඩක් නොමැතිවීම පරිසර දුෂණය හරහා සිදුවේ. පරිසර දූෂණය අනාගත පරම්පරාවන්ට බලපාන්නේ පරිසර පද්ධති, දේශගුණය සහ සම්පත් විනාශ කිරීමෙනි. මෙය තිරසාර හා සැමට ජීවත්විය හැකි ලෝකයක් සඳහා ඔවුන්ගේ අයිතිය උල්ලංඝනය කරයි.
ඒ අනුව බලන කළ පෙනී යන්නේ පරිසර දූෂණය සහ මානව හිමිකම් අතර ගැඹුරු අන්තර් සහ සම්බන්ධතාවයක් පවතින බවයි. එබැවින් අනෙකාගේ මානව හිමිකම් කෙරෙහි ගරු කරන සමාජයක් උදෙසා රජයන් සහ පුද්ගලයින් පරිසර හිතකාමී භාවිතයන්ට ප්‍රමුඛත්වය දිය යුතුය. නීති රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුය. ලෝකය සහ මානව ගරුත්වය යන දෙකම ආරක්ෂා කිරීමට ප්‍රජාවන් ආකල්පමය වශයෙන් බලගැන්විය යුතුය.

පරිසර දුෂණය සත්ත්ව අයිතිවාසිකම්වලට බලපාන ආකාරය

පරිසර දූෂණය මානව අයිතිවාසිකම් කෙරෙහි මෙන්ම සත්ත්ව අයිතිවාසිකම්වලටද බලපාන ගැටලුවකි. සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන, සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්මට පරිසර දුෂණය හරහා බාධා සිදුවේ. එය සිදුවන ආකාර කිහිපයකි.
1. ආරක්ෂිත වාසස්ථානයකට ඇති අයිතිය
දූෂණය සතුන් ජීවත් වන පරිසර පද්ධති විනාශ කරයි. වන විනාශය, තෙල් කාන්දුවීම් සහ කාර්මික අපද්‍රව්‍ය සතුන් අවතැන් කළ හැකි අතර, ඔවුන්ගේ පැවැත්ම දුෂ්කරවන නුහුරු පරිසරයන්ට ඔවුන්ව නිරාවරණය කරනු ලබයි.
2. සෞඛ්‍ය සහ පැවැත්මේ අයිතිය
වාතය, ජලය සහ පාංශු දූෂණය සතුන් රෝග, උපත් ආබාධ සහ මරණයට හේතු වන විෂ ද්‍රව්‍යවලට නිරාවරණය කරයි. උදාහරණ ලෙස ප්ලාස්ටික් සහ පොලිතින් නිසා සිදුවන සාගර දූෂණය සහ තෙල් කාන්දුවීම් මගින් සමුද්‍ර ජීවීන්ට හානි සිදු වීම, වායු දූෂණය පක්ෂීන්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් කිරීම යනාදිය ගත හැකිය.
3. ආහාර අයිතිය
පරිසර දූෂණය සතුන්ට ඔවුන්ගේ ආහාර ලබා ගැනීමේ හැකියාව සහ ආහාරවල ගුණාත්මකභාවයට බලපෑම් සිදුකරනු ලබයි. නිදසුන් ලෙස, දූෂිත ජලය හරහා  විලෝපිකයන් සිය ආහාර ලෙස ලබා ගන්නා මසුන් මරා දැමිය හැකි අතර, පාංශු දූෂණය ශාකභක්ෂකයින් සඳහා අවශ්‍යකරන වෘක්ෂලතාදිහි බිහිවීම අඩු කරයි.
4. දුක් විඳීමෙන් නිදහස් වීමේ අයිතිය
සතුන් බොහෝ විට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා හෝ ඔවුන්ගේ ශරීරයෙහි පැටලීම නිසා තුවාල, කුසගින්න හෝ වේදනාකාරී මරණවලට ලක් වේ. මෙය මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන අනවශ්‍ය දුක් වේදනා වලින් තොරව ජීවත් වීමට සතුන්ට ඇති අයිතිය උල්ලංඝනය කරයි.
5. ජීවත්වීමේ අයිතිය
තෙල් කාන්දුවීම් හෝ විෂ සහිත රසායනික කාන්දුවීම් වැනි අධික පරිසර දූෂණ සිදුවීම් සතුන් විශාල වශයෙන් මරණයට පත් කළ හැකිය. දූෂණය හේතුවෙන් ඇතිවන දේශගුණික විපර්යාස, වාසස්ථාන අහිමි වීමටද හේතු වන අතර, බොහෝ සත්ත්ව විශේෂ වඳ වී යාමේ තර්ජනයට ලක් වේ.
6. ස්වාභාවික හැසිරීම් සඳහා ඇති අයිතිය
දූෂණය පරිසර පද්ධති වෙනස් කරයි. එය සතුන්ට ඔවුන්ගේ ස්වාභාවික හැසිරීම් වෙනස් කිරීමට බල කරයි. උදාහරණයක් ලෙස ශබ්ද දූෂණය තල්මසුන් සහ ඩොල්ෆින් වැනි සාගර සතුන් තුළ සන්නිවේදනයට බාධා ඇති කරයි. වාසස්ථාන විනාශ කිරීම හරහා සතුන්ට වෙනත් ස්ථාන වෙත සංක්‍රමණය වීමට බල කරයි. එය සත්ත්වයින්ගේ අභිජනන රටා සහ සමාජ ව්‍යුහයන් කඩාකප්පල් කරයි.
නාගරීකරණය යනාදිය හමුවේ සත්ත්ව අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් අතර තුළනයක් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය. උදාහරණයක් ලෙස නාගරීකරණය නිසා එතෙක් පැවති වාසස්ථාන සත්ත්වයින්ට අහිමි වන්නේ නම් පෙර සිටි පරිසරයේම ඔවුන්ට නව වාසස්ථාන සාදා ගත හැකිවන ලෙස වෙනම සීමාවක් වෙන් කිරීම ගත හැකිය. බැද්දගාන තෙත්බිම් උද්‍යානය නාගරීකරණය හමුවේ තර්ජනයට ලක්වූ සතුන්ට අභය භූමියක් ලෙස ක්‍රියා කිරීම ඒ සඳහා කදිම උදාහරණයකි.
පරිසර දූෂණයෙන් සිදුවන හානියෙන් තොරව, ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමට මිනිසුන්ට මෙන්ම සතුන්ටද අයිතියක් ඇත. සත්ත්ව හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පරිසර දූෂණයට එරෙහිව සියලු ජීවීන්ගේ සුභසාධනයට ප්‍රමුඛත්වය දෙන තිරසාර භාවිතයන් නිර්මාණය කිරීම අවශ්‍ය වේ.
බැද්දගාන තෙත්බිම තුළට ඇළ මාර්ගය හරහා ගසා ගෙනවිත් තිබෙන අපද්‍රව්‍ය

 

ශ්‍රී ලංකාවේ පරිසර නිතිය

පරිසර දුෂණය වැලැක්වීම සඳහා අවශ්‍ය නීති රීති ශ්‍රී ලංකාවේ නීති රාමුව තුළ අන්තර්ගතවන අතර ඊට ඇතුලත්වන ප්‍රධාන නීති කිහිපයකි.
1. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත (1988 අංක 56 දරන පනත සහ 2000 අංක 53 දරන පනත මගින් සංශෝධනය කරන ලදී)
2. 1937 අංක 2 දරන වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත (FFPO) (සංශෝධිත)
3. 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත
4. 1992 අංක 33 දරන පතල් හා ඛනිජ පනත
5. 1968 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනත (සංශෝධිත)
6. 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත
7. 1951 අංක 25 දරන පාංශු සංරක්ෂණ පනත (සංශෝධිත)
8. 1950 අංක 15 දරන ගුවන් සංචාලන පනත (සංශෝධිත)
9. 1865 මහජන කරදර ආඥා පනත
10. 1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පනත (සංශෝධිත)
11. 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත (සංශෝධිත)
12. මහ නගර සභා ආඥා පනත සහ නාගරික සභා ආඥා පනත
ජාතික පාරිසරික පනත හරහා පරිසර දූෂණය පාලනය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ පාරිසරික ආරක්ෂාව කෙරෙහි ක්‍රියාත්මකවන අතරම ඇතැම් ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් තක්සේරු කිරීම් (EIA) නියම කරයි. පනත මගින් පරිසර දූෂණය නියාමනය කිරීමට, බලපත්‍ර නිකුත් කිරීමට සහ පාරිසරික ප්‍රමිතීන් බලාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට (CEA) බලය පවරයි. ජාතික පාරිසරික පනත හරහා සියලුම ආකාරයේ විෂය ක්ෂේත්‍රයන් ආවරණය කිරීමට උත්සුක වී තිබේ.
ඉහත පනත් බලාත්මක කිරීම සඳහා තිබෙන ප්‍රධාන ආයතන කිහිපයකි.
01. මධ්‍යම පරිසර අධිකාරිය (CEA)
02. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA)
03. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC)
04. නාගරික සංවර්ධන අධිකාරිය (UDA)
මෙවැනි නීති රීති හරහා ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම සහතික කරන අතරම, වාතය, ජලය, ශබ්ද සහ පාංශු දූෂණය ඇතුළු විවිධ ආකාරයේ පරිසර දූෂණයන් කෙරෙහි ක්‍රියාත්මක වීමට මෙම නීති සාමූහිකව ක්‍රියා කරයි.

 

පරිසර දුෂණය නැවත්වීම සඳහා නීති රීති පමණක් ප්‍රමාණවත්ද?
නීති රීති කෙතරම් තිබුනද බොහෝ මිනිසුන් විසින් පරිසරයට හානි වන ආකාරයට අපද්‍රවය සහ අපජලය පරිසර පද්ධතිවලට බැහැර කරනුයේ එම පරිසර පද්ධතියේ වැදගත්කම ගැන ඔවුන් සතුව පවත්නා දැනුමේ අඩු බව සහ ඔවුන්ගේ ආකල්පමය දුර්වලතාවය නිසාය. ඒ අනුව පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමේ වටිනාකම ගැන ඔවුනට දැනුම ලබාදීමෙන් ඔවුන්ගේ ආකල්පමය වර්ධනයක් සිදුකළ යුතුවේ.
බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ පාරිසරික දැනුවත්භාවය සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමයි. ප්‍රජාවට අවශ්‍යකරන පරිසර දැනුම ලබා දීම සඳහා බැද්දගාන තෙත්බිම් කළමනාකාරිත්වය නිරන්තරයෙන් සුදානමින් සිටින අතර සාමාන්‍ය ජනතාව, කුඩා දරුවන් යනාදී අයවලුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන්, විදේශ සංචාරකයින් දක්වා ඕනෑම තරාතිරමක පුද්ගලයින්ට ඒ සඳහා ආරාධනා කරයි. ජෛව විවිධත්වය පවත්වා ගැනීමට සහ පාරිසරික හායනය වැලැක්වීමට තෙත් බිම්වල ඇති වැදගත්කම පිළිබඳව නරඹන්නන් දැනුවත් කිරීම සඳහා උද්‍යානය විසින් මාර්ගෝපදේශ සංචාර සහ අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කර තිබේ. මෙම ප්‍රයත්නයන් තුළින් උද්‍යානයේ අරමුණ වන්නේ අනාගත පරපුර සඳහා උද්‍යානය සංරක්ෂණයකර ගනිමින්  සතුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමට මහජනතාව උනන්දු කරවීමයි.රටක් තිරසාර ලෙස සංවර්ධනය කිරීම සඳහා පරිසර පද්ධති ඉතා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි. එය පෘතුවියේ වෙසෙන සියලුම ශාක සහ සත්ත්ව ප්‍රජාවගේ පමණක් නොව මිනිසුන්ගේද යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරයි. පරිසර පද්ධතිවල පැවැත්ම තහවුරු කළහොත් පමණක් මිනිසාගේ පැවැත්ම තහවුරුවනු ඇත. පරිසරය ගැන දැනුවත් වෙන්න. පරිසරය ආරක්ෂා කරගන්න.
සටහන
Srimal DC
Social Sharing
අවකාශය නවතම පුවත් විශේෂාංග