ජනාධිපති අනුර කුමාරගේ චීන සංචාරය ඊයේ (14) ආරම්භ වුනා. අනුරගේ ඉන්දියානු සංචාරය වගේම චීන සංචාරය ගැනත් රජයේ මාධ්‍ය සහ රජයට හිතවත් සමාජ මාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් දීලා තිබුණා. අනුර චීනයේ ගිහින් අත්සන් කරන ගිවිසුම් හතෙන් පස්සේ රට ගොඩ වගේ කතාවක් තමයි දැන් කියන්නේ.
දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල්වලට සහය දෙන්න චීනය මේ වෙලාවේ කොයිතරම් දුරට ඉදිරිපත් වෙයිද කියලා කියන්න බෑ. එක පැත්තකින් ඇමෙරිකාවත් එක්ක නිර්මාණය වෙන වෙළඳ යුද්ධයෙන් චීනයේ ආර්ථිකයේ වෙන හානිය ගැන පුරෝකතනයක් චීනයට ඇති. ඩොනල්ට් ට්‍රම්ප් බලය ගැනීමත් එක්ක ඇමරිකාවේ ප්‍රධාන ආසියානු ඉලක්ක දෙක බවට චීනය සහ ඉරානය පත්වෙනවා. ඒත් මොන තත්වයන් යටතේවත් චීනය දකුණු ආසියානු සම්බන්ධය අතාරී කියලා හිතන්න බෑ
යුධමය තත්වයකදී එයාලට ශ්‍රී ලංකාව, හම්බන්තොට වරාය සහ පෝට් සිටි එකේ චීනයට අයිති භූමිය ඉතා වැදගත්. ඒ වගේම චීනය අනුරගේ ඉන්දිය සංචාරය ගැන හොඳටම ඇහැගහගෙන හිටියා. ඒ සම්බන්ධව චීනයට විග්‍රහක් ඇති වගේම අනුරගේ විග්‍රහ මොකද්ද කියලා දැන ගන්නත් චීනය බලාපොරොත්තුවෙන් ඇති. මේ සංචාරයේදී අනුර කරන්න ඕනිදේ ගැනත් රටේ රාළ කිව්වා. ඇත්තටම චීනය සහ අපි අතර හොඳ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධයක් තියනවා.
ඒවා බිස්නස් බවට පත් කළේ රාජපක්ෂලා. ඒ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධය තවදුරටත් ශක්තිමත් කරගන්න ගමන් සංස්කෘතිකම වශයෙන් චීන සහ ශ්‍රී ලංකාව අතර පාලමක් හදන්න පුළුවන් නම් එක ගොඩක් වටිනවා. අනුර ඒ වැඩේ කරගෙන එනවා නම් ඒකට අපේ පැත්තේ තියන යෝජනා ටික දෙන්න අපි ලෑස්තියි. අනුර දැනට ඉදිරියට යන්නේ රනිල් කපපු පාරේ. අනුරලා දැන් ඒක පිලිගන්න ගමන් ඒ පාරේ තවදුරටත් යන බවත් කියනවා. නාමල් කරුණාරත්න කියන්නේ එක පාරට හැරෙන්න බරි නිසා තව ටිකක් දුර යන්න වෙනවා කියලයි.
ඇත්තටම අනුරට එක පාරට නෙවෙයි කොහොමවත් දැන් හැරෙන්න බෑ. හැරෙන්න අනුරට වෙන විකල්පයක් නෑ. මේ පාර කැපුවේ රනිල් කියලා අනුර දන්නවා. හැබැයි දැන් මේකට IMF පාර විතරක් නෙවෙයි තවත් පාරවල් කීපයක් රනිල් බට් කරලා. රනිල් පහුගිය කාලේ ඉන්දියාවේ ඉඳන් කළේ ඒක. රනිල් ඉන්දියාවේ ඉඳන් අනුරට කිව්වේ රනිල් සහ මෝදී අතර තියන එකඟතාවය ඉස්සරහට ගෙනියන්න කියලයි. රටේ ආර්ථිකය අර්බුදය වෙලාවේ රනිල් ගෙනාපු IMF සිව් අවුරුදු විස්තීරණ ණය ව්‍යාපෘතිය හරිම විවෘත එකක්.
ඒ වෙලාවේ ඒක හැර වෙන උත්තරයක් තිබුණේ නෑ. රනිල් සහ මෝදී අතර එකඟතා මොනවද කියලා රට දන්නේ නෑ. ඒක රනිල්ගේ පැත්තෙන් කියලත් නෑ, අනුරගේ පැත්තෙන් කියලත් නෑ. හැබැයි මෙතනදී සැකයක් එනවා එදා අනුර ඉස්සරහ තියාගෙන මෝදී කිව්වේ ඒ එකඟතා ගැනද කියලා. මෝදි තෙල් නලය එලන එක ගැන කිව්වා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් පද්ධතිය ගැන කිව්වා. ETCA ගැන කිව්වා. මෝදි කිව්වේ මේවා අනාගතයේදි කරනවා කියලා.
එතනදී මෝදි ඉන්දු – ලංකා පාලම ගැනත් ඉඟි කළා. ඊට ඉස්සෙල්ලා අනුරව කිහිල්ලේ ගහගෙන මෝදිගේ භවන ඇතුලට අරන් ගියා. එතනදී මොන එකඟතාවයකට ආවද කියලා කියන්න අපි දන්නේ නෑ. අඩුම ගානේ මෝදිගේ ප්‍රකාශයට විරෝධය පලකරලා නෙවෙයි, ඒ ගැන හරි කරුණු පැහැදිලි කිරීමක්වත් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කරන්න විජිතට දේශපාලන කොන්දක් තිබුණේ නෑ. රටේ රාළ කියන මේ කතාවට සමාන්තර දෙයක් අනුරගේ චීන සංචාරයට සතියකට ඉස්සෙල්ලා සිද්ධවුනා.
පහුගිය ජනවාරි 07 වෙනිදා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අපේ රටේ සියලු මාධ්‍ය ආයතනවල නියෝජිතයින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයයට කැඳවලා තිබුණා. එතනදී ජා අනුරගේ ඉන්දීය සංචාරය තුලදී ඇති කරගත්ත එකඟතාවයන් ගැන කතා කළා. සන්තෝෂ් ජා කියලා තිබුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අස්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම, සාම්පුර් බලාගාරය, මන්නාරමේ සුළං බලාගාර, යෝජිත විදුලි උප පොල සම්බන්ධවයි.
ඒ වගේම ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව ගැන ඉන්දියාව දැඩි අවදානයක් යොමු කරලා තියෙන බව මෝදි අනුරට කියලා තියන බවත් කිව්වා, එතනදී අනුර ඉන්දීය අගමැතිට ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන කිසිම දෙයක් ශ්‍රී ලංකා භූමියේ හෝ මුහුදු කලාපයේ වෙන්න දෙන්නේ නෑ කියලා පොරොන්දු උන බවත් ජා කියලා තිබුණා. ඔයාලා දන්නවා පහුගිය කාලේ චීන පර්යේෂණ නෞකාවකටවත් පරීක්ෂණ කටයුත්තක් සඳහා අවසර සහිතවවත් අපේ මුහුදු කලාපයට එනවට ඉන්දියාව විරුද්ධ වුනා.
ඒ හැම වෙලේම ඉන්දියාව අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට දැඩි බලපෑම් කළා. ඇමරිකාවේ යුධ නැවක් අව්ල්ලා මෙහේ මොන සෙල්ලම් දාලා ගියත් සද්ධ නැති ඉන්දියාව චීන පර්යේෂණ නැවක් ආවත් ඒකට එන්න දෙන්න එපා කියලා බලපෑම් කරනවා. ඊළඟට ඉන්දීය මහ කොමසාරිස් ජා ගේ කතාවේ කියනවා ජනාධිපති අනුර ETCA ගිවිසුම අත්සන් කරන්න එකඟ වුනා කියලා. විජිතලා මුලදී කිව්වේ දෙපාර්ශ්වය විසින් හදපු එකඟතා ලියවිල්ලට පටහැණි දෙයක් මෝදි කිව්වා කියලයි.
දැන් ඉන්දීය මහ කොමසාරිස් ජා මෝදිගේ කතාවම කියනවා. එයා කියලා තියෙන්නෙත් විජිතට අනුව වැරදි කතාවක්. ඇයි එහෙනම් ඉන්දීය මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවලා ප්‍රශ්න කරන්නේ නැත්තේ. ඒකෙන් රටේ රාළට නං බරපතල සැකයක් තියනවා ගිවිසුම් අත්සන් කළේ නැතත් අනුර ETCA වලට එකඟ වෙලා ආවද කියලා. අනුර චීන සංචාරයට ඉස්සෙල්ලා ඉන්දියාව ශ්‍රී ලංකාවට සහ චීනයට පණිවිඩයක් දෙකක් දීලා තියනවා.
ඉන්දියාව අනුරට කියලා තියෙන්නේ ඔයා මේවාට එකඟ වුනා චීනයේදී කරන සාකච්ඡා ඒ පාත් එකට අනුව කරන්න කියලයි. ඉන්දියාව චීනයට දීලා තියෙන පණිවිඩයෙන් කියන්නේ අනුර ඔහේදී මොන කතා කිව්වත් මේ දේවල්වලට අපිත් එක්ක එකඟවෙලා තියනවා උඹලා ඒකට අත තියන්න එපා කියලයි. පැහැදිලිවම ඒක තමයි ඇත්ත කතාව. අනුරට ඉන්දියාව අටවපු උගුල ගැන අවබෝධයක් තියනවද නැද්ද කියන්න රටේ රාළ දන්නේ නෑ. එහෙම අවබෝධයක් තියනවා නම් සමහරවිට අනුර හිතනවා ඇත්තේ ඒකෙන් බේරෙන්න චීනයේ සහය අරන් පුළුවන් කියලා වෙන්න ඇති.
හැබැයි ඒක එහෙම වෙන්නේ නෑ. චීනය සහ ඉන්දියාව තමන්ගේ සීමාවන් බේරගන්න හැටි මේ උදාහරණයෙන් ඔයාලට පේනවා ඇති. අපි අහලා තියෙනවා මිටි තැනකින් වතුර බහිනවා කියලා. අනුර ගොඩක්ම මිටි නිසා එතනින් ගොඩක් වතුර ගොඩක් වේගයෙන් බහින්න ඉඩ තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.