පුද්ගලයකු සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුළු ශරීරයේම කොච්චි ගා සොරකම පිළිගන්නා තුරු පොලිසීයෙන් පහරදුන් පුවතක් ගොඩගම තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධියට මුහුණ දුන් සෙව්වන්ද දිලෝෂන නම් මෙම පුද්ගලයා 19 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වන අතර ඔහු පෞද්ගලික ආයතනයක වසරකට වැඩි කාලයක් සේවය කරයි. ඒ අනුව ඉකුත් දෙසැම්බර් මස 17 වන දා මෙම පුද්ගලයාව තෙලිකඩ පොලීසියෙන් පැමිණ ඔහුගේ සේවා ස්ථානයේදීම එම ආයතනය ද දැනුවත් නොකොට අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව මෙලෙසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙළඳසැලක සිදු වු සොරකමක් සම්බන්ධයෙන් වන අතර ඔහුව අත්අඩංගුවට ගත් පොලීසිය පසුව මොහුගේ මුළු සිරුරේම කොච්චී ආලේප කොට වරද පිළිගන්නා තුරු පහර දී ඇත.
ඔහුට එල්ල කරන ලද අමානුෂික පහරදීම් හා වධහිංසා ඉවසා ගැනීමට නොහැකිව ඔහු මෙම වරද පිළිගෙන ඇති අතර ඔහු එම වරද පිළිගන්නා අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා විසින් හඬ පටයක් ද ලබාගෙන ඇත. සෙව්වන්ද දිලෝෂන යන පුද්ගලයාව දින 14ක් රක්ෂිත බන්ධනාගරගත කිරීමෙන් අනතුරුව 31 වන දා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔවුන් විසින් මානව හිමිකම් කොමිසමට, පොලිස් කොමිසමට ද පැමිණිළි කර ඇත. මෙලෙස මානව හිමිකම් කොමිසමට සිදුකළ පැමිණිල්ල පිළිබඳ දැනගත් ඇල්පිටිය අපරාධ විමර්ෂණ ඒකකය විසින් ඔහුට මෙම පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස බලපෑම් සිදුකරන බවට ද වාර්තා වේ.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව ගාල්ල ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.