බයියෝ නිහඩවෙලා. ජෙප්පෝ හැංගිලා. – රටේ රාළ

npp party sri lanka

ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ජවිපෙ,මාලිමාව සහ බයියන්ගේ ක්‍රියාකාරීත්වය උපරිම තැනක තිබුණා. තර්ජණ, ගර්ජණ, මර්ධන ගැන කියන කතා ඒ කාලේ නිතර, නිතර ඇහුණා. ජනතාව ජවිපෙට බලය දෙන්නේ මර්ධනයටත් එක්ක කියලා ලාල් කාන්ත කිව්වා. තව කට්ටියකට හඳට යන්න ලෑස්තිවෙලා ඉන්න කියලා වසන්ත කිව්වා. අනුර ජනාධිපති උනාට පස්සේ ගමේ නීතිය සහ සාමය ආරක්ෂා කරන්න මාලිමාවේ කොට්ඨාශ සහාවට පවරනවා කිව්වා.

අනුර බහුතරයක් නැති ජනාධිපති විදිහට පත්වුනාට පස්සේ ජවිපෙ පවා හිතුවේ පාර්ලිමේන්තුවේ සුළු බහුතරය හදාගැනීමත් අභියෝගයක් කියලයි. හැබැයි අනුර ජනාධිපති නිසාත්, විපක්ෂය පණ අදිමින් තිබුන නිසාත්. ජවිපෙ කියපු බොරුවලට ජනතාව වශීවෙලා හිටපු නිසාත් ජනතාව ජවිපෙට තුනෙන් දෙකටත් වැඩි බලයක් දුන්නා. ඒ බලය ගත්ත ජවිපෙට සහ මාලිමාවට වැඩි දවසක් වහසිබස් දොඩවන්න හම්බවුනේ නෑ.

ඒ එක්කම ජවිපෙට ආණ්ඩුකරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න සිද්ධවුනා. පාර්ලිමේන්තුව පටන් ගත්ත දවසේම ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු කැන්ටින් එකේ කරපු විප්ලවයත් එක්ක ජනතාවට ජවිපෙ සම්බන්ධ තිබුණ චිත්‍ර බොඳවුනා. පාර්ලිමේන්තුවෙන් කන්නේ නෑ කියපු අය, ගෙදරින් බත් එක ඔතාගෙන ඇවිත් කනවා කියපු අය අද පාර්ලිමේන්තු භෝජනාගාරය උලා කන තත්වයට පත්වෙලා. පුදුම බඩගිනිකාරයෝ ටිකක් තමයි හිටලා තියෙන්නේ කියලා පාර්ලිමේන්තු සේවකයෝ කියනවා.

ජවිපෙ බලය ගන්න ඉස්සෙල්ලා දුන්න කිසිම පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න මේ මොහොත වෙනකම් බැරිවෙලා තියනවා. අනුර ෆේල් කියන එක සාමාන්‍ය ජනතාවට විතරක් නෙවෙයි බයියන්ට සහ ජෙප්පන්ටත් දැන් තේරිලා. ඒ එක්කම අනුර සහ මාලිමා ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටපු ගොඩක් අය අද නිහඩවෙලා. තවත් සමහරු ජවිපෙ එරෙහිවෙලා.සමාජ මාධ්‍ය ඇතුලේ කුණුහරප කියාගෙන හිටපු බයියෝ සහ ජෙප්පෝ හොයා ගන්නත් නෑ.

සමහරු ප්‍රසිද්ධ නිවේදන දාලා Account වැහුවා. කීපදෙනෙක් විතරක් තවමත් ඉතිරිවෙලා ඉන්නවා. ඒ ජවිපෙන් පඩි ගන්න අය.ඇත්තටම කුලී ලියන්නෝ ඉන්නේ ජවිපෙ. දැන් එයාලටත් ඉක්මනින්ම වෙන රස්සාවක් හොයාගන්න වෙනවා. ආය මේ සමාජය ඇතුලේ ජවිපෙ උස්සන්න බෑ. දැන් ජවිපෙ දේශපාලනයට උරුම කාටත් උරුම වෙන හතර රින්යන් කොටුව විතරයි. කට්ටිය එකතු වෙලා දේශපාලන වශයෙන් ජවිපෙ මරලා දාලා ඉවරයි.

ඇත්තටම මෙච්චර කල් සමාජය සහ සමාජ ජාලා වෙලාගෙන හිටපු බයියන්ට සහ ජෙප්පන්ට මොකද වුනේ? රටේ රාළ ඒ ගැනත් හොයලා බැලුවා. මොකද අපිට බනින්න ජෙප්පෝ සහ බයියෝ නැති උනොත් අපිට අපේ සාර්ථකත්වය හරියට මැන ගන්න විදිහක් නෑ. අපි අපේ සාර්ථකත්වය මනින්නේ අපට එන සුභ පැතුම්වලින් නෙවෙයි. ජෙප්පෝ සහ බයියෝ කළබල වෙලා අපට නගන අවලාදවලින් සහ එයාලගේ මර ලතෝනිවලින්.

ඇත්තටම වෙලා තියෙන්නේ බයියෝ නිහඩවෙලා. ජෙප්පෝ හැංගිලා.

හැබැයි බයියන්ගේ නිහඩවීම කියන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඔයාලට මතක ඇති ගෝඨාභය බලයට ගෙන්න අපේ රටේ බයියෝ තරම් මහන්සි වෙච්චි පිරිසක් හිටියේ නෑ.

ගෝඨාභය ජයග්‍රහණය කරපු වෙලාවේ රටේ තරුණ, තරුණියන් ඇවිත් තාප්පවල චිත්‍ර ඇන්දා. පුරන් කුඹුරු අස්වැද්දුවා. හැබැයි ගෝඨාභය බෑ කියලා දැනෙනකොට බයියන් පළවෙනි මොහොතේම නිහඩවුනා. ඒ නිහඬතාව ඇතුලෙන් ටිකෙන් ටික විරෝධය වර්ධනය වුනා. 2022 අප්‍රියෙල් තුන් වෙනිදා ජනතාව ඇවිත් ගෝඨාභයගේ මිරිහාන ගේ වට කළා. එතනට ආපු අති බහුතරය ගෝඨාභය බලයට ගේන්න මහන්සි උන අය. ඒ අරගලය අන්තිමට ගෝඨාභය එලවනකම්ම ඉදිරියට ගියා.

බයියන් විසින්ම එයාලා බලයට පත් කරපු රාජපක්ෂලා දේශපාලන වශයෙන් නැත්තටම නැති කරලා දැම්මා. ඊට පස්සේ බයියෝ තමන්ට ලැබුණ පලවෙනි අවස්ථාවේදීම ගෝඨාභය තරම්වත් මෙලෝ දෙයක් නොදන්න අනුර කුමාරවත් මාලිමාවේ ළමා සොල්දාදුවෝ 159 දෙනාත් බලයට ගෙනාවා. දැන් ඒ රොටරිය ආයෙත් ක්‍රියාත්මකයි. දැන් චක්‍රයේ පියවර දෙකක් පහු කරලා බයියන් ඉන්නේ තුන්වෙනි පියවරේ. ඒ කියන්නේ නිහඩ වෙනවා කියන තැන.ඕක ඔතනින් නතර වෙන්නේ නෑ. ඊළඟ පියවරවලටත් බයියෝ යනවා. හැබැයි මෙතන ජෙප්පන්ගේ තත්වය ඊට වඩා වෙනස්.

ඇත්තටම ජෙප්පෝ දැන් ඉන්නේ හැංගිලා. ඔයාලට දැන් ප්‍රශ්නයක් එයි ජෙප්පෝ කාට බයේද හැංගිලා ඉන්නේ කියලා. මොකද දැන් ජවීපෙ මර්ධනය කරන්න කවුරුවත් එන්නේ නෑ. ජවිපෙ නායකයා තමයි මේ රටේ ජනාධිපති. සේනාධිනායකයා. ජවිපෙ ආණ්ඩුවක් තියෙන්නේ. ඉතින් කාට බයේද ජවිපෙ හැංගෙන්නේ. ජෙප්පෝ හැංගිලා ඉන්නේ ජෙප්පන්ට බයේ. ජවිපෙ සංවිධායකයින් තමන්ගේ සාමාජිකයන්ට මුහුණ දෙන්න බැරිව හැංගිලා. ජවිපෙ සාමාජිකයා කියන්නේ යම් හෝ දේශපාලන සාක්ෂරතාවයක් තිබුන කෙනෙක්.

ඒ අයට දැන් තේරෙනවා ජවිපෙ කිව්වේ වෙන එකක් හැබැයි දැන් කරන්නේ වෙන එකක් කියලා. ජවිපෙ සහෝදරවරු ගැන එයාලා හදාගෙන තිබුණ චිත්‍ර ඉවරෙටම ඉවරයි. ලාල් කාන්ත. වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස, නලින් හේවගේ, විජිත හේරත් වගේ අය වචන දෙකක් කිව්වත් ඇති පලු ගැලවෙන්න. ජවිපෙ නායකයෝ දෙනවා කියන ආදර්ශ ගැන බයියන්නට අතිනුත් දාලා තමයි ජවිපෙ සාමාජිකයෝ කියලා තියෙන්නේ. දැන් ජවිපෙ සාමාජිකයන්ට බයියන්ට මුහුණ දෙන්න බෑ.

එයලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ.ඒක නිසා ජවිපෙ සාමාජිකයා ඉන්නේ තමන්ගේ සංවිධායකයෝ එනකං අල්ල ගන්න. මෙතනදී ජවිපෙ සංවිධායකයා තමයි පට්ට විදිහට අසරණවෙලා ඉන්නේ. එක පැත්තකින් තමන් යැපුන සාමාජිකයා අතරට යන්න බෑ. ඒ නිසා යැපුම් මාර්ගය වැහිලා. උඩ ඉන්න මන්ත්‍රීලා සම්බන්ධ කරගන්න බෑ. ඒ යක්කු දැන් මෙයාලා ගනන් ගන්නේ නෑ. මේ හේතුව නිසා ජවිපෙ සංවිධායකයන්ට හැංගෙනවා හැර වෙන උත්තරයක් නෑ.

එදා ජවිපෙ සංවිධායකයින්ට හැංගිලා ඉන්න සිද්ධ වුනේ තමන්ව හොයාගෙන එන හමුදාවේ සහ පොලිසියේ අයගෙන් බේරෙන්න. එහෙමත් නැත්තං කළු බළල්ලු, ප්‍රා වගේ මිනීමරු කල්ලිවලින් බේරෙන්න. හැබැයි අද ජවිපෙට රාජ්‍ය බලය අරන් දීලත් ජවිපෙ සංවිධායකයින්ට හැංගිලා ඉන්න වෙලා. ඒ ජවිපෙ කියපු කිසිදෙයක් කරන්න බැරිවුන හින්දයි. ජවිපෙ දැන් ජනතාව ඉස්සරහා බොරුකාරයෙක් වෙලා ඉවරයි. මෙතනදි ජවිපෙ එක දෙයක් මතක තියාගන්න ඕනි. ආයෙත් මහජන සුනාමියක් ළඟම එනවා. ඒක එකවර මතුවෙන දැවැන්ත ජනතා නැගිටීමක්.

ඒක ආදරයේ අරගලයක් වෙන්නේ නෑ. ඒක ප්‍රචණ්ඩ අරගලයක්. එතනදී නැගී සිටින බයියන් පාලකයන්ට සමාව දෙන්නේ නෑ. එතනදීත් බයියන්ගෙන් ඉස්සෙල්ලාම ගොඳුර බවට පත්වෙන්නේ ගමේ ඉන්න අහිංසක ජවිපෙ සංවිධායකයා. පව් අප්පා ඒ මිනිස්සු හැමදාම තැලෙනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

Social Sharing
නවතම විශේෂාංග