අස්වැසුම ජාතික වැඩසටහනේ සියලු කටයුතුවලින් ඉවත්ව සිටින ග්‍රාම නිලධාරීන්, ග්‍රාමීය කමිටු සංකල්පය හරහා නැවත අස්වැසුම වැඩසටහනට එක්කර ගැනීමට නව ආණ්ඩුව ගනු ලබන උත්සාහයට ග්‍රාම නිලධාරීන් විරෝධය පළකර ඇත.
මේ සම්බන්ධයෙන් එම සංගමය පවසන්නේ තම රාජකාරි වෙනත් නිලධාරීන් වෙත පවරා නැවත එම රාජකාරි තම නිලධාරීන්ට පවරමින් එහි වගකීමත් ග්‍රාම නිලධාරීන් වෙත යොමු කරන මෙම ග්‍රාමීය කමිටු සංකල්පයට දැඩි විරෝධය පළකරන බවයි.
අස්වැසුම වැඩසටහන මගින් ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ක්‍රමවේදයේ පැවැති අඩුපාඩු හා දුර්වලතා නිසා එම වැඩසටහන හා සම්බන්ධ සියලු කටයුතුවලින් ඉවත්වීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන බව පවසන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය තම නිලධාරීන්ට බලපෑම් නොකරන ලෙස ප්‍රාදේශීය පරිපාලනය දැනුවත් කරන ලෙසද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත.
නව රජය බලයට පත්වීමෙන් පසු මුදල් අමාත්‍යාංශය භාර ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් මෙම ගැටලු සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් ඉල්ලා ඇතත් එයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද පවසන එම සංගමය තවදුරටත් කියා සිටින්නේ ග්‍රාම නිලධාරී ගැටලු සඳහා සුදුසු විසඳුම් ලබාදෙන තෙක් තවදුරටත් අස්වැසුම රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටින බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින