ශ්‍රී ලංකා පොලීසිය සඳහා දමිළ නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පසුගියදා (03) අනුරාධපුර මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක් අරමුණක් ඇතිව ඉදිරිපත් කළ වැඩසටහනක් නොවේ. පාතාල මර්දනය, මත්ද්‍රව්‍ය තුරන් කිරීම, රාජ්‍ය සේවයේ දූෂණ අක්‍රමිකතා නැවැත්වීම, නගර ආශ්රිත රථවාහන තදබදය අවම කිරීම ආදී කරුණු කාරණා බොහොමයක් සමඟ මේ වැඩසටහන සිදු කරනවා.
එසේම උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් පොලීසිය සහ මහජනතාව අතර මනා අවබෝධයක් ඇති කර ගනිමින් වඩා කාර්යක්ෂම සේවාවක් දීම පිළිබඳවත්, පොලීසිය සඳහා දමිළ නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳවත් පසුගියදා උතුරු පළාතේ සිදු කළ සංචාරයේදී අවධානය යොමු කළා.”
මේ අවස්ථාවට උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන, පළාත් නියෝජ්‍ය පොලිස්පති අයි. බී. ටී. සුගතපාල මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු එක්ව සිටියහ.
අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ – දිනමිණ