මුලතිව් මුහුදේ අතරමංව සිටියදී යුද පීඩිත ධීවරයන් විසින් පසුගිය මාසයේ බේරාගෙන රජයට බාරදීමෙන් පසු මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින රොහින්ග්‍යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටමං නොකරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් දැනුම් දී ඇත්තේ ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින රොහින්ග්‍යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය තමාගේ බලවත් කම්පාවට හේතු වී ඇති බවයි.
යුද බියෙන් ජීවිත බේරාගැනීමට පලායන මෙම අසරණයන් 103 දෙනා අතර දරු දැරියන් හතලිහකට වැඩි සංඛ්‍යාවක් ඉන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇත. ඔවුන්ගේ අපේක්ෂාව ආරක්ෂිත රටක දේශපාලන රැකවරණ ලබාගැනීමයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ජනමාධ්‍යයට ප්‍රකාශ කර ඇති පරිදි රජයේ සැලසුම ඔවුන් මියන්මාරයටම ආපසු යැවීමයි. රොහින්ග්යාවරුන් පිරිසේ නම් ලැයිස්තු එම ආණ්ඩුවට ලබාදී ඇති බවත් ආනන්ද විජේපාල අමාත්‍යවරයා පවසා තිබේ. මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ එය මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් ලෙසිනි.
“එය මේ සැමදෙනාගේම පමණක් නොව මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව අපේ දැඩි විශ්වාසයයි. ”
එපමණක් නොව ඔවුන් මියන්මාරයට යැවීම යම් රටකදී අනතුරකට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එම රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ (Non-Refoulement) ජාත්‍යන්තර නෛතික මුලධර්මයටද හරස්ව යාමක් බවත් විපක්ෂයේ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලයේ රටට ඇතුළු වු මුල්ම සරණාගත පිරිස බලහත්කාරයෙන් පිටමං කිරීම මාර මුඛයට යැවීමක් ලෙස හඳුන්වන විපක්ෂ මන්ත්‍රීවරයා එමගින් ලෝකයා හමුවේ රටේ කීර්ති නාමයට අත්විය හැකි ඉරණම ගැනද ජනාධිපති අනුර කුමාර දිසානායකට අනතුරු අඟවා තිබේ.
“ඔබතුමාගේ පාලන කාලය තුල මෙරටට ඇතුල්වූ මුල්ම සරණාගත පිරිස ඔවුන් පැමිණි රටේ මාර මුඛයට යැවීමෙන් ලෝකයා හමුවේ රටට අත්වන්නේ කැළලකි.”
ජාතිවාදී ගැටුම්වලින් ගලාගිය ලෙයින් තෙත්වූ දේශයක ජනතාව ඒ ඉරණමින් ගලවා නොගෙන දැන, දැනම අනතුරේ හෙලීම ජාතිවාදී ගැටුම් වලින් පීඩාවට පත්වූ මේ දේශය සුවපත් කිරීමට පාර්ලිමේන්තුවේ මංගල දේශනයෙන් පොරොන්දු දුන්, රාජ්‍ය මර්දනයේ කටුක ඇත්දැකීම් සහිත රාජ්‍ය නායකයෙකු වන ජනාධිපතිවරයාට උචිත ක්‍රියාවක් නොවන බවයි මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පවසන්නේ.
“දශක කිහිපයක් යටිබිම්ගත දේශපාලනයක සැඟවෙන්නට බලකෙරුණු පක්ෂයක නායකයා වන ඔබතුමා රාජ්‍ය මර්දනයේ තරම කටුක අත්දැකීමෙන්ම දනී. ”
එමනිසා, ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින රොහින්ග්යාවරුන් පිරිස තමන්ගේ සුරක්ෂිත භාවය සහතික කෙරෙන තවත් රටකට යනතුරු මියන්මාරයට පිටුවහල් නොකර තවදුරටත් මෙරට තුලම ඔවුන්ගේ සුබසිද්ධිය සලසා දී, මානව හිමිකම් සුරකින, අසරණයන්ට සරණ වන ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ අසිරිය ලොවට විදහා දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්නා මෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.
ඒ සද්ක්‍රියාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධානවල පමණක් නොව විපක්ෂයේද සහාය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලැබෙනු ඇති බවටත් සිය ලිපිය මගින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් විශ්වාසය පළ කර තිබේ.
theleader.lk