පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ළමුන් සඳහා පිරිනමන රු. 6,000ක දීමනාව ඉකුත් සිකුරාදා දින අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර ඇත. ඒ අනුව ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී ඇතැයි ද අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ. මෙම වාර්තාවලට අනුව පාසල් යන බොහෝමයක් ළමුන්ගෙන් 55% කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී ඇති බවට වාර්තා වේ. එමෙන්ම මෙම ප්‍රතිශතය ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව ඉතා ඉහළ අගයක් බව නිරීක්ෂණය වන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
මෙසේ බලපෑමට ලක්වූ ළමුන් අතරින් 53.2%ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවත් එමෙන්ම 26.1%ක් පෙර භාවිතා කරන ලද පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බව ද අනාවරණය වී ඇත. මේ අයුරින් අවදානමට ලක් වූ, පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරගනිමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය අදහස් කර ඇත.
එසේම, අස්වැසුම ප්‍රතිලාභීන් නොවන මෙම දීමනාව ලැබීමට සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා දීමට ද කටයතු සුදානම් කරන බවට වාර්තා වේ. ඒ අනුව මෙම දීමනාව ලබා දීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන අතර එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබා දීමට කටයුතු සූදානම් කරනු ඇත.