ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි!

manmohan singh death

අසල්වැසි ඉන්දියාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් ලෙස ලෝක සිතියම තුළ ලකුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ආචාර්ය මන්මෝහන් සිං සිය අනූ දෙවසරක දිවිසැරිය නිමා කරමින් ඊයේ දින (දෙසැම්බර් 26) නික්ම ගොස් තිබෙනවා.

පන්ජාබයේ දැනට පකිස්ථානයට අයිති ප්‍රදේශයක 1932දී උපත ලැබු මන්මෝහන් සිං 1952 වසරේදී පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසුව, 1954දී එම වීශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ගත්තා. ඉන් පසුව වසර තුනක කාලයක් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙහි ආර්ථික විද්‍යාව හැදෑරූ ඔහු 1957දී එම සරසවියෙන් ලබාගත් උපාධියක්ද සමඟ නැවත ඉන්දියාවට පැමිණ කෙටි කලක් පන්ජාබ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව, ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙතගොස් 1962දී ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියද ලබා ගත්තා.

ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව ආචාර්ය මන්මෝහන් සිං පන්ජාබ් විශ්ව විද්‍යාලයේ මෙන්ම දිල්ලි විශ්ව විද්‍යාලයේද ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කළා. ඊට අමතරව ඔහු UNCTAD වැනි ජාත්‍යන්තර සංවිධාන වලද සේවය කළා. පසුව ඉන්දියාවේ රාජ්‍ය සේවයට සම්බන්ධ වූ ආචාර්ය මන්මෝහන් සිං මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන උපදේශක ලෙස මෙන්ම ඉන්දියාවේ මහ බැංකුවේ අධිපති ලෙසද ඉන්දියාවට සිය සේවය ලබා දුන්නා.

දශක ගණනාවක් තිස්සේ සමාජවාදී, සංවෘත, රාජ්‍යමූලික ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ ඉන්දියාවේ ආර්ථිකය 1991දී විශාල ගෙවුම් ශේෂ අර්බුදයක සිරව සිටි අවස්ථාවේදී මුදල් ඇමති ධුරය භාර ගන්නා මෙන් එවකට ඉන්දියාවේ අගමැති වූ නරසිංහ රාඕ විසින් ඔහුට බල කර සිටියා. මේ අවස්ථාවේදී ආචාර්ය මන්මෝහන් සිං දේශපාලනයට සම්බන්ධ වුනා.

එම අවස්ථාවේදී ඉන්දියාවේ ආර්ථිකය පෙර නොවූ විරූ අවදානම් තත්ත්වයක ඇති බව ක්‍රොන්ග්‍රස් පක්ෂ ප්‍රධානීන්ට පැහැදිලි කළ ආචාර්ය මන්මෝහන් සිං දැඩි ලිබරල් ප්‍රතිසංස්කරණ සිදු නොකර ඉන්දියාවට ගොඩයාමක් නැති බව පෙන්වා දුන්නා. පක්ෂ ප්‍රධානීන් බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය මධ්‍යයේ වුවද අගමැති නරසිංහ රාඕ විසින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ආචාර්ය මන්මෝහන් සිංට අනුමැතිය දුන්නා. ඒ අනුව, ඉන්දියාව පෙර නොවූ විරූ ධනවාදී ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් අද තිබෙන ශක්තිමත් ඉන්දියන් රාජ්‍යය ගොඩ නැගීමට මූලික පියවර ගත්තා.

මේ වන විට නාමික විණිමය අනුපාත අනුව ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන අතර, ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත ලෝකයේ තුන්වන විශාලම ආර්ථිකයයි. එදා ඩොලර් බිලියනයකවත් විදේශ සංචිත නොතිබුණු ඉන්දියාව සතුව අද වන විට ඩොලර් බිලියන 650 ඉක්මවන විදේශ සංචිතයක් තිබෙනවා. 1991දී හරි පාරට වැටුණු ඉන්දියාවට ඉන් පසුව ගෙවුම් ශේෂ අර්බුද ප්‍රශ්නයක් වී නැහැ.

කෙසේ වුවත්, ආචාර්ය මන්මෝහන් සිංගේ කාර්ය භාරය එදා එපමණම අගය කෙරුණේ නැහැ. 1992දී සිදු වූ කොටස් වෙළඳපොළ වංචාවකට ඔහුගේ නමද ගාවමින් චෝදනා කිරීමට දේශපාලන විරුද්ධවාදීන් පෙළඹුණු අතර 1996 මහ මැතිවරණදී ඉන්දියානු ඡන්දදායකයින් විසින් කොංග්‍රස් පක්ෂය පරාජය කර භාරතීය ජනතා පක්ෂය බලයට පත් කරගත්තා.

කෙසේ වුවද, 2004දී ඉන්දියාවේ අගමැති ධුරයට පත් වුනු ආචාර්ය මන්මෝහන් සිං වසර දහයක් එම ධුරයේ කටයුතු කළා. මෙම කාලය, විශේෂයෙන්ම ඔහුගේ පළමු ධුර කාලය, ඉන්දියාවේ ආර්ථිකය වේගයෙන්ම වර්ධනය වූ කාලයක්. ආචාර්ය මන්මෝහන් සිංව ඉන්දියානුවන් විසින් අදටත් වඩා අගය කරනු ඇත්තේ අනාගතයේදීයි.

ඉකොනොමැට්ටා

Social Sharing
අවකාශය නවතම