වත්මන් ආණ්ඩුව පත් වූ වහා ම කරන ලද පත්වීම් අතර රාජ්‍ය ප්‍රධානීන් පත් කිරීම ඉතා ම ඉක්මනින් සිදුවූ අතර එම පත්වීම් ලබා මාස තුනක් ගත වන විට ජාතික රූපවාහිනි සභාපති ධූරය සම්බන්ධව ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබේ.
රූපවාහිනි සභාපතිවරයා ලෙස කටයුතු කළ සෙනේෂ් දිසානායක බණ්ඩාර සිය ධූරයෙන් ඉවත් වී ඇති අතර සමාජ මාධ්‍ය තුළ එය ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය.
වත්මන් ආණ්ඩුව කරන ලද ප්‍රධාන පෙළේ පත් කිරීමක් අත්හරින ලද දෙවන පුද්ගලයා ඔහු ය. කතානායකවරයා ලෙස කටයුතු කළ අශෝක රන්වලට මීට පෙර සිය ධූරයෙන් ඉවත් වන්නට සිදුවූයේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව මතුවු ගැටලුකාරි තත්ත්වයක් හේතුවෙනි.
ඇතැමුන් සමාජ මාධ්‍ය තුළ පවසා තිබුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පිළිබඳව පළ කරන ලද හාස්‍යජනක විඩියෝවක් නිසා රූපවාහිනි සභාපතිවරයා ධූරයෙන් ඉවත් කර ඇති බවයි. එමෙන් ම වෘත්තිය සමිති සහ ඇතැම් නිලධාරීන් සමග ඇති වූ ගැටලු හේතුවෙන් ඔහුට සිය ධූරය අහිමි වූ බවට කටකතාවක් පැතිරිණි.
කෙසේ වෙතත් මෙසේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන කට කතා නිහඬ කරමින් සිය ඉවත් වීම සම්බන්ධව සෙනේෂ් දිසානායක බණ්ඩාර සිය මුහුණු පොතේ සටහනක් තබමින් සියලු කරුණු අනාවරණය කර ඇත.
‘මාස තුනකට හිත හදාගත්තා’
ඔහුට එම තනතුරට ආරාධනා ලැබුණ දා සිට ඉවත් වීම දක්වා කරුණු මෙන්ම ඉදිරි ආනාගතය සම්බන්ධයෙන් ද ඔහු සිය සටහනෙන් ඉඟි පළ කර තිබේ.
උපුටා ගැනීම,
“2024.09.24 දිනයේ සවස 4.45ට පමණ සිදුකරගෙන යමින් සිටි දේශනයක් අතර සිසුන්ගේ ඉල්ලාගන්නා කෙටි විවේකයේදී වතුර ටිකක් බොන අතරවාරයේ නිහඬකර තිබූ දුරකතනයට පැමිණ ඇති ඇමතුම් පරීක්ෂා කරන්නත් කිසියම් අවස්ථාවක් තියෙනවා. එක දිගට පැමිණ තිබූ ඒ ඇමතුම් අතර අලුතින් පත්වූ ජාතික ජන බලවේගය රජයේ හිතවතුන් කිහිප දෙනෙකුගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිඩුඩ කිහිපයක් මට මිස් වී තිබිණ. ඒ අතරවාරයේම වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගෙන් පැමිණි දුරකතන ඇමතුම “සෙනේෂ් කොහෙද ඉන්නේ? වැඩක් බාරදෙන්න තියෙනවා. විජිත අයියා හොයනවා.” මා දුටු කෙටි පණිවුඩ අතර විජිත අයියා එවූ කෙටි පණිවිඩයක් තිබිණ. “…….. ත් තියෙනවා, …… ත් තියෙනවා. මොකද්ද අරගන්නේ..” නලින්ද සුපුරුදු හිතෛෂි නමුත් තරමක බලකරන ස්වරූපයෙන් ඇහුවා. “ස්තූතියි.. මං එහෙම මොකවත් ගන්න අදහසක හිටියෙ නෑ.” “ඒවා පස්සෙ කතාකරමුද.. හෙටම ජාතික රූපවාහිනිය ගන්න ඕන.. ඉක්මණට තීරණයක් ඕන..” නලින්ද ඇමතුම විසන්ධි කළා. ”
“නලින්දගේ එවර දුරකතන ඇමතුමේ කිසිදු හිතෛෂි බවක් තිබුනේ නෑ “කෙටි කාලයක්වත් ඇදලා දෙන්න පුලුවන් වෙන්නම ඕන ..? මාස දෙකක් තුනක්..? මේක වැඩක්..! කරමු ඉතින් දැන් කරමු මේක..!! ” මාස තුනකට හිත හදාගත්තා.” යැයි රූපවාහිනි සභාපති ධූරය භාර ගත් හැටි ඔහු විස්තර කර තිබේ.
ඔහු කියන තුන් මසකින් කළ දේවල් මොනවා ද?
ජාතික රූපවාහිනිය එතෙක් පැවතියාවූ දුර්වල සහ නොපිළිගත් මට්ටමෙන් මුදවා ගෙන රජයේ ජනමාධ්‍ය ආයතනයක් ලෙස ආර්ථිකය ශක්තිමත් කළ ආකාරය ද හිටපු සභාපතිවරයා සිය සටහනේ සඳහන් කර ඇත.
“කලක් තිස්සේ සංස්ථාව සමග ගනුදෙනුවලදී ගැටලුසහගතව කටයුතු කළ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, කොළඹ නගර සභාව, විදුලිබල මණ්ඩලය සහ සමාගම, ලංකා බැංකුව වැනි ආයතන සමග පැවති බදු, ණය, හිඟ, දඩ පිළිබඳව නැවත සාකච්ඡා කොට බිඳ වැටී තිබුණු විශ්වාසය නැවත ගොඩනැංවීමටත්,
මෙරට වෙළඳ ප්‍රචාරණ නියෝජිතායන මෙන්ම ජනමාධ්‍ය කර්මාන්ත සහ ව්‍යාපාර ක්ෂේත්රය තුළ, ටෙලිනාට්‍ය සහ ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්රය තුළ දූෂණය සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සංස්ථාව කෙරෙහි පැවති සැක සංකා හේතුවෙන් ඈත්ව ගිය සබඳතා නැවත ගොඩනංවා විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමටත්,
අන්තර්ජාතික වශයෙන් සාමාජිකත්වය අහිමිවීම සම්බන්ධයෙන් විශේෂයෙන් ආසියා පැසිෆික් විකාශන සංගමය (ABU) සහ විකාශන සංවර්ධනය සඳහා ආසියා-පැසිෆික් ආයතනය (AIBD) සමග පැවති ව්‍යාකූලතා සංසිඳවා නැවත සාමාජිකත්වය සුරක්ෂා කිරීමටත්,
ගුණාත්මක ප්රේක්ෂකත්වය නැවත ආකර්ෂණය පිණිස නව වැඩසටහන් ආරම්භ කිරීමේදී අනවශ්‍ය නිෂ්පාදන පිරිවැය කලමණාකරණය කිරීමට සහ පරිපාලන වියදම් පාලනය කිරීමට කටයුතු කිරීම මෙන්ම ටෙලිනාට්‍ය වැනි බාහිර වැඩසටහන් මිලදී ගැනීමේදී පාරදෘශ්‍යභාවය පවත්වාගැනීම තුළින් විනිවිද මූල්‍ය පරිපාලනයක් ඇතිකිරීමටත්,
සංස්ථාවේ ප්රවෘත්ති, කාලීන වැඩසටහන්, විචිත්රාංග වැඩසටහන්, ටෙලිනාට්‍ය, ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා තරග, නිතර ඉල්ලීම් ඇති පැරණි වැඩසටහන් සහ අනෙකුත් වැඩසටහන් ප්‍රවර්ග ටෙලිවිෂන් තිරයෙන් නරඹන ප්රේක්ෂකත්වය විශාල ගුණයකින් වැඩි කරගැනීමටත්, ඩිජිටල් අවකාශයේ අතීතයේ නොවූ තරම් සුවිශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ස්ථාපිත කරගැනීමෙන් ඉන් ආදායම් ඉපයීමටත්,
ජාතික නාලිකාව, චැනල් අයි, සහ නේත්‍රා ටීවී වෙන වෙනම අනන්‍යතා සහිත නාලිකා ත්‍රිත්වයක් ලෙස සලකා වෙනස් වෙනස් ප්‍රේක්ෂක සමූහ එල්ල කරගත් වැඩසටහන්, තාක්ෂණ සේවා සහ අලෙවි කටයුතු සිදු කිරීම ආරම්භ කිරීමටත්,
විටින්විට සේවක වැටුප් හා දීමනා ගෙවීමට නොහැකිවූ අතීත තත්ත්වය නැවත ඇතිවීම වලක්වා කලට වේලාවට සේවක වැටුප් හා දීමනා ලබාදීමටත්,
දෙසැම්බර් මස 05 වැනි දා වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමන් රාජකාරි භාර ගන්නා ලද තුන් මාසයක කාලය දෙසැම්බර් 26 වැනි දා සම්පූර්ණ වන බැවින් ජාතික රූපවාහිනියේ දැරූ තනතුරෙන් සමුගන්නා බව සෙනේෂ් දිසානායක බණ්ඩාර සඳහන් කළේ ය.
නව වසරේ සිට ජාතික වගකීමක්
ජාතික රූපවාහිනියට පත් වීමට නියමිත නව සභාපතිවරයා ගැන හෙළිකර ඇති හිටපු සභාපතිවරයා ඔහුගේ ඉදිරි කටයුතුවලට සිය සටහනින් සුබ පැතුම් එක් කර තිබේ.
“ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, ආචාර්ය අජන්ත සෙනෙවිරත්න මෙන්ම ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ යන හිටපු මෑත කාලීන සභාපතිවරුන් සහ අධ්යක්ෂ ජනරාල්වරු ඇතුළු විවිධ විද්වතුන් හිතවතුන් රසවතුන් විටින්විට මාහට දෙන ලද උපදෙස් සහ තොරතුරු මට උපකාර වූ බව සටහන් තබනවා. එමෙන්ම ගිහාන් ද සිල්වා සහෝදරයා නව සභාපති ධුරයට පත්ව ක්‍රියාත්මක කරනු ලබන අනාගත ඉදිරි සැලසුම් කටයුතු සියල්ල සර්වප්රකාරයෙන් සාර්ථක වේවා ඉත සිතින් සුබ පතනවා.”
“ජාතික රූපවාහිනියෙන් සමුගත්තත් වෛද්‍ය නලින්ද ජයතිස්ස සහොදරයාගෙන් සමුගැනීමට මට අවස්ථාවක් නොමැත. නව වසරේ තවත් ජාතික මට්ටමේ වගකීමක් දරමින් නැවත ඔහු හා කටයුතු කිරීමට සිදුව තිබේ.
“ඒකත් කරන්නම වෙනවා..” අල්ලාප සල්ලාප අතරේම නලින්ද ආයෙත් එහෙම කිව්වා,” යි රූපවාහිනි සභාපති ධූරය හැර ගිය ද වත්මන් රජය හැර නොයන බවට ඉඟි පළ කරමින් සෙනේෂ් දිසානයක බණ්ඩාර සිය සටහනින් වැඩිදුරටත් පවසා ඇත.
හෙට වැඩ භාර ගන්නා නව සභාපති
සෙනේෂ් දිසානායක බණ්ඩාර ජාතික රූපවාහිනියේ සභාපති ධූරයෙන් ඉවත් වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස බීබීසි සිංහල සේවයට තහවුරු කළේ ය.
“සෙනේෂ් වැඩ භාර ගන්නකොට කිව්වේ එයාට මාස තුනයි මේක කරන්න පුලුවන් කියලා. එතකොට විසි පහට ඒක ඉවර වෙනවා.”
ජාතික රූපවාහිනි සභාපති ධූරයට ගිහාන් ද සිල්වා පත් කරන බව ත් ඔහු හෙට (දෙසැම්බර් 26) සිය ධූරයේ වැඩකටයුතු භාර ගන්නා බව ත් ඇමැතිවරයා පැවසීය.
BBC සිංහල