අසිරිමත් නත්තල් දිනය අදයි

සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ ජේසු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) දී තිබේ. ඊයේ (24) වැනිදා මැදියම් රැයෙන් උදාවූ මෙම නත්තල් දිනය සැමරීම සඳහා ලොව පුරා කිතුනු බැතිමත්හු දෙව් මැදුරු වෙත පැමිණ සිටියහ. නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මධ්‍යම රාත්‍රී ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ ජා-ඇළ වික්ෂෝප මාතා දෙව් මැඳුරේදීය.

අදින් වසර 2024කට පෙර දිනෙක බෙත්ලෙහෙමේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂ උපත සැමරීම වෙනුවෙන් මෙවරද කිතුනු දේවස්ථාන රැසක විවිධ විශේෂාංග සංවිධානයකර තිබිණි. සාම්ප්‍රදායිකව පැවැත්වෙන කැරොල් ගී ප්‍රසංග, ජේසු බිලිඳාගේ උපත සිහිපත් කෙරෙන ගවලෙන් හා නත්තල් ගස් සැකසීම යනාදිය සිදු කරමින්, රට පුරා කිතුනු ජනතාව මෙවර නත්තල් උත්සවය සැමරීමට මහත් හරසරින් කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි. කොළඹ නගරය, නෙළුම් කුලුන, ගාලු මුවදොර අවට සහ කොළඹ වරාය නත්තල් දිනය සැමරීම වෙනුවෙන් අලංකාර කර තිබේ.

සටහන
Srimal DC

Social Sharing
නවතම පුවත්