මෙරට ජනප්‍රිය තරුණ ලේඛකයෙකු , වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලීසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන සිදුවෙමින් පවතී. පසුගිය සිකුරාදා (20) ඔහු තම නිවස අසළ ම පිහිටි කඩයකට ගොස් සිටි අවස්ථාවේදී අතුරුගිරිය පොලිසියේ යැයි කියමින් සිවිල් ඇඳුමින් සිටි තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සිදුකළ වරද ලෙස ඔවුන් කියා සිට ඇත්තේ ජාතික හැඳුනුම්පත තමන් ළඟ නොතිබීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා බවයි. එම නිලධාරීන් තමන්ව අතුරුගිරිය පොලිසියට රැගෙන ගිය බවත් පොලිස් ත්‍රිරෝද රථයෙන් තමාව එම ස්ථානයට රැගෙන යද්දී නිලධාරීන් දෙදෙනකු අමානුෂික ලෙස තම දෑත් අල්ලාගෙන සිටි බවත් හීනටිගල චෝදනා කරයි.තම සිඟිති දරුවා රැකබලා ගන්නා බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී පොලිසියට ගෙන්වා ගත් පසු තමාට සහ තම බිරිඳට අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දැඩි ලෙස බැණවැදුණු බව ඔහු පවසයි.
කසුන් මහේන්ද්‍ර සහ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි මාධවී ඇන්තනී අද (21) පස්වරුවේ පොලිස්පති සහන මැදිරියට වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ල සිදුකරනු ලැබූ අතර සිද්ධියට අදාළ පොලිස් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනාව තාවකාලිකව මාරු කිරීමකට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
කෙසේ නමුත් කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා තම ෆේස්බුක් ගිණුමෙහි ”වධ හිංසාවෙන් මිදීමට’ (Right to Torture) ඇති මගේ නීතිමය රැකවරණය දැඩි ලෙස උල්ලංඝණය වෙලා”යනුවෙන් සඳහන් කර තිබීම විශේෂිතය.
කසුන්ගේ මෙම සිදුවීම ඔස්සේ පොලිස් වදහිංසනය පිළිබඳ මෙරට පොදු ජනතාවගේ අවධාදනය යොමු වී ඇති පසුබිමක දිනෙන් දින ඉහළ යන පොලිස් වදහිංසනය සම්බන්ධයෙන් නැවත විමසුමක් සිදුකිරීම කාලෝචිතය.
රටක සාමය ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ වගකීමක් පැවරී ඇත්තේ පොලීසියට ය.ශ්‍රී ලංකාවේ පොලිස් ආඥා පනත අනුව, රටේ වෙසෙන මහ ජනතාව, ඔවුන්ගේ දේපළ ආරක්ෂා කර දීම වෙනුවෙන් ‘සියලු ම අපරාධ, වැරදි, පොදු හිරිහැර වැළැක්වීම, සාමය ආරක්ෂා කිරීම’ ආදී යුතුකම් සහ වගකීම් පැවරී ඇත්තේ පොලිසියට ය. නමුත් ශ්‍රී ලංකාවේ පොලීසිය මෙම වගකීම් නිසි අයුරින් ඉෂ්ට කරනවා ද යන සැකය මෙරට පුරවැසියා තුළ මතු ව ඇත්තේ විවිධ දූෂණ ක්‍රියා සහ වදහිංසනයන්ට ඍජුව හෝ වක්‍රව පොලීසියත් සම්බන්ධ වන හෙයිනි.
මෑත කාලය තුළදී පොලීසියට එල්ල වන ප්‍රධාන චෝදනා අතර බලය අයුතු ලෙස පාවිච්චි කිරීම,සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ අනන්‍යතාවය හෙලිවන පරිදි කටයුතු කිරීම සහ මත්ද්‍රව්‍ය ළඟතබා ගැනීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන අනීතික අත්අඩංගුවට ගැනීම් ද ඒ අතර වෙයි.
ඊට අමතරව, විවිධ අසත්‍ය චෝදනා නගමින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම්, අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින්ට පහරදීම් සහ හිංසා කිරීම්, මෙන් ම පොලිසිය භාරයේ සිටියදී මිය යාම් සම්බන්ධයෙන් ද නොයෙකුත් අවස්ථාවලදී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
නමුත් මේ සියලු කරුණු අතුරින් කෲර ලෙස පොලීසිය තුළ සිදුවන්නේ වදහිංසනයයි. පොලිස් වදහිංසනය සම්බන්ධයෙන් කෙතරම් කතා කළ ද ඒ පිළිබඳ විමර්ශනයන් සිදුකළ ද පොලිසිය විසින් තම බලය අත්තනෝමතික ආකාරයෙන් මහජනයා වෙත එල්ල කිරීම නම් නැවතී නොමැත. එහෙයින් දිනෙන් දින පොලිස් වදහිංසනයන් ඉහළට යනවා මිසක කිසි කලෙක එය පහළ අගයක් ගන්නේ නැත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද ‘වධ හිංසා පැමිණවීම හා කෘර අමානුෂික හෝ අවමන් සහගත අයුරින් සැලකීමේ හෝ දඬුවම් කිරීමේ ක්‍රියාවන්ට එරෙහි අන්තර්ජාතික සම්මුතිය’ට අනුව, පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීමට එහි සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව බැඳී සිටි.
නමුත් පොලිස් වදහිංසනය සහමුලින් ම තුරන් කිරීමට අප රටට නොහැකි වී තිබීම කණගාටුවට කරුණකි.ඒ අනුව 2024 වසරේ පළමු මාස 11 තුළ පොලිස් නිලධාරීන් 298ක ගේ වැඩ තහනමට ලක් වීම ඉහත කරුණු සනාථ කිරිම සඳහා හොඳ ප්‍රවේශයක් ද සපයනු ලබයි.
මෙම වැඩ තගනම් වීම් සඳහා මූලිකව ම පුද්ගලයින්ට පහර දීම, මාර්ග බාධකවලදී මුදල් එකතු කිරීම, බලය අනිසි ලෙස භාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීම වැනි චෝදනා අදාළ වන බව දැක්විය හැකිය.
නමුත් මෙවැනි චෝදනා සම්බන්ධයෙ වැඩ තහනම් කිරීම හෝ ස්ථාන මාරු පමණක් සිදුකිරීම ප්‍රමාණවත් ද යන වග වින්දිත පාර්ශවයන් සහ පොදු පුරවැසියා නගන ප්‍රධානතම ප්‍රශ්නයකි.
මෙහිදී වධ හිංසා පිටුදැකීම වෙනුවෙන් පොලිස් කොමිසම ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව දැක්විය හැකිය. එනම්,
- පෙර (යහපත්) හැසිරීම් සලකා අනෙකුත් පැමිණිලි විභාගයේදී කෙරෙන ‘දඬුවම් ලිහිල් කිරීමේ ක්‍රමවේදය’ වධ හිංසා කිරීම සම්බන්ධ චෝදනාවකදී ක්‍රියාත්මක නොකිරීම.
- පොලිස් විනය වැරදි සම්බන්ධ අභියාචනාවලදී (වධ හිංසා පැමිණවීම් සම්බන්ධ චෝදනා ඇති නිලධාරීන්ට) විනය නීතිය ක්‍රියාත්මක කරනවා මිස අනෙකුත් අවස්ථාවලදී මෙන් සහන නොදීම.
- වධ හිංසා කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති නිලධාරීන් අදාළ චෝදනාවලින් නිදොස්වන තෙක් උසස්වීම් ලබා නොදීම යනාදියයි.
නමුත් මෙම ක්‍රියාමාර්ගයන් ගන්නට වුවද පොලිසීය නිසි ආකාරයෙන් විමර්ශයන් සිදුකරනවා ද යන්න පිළිබඳවත් ගැටලුක් ඇත.
කෙසේ නමුත් කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ප්‍රසිද්ධිය නිසාවෙන් පොලිස් වදහිංසනය සම්බන්ධයෙන් විවිධ වගකිවයුතු පාර්ශවයන්ගේ මෙන්ම පොදු මහජනතාවගේ ද ඇස් ඇරී ඇති පසුබිමක, එම චෝදනවාලට පොලීසිය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගයන් මෙරට පොලිස් වදහිංසනය තුරන් කිරීම උදෙසා ඉතා හොඳ ප්‍රවේශයක් සපයනු ඇති බවට අපගේ විශ්වාසයයි.
ඔබ සතුව වදහිංසනය සම්නධයෙන් කිසියම් තොරතුරක් තිබේ නම් අපට කියන්න – වදහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව – [email protected] | 011 266 9100
සටහන – අනුදි නිසල්යා වීරසිංහ