ජනාධිපති අරමුදල ප්‍රභූන්ට විතර ද?

ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත්  හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලනයට සම්බන්ධ පිරිස්වල ලැයිස්තුවක් සම්බන්ධයෙන් අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමත් සමඟ ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක කතා බහක් සමාජය තුළ නිර්මාණය වී ඇත.

අත්තනෝමතික ලෙස ජනාධිපති අරමුදලෙන් පාර්ලිමේන්තු සභිකයින් සහ දේශපාලඥයින් පමණක් පෝෂණය වී ඇති පසුබිමක පොදු ජනතාවට ඇති වී ඇති ගැටලුව වන්නේ මෙරට සාමාන්‍ය පුරවැසියාට මෙම අරමුදල මඟින් මුදල් ලබාගැනීමට හැකියාවක් නොමැති ද යන්න යි.

එහෙයින් මූලිකවම ජනාධිපති අරමුදල යනු කුමක් ද, එයින් මූල්‍යමය අරමුදල් හිමිවන්නේ කාට ද , එහි ඇති කොන්දේසි සහ නියාමනයන් මොනවා ද යන්න පිළිබඳ විමසුමක් සිදුකළ යුතුය.

ජනාධිපති අරමුදල යනු, හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ධූර කාලය තුළ පරිත්‍යාගශීලීන්ගේ මුල්‍යමය  දායකත්වයෙන් රු.237,120 ක මූලික ප්‍රාග්ධනයකින් ජනාධිපති අරමුදල ආරම්භ කර කිබේ. එය 1978 අංක 7 දරන පනතින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ ආයතනයකි.

මෙම අරමුදලෙහි මූලික අරමුණු ලෙස දක්වා ඇත්තේ ,

  • දරිද්‍රතාවයට සහන සැලසීම
  • අධ්‍යාපන හෝ ඥානය වර්ධනය කිරීම
  • ආගම් නංවාලීම සඳහා දායකත්වය ලබා දීම.
  • ජනාධිපතිවරයාගේ සහ පාලන මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කාර්‍ය්‍යන් ඉටු කිරීම යන්නයි.
  • සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ මහජන පරිත්‍යාග හරහා ජනාධිපති අරමුදල පවත්වාගෙන යනු ලබයි.

මෙම අරමුදලේ ක්‍රියාකාරකම් ලෙස විවිධ රෝග සඳහා වෛද්‍යාධාර, ජනතාවගේ ජීවනෝපාය නංවාලීම සඳහා දිළිදුකම පිටු දැකීමේ වැඩසටහන් සඳහා මූල්‍යාධාර ලබාදීමක් සිදුවන අතර අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ඉතා වටිනා මූල්‍යාධාරයන් ද ප්‍රදානය කරනු ලබයි. එයින් මූලිකව ම මහපොළ ශිෂ්‍යාධාර අරමුදලට දායකත්වය ලබා දීම, අ.පො.ස(උ.පෙළ) විශිෂ්ඨ ලෙස සමත් වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම, අ.පො.ස (සා.පෙළ) විශිෂ්ඨ ලෙස සමත් වූ අඩු ආදායම්ලාභී දරුවන් සඳහා උසස්පෙළ හැදෑරීමට ශිෂ්‍යාධාර ලබා දීම වැනි දෑ සිදුකරනු ලබයි.

ආගමික ප්‍රතිසංස්කරණයන් උදෙසා ද මෙමඟින් මූල්‍යාධාර ලබාදීමක් සිදුකරනු ලබයි. මෙහිදී ආගමික ප්‍රතිසංස්කරණ කිරීම සහ ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රදාන ලබා දීමත්,වාර්ෂිකව සංවිධානය කරනු ලබන පෙරහැර සහ වෙනත් සංස්කෘතික කටයුතු සඳහා ආධාර කිරිමට මෙන්ම පුද්ගලයන් වෙත ප්‍රතිලාභ සැලසීම සඳහා ජනාධිපති අරමුදල නමින් රාජ්‍ය බැංකුවල හා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම් මෙන්ම ජනාධිපතිවරයාගේ සහ මණ්ඩලයේ අභිමතය පරිදි ලබා දෙන ප්‍රතිලාභ හැඳින්විය හැකි ය.

ශ්‍රී ලාංකික පුරවැසියන් හට පමණක් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමට අයැදුම් කළ හැකි අතර ඊට අදාළ කොන්දේසි හා නියමන් කිහිපයක් ඇත.

සැත්කම හෝ ප්‍රතිකාරය සිදුකර රෝහලෙන් පිට වු දින සිට දින 60ක් ඇතුළත අයැදුම්පත ඉදිරිපත් කිරීම (සති අන්ත හා රජයේ නිවාඩු දිනයන් ද ඇතුළුව), රෝගියා,කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ මාසික ආදායම් සීමාව රු. 200,000/- නොඉක්මවීම, රෝගියා, කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයෙක් ආදායම් බදු නොගෙවීම, සැත්කම හෝ ප්‍රතිකාරය සඳහා වැයවන මුළු වියදමෙන් 50%ක මුදලක් වෙනත් කවර හෝ ආයතනයකින් ලබා ගැනීමට සුදුසුකම් ලබා නොතිබීම (රක්ෂණාවරණයකින්/වෛද්‍යාධාර ක්‍රමයකින්/සුභසාධන ක්‍රමයකින්), ප්‍රා‍දේශීය ලේකම්වරයාගේ නිර්දේශය ලැබීම, සැත්කම/ප්‍රතිකාරය සඳහා යන වියදම දරාගැනීමට ප්‍රමාණවත් මුල්‍ය සම්පත් රෝගියාගේ පවුල සතු නොවීම, අදාළ සැත්කම/ප්‍රතිකාරය ජනාධිපති අරමුදලේ අනුමත රෝහලකින් සිදුකරවා ගෙන තිබීම, ජනාධිපති අරමුදලේ අනුමත මුල්‍යාධාර ලබාදෙන රෝගයක් වීම, ජනාධිපති අරමුදලේ අනුමත උපරිම මූල්‍යාධාරය ලබා නොතිබීම මෙන්ම අයදුම්පතේ අසත්‍ය තොරතුරු නොසැපයීම කොන්දේසි හා නියමයන් ලෙස ජනාධිපති අරමුදලේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

එමෙන්ම අධාර ලබාදෙන ප්‍රතිකාර සහ සැත්කම් මොනවා ද යන්න පිළිබඳ විමසීමක් කළ යුතුය.ඒ අනුව  හදවත් සැත්කම්, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් හෝ රුධිර කාන්දුකරණය, මොළයේ සැත්කම්, පිළිකා ප්‍රතිකාර, ඇට මිදුළු බද්ධ කිරීම, උකුල් /දණහිස්/උරහිස් සහ වැලමිට සන්ධි බද්ධ කිරීම්, කර්ණ සංඛ බද්ධ කිරීමේ සැත්කම, කොඳු ඇට පෙළ විකෘති වීම, කොඳු ඇට පෙළ තෙරපුම සඳහා, කෘත්‍රිම පාද/අත් මිල දී ගැනීම සඳහා, තැලසීමියා රෝගීන්ට (ආසේවන පොම්පය මිල දී ගැනීමට), අක්මා බද්ධ කිරීම, අක්ෂි සැත්කම් (විදේශීය රෝහල් සඳහා), අක්මාව තුළ හටගන්නා පිළිකා තත්ත්වය මර්දනය කිරීම සඳහා ප්‍රතිකාර, පෙනහළු අකර්මන්‍යතා සඳහා ස්වසන උපකරණ ලබා දීම සඳහා ජනාධිපති අරමුදලින් ප්‍රධාන වශයෙන් ආධාර ලබා දෙන සැත්කම් හා ප්‍රතිකාර ලෙස දක්වා තිබේ.

මේ අනුව පෙනී යන්නේ හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙම  අරමුදල අවභාවිත කර ඇති බවයි. මෙහිදී පක්ෂ විපක්ෂ ගණනාවක් මේ සඳහා තම මතයන් ඉදිරිපත් කටමින් පවතී. කෙසේ නමුත් ජනාධිපති අරමුදලේ ඉදිරිය මෙරට පුරවැසියාගේ හෙට දවස වෙනුවෙන් වැඩදායී වැඩකොටසක් දියත් කරනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි වටපිටාවක් උදාවී ඇත.

ජනාධිපති අරමුදල සඳහා පිවිසෙන්න –  https://www.presidentsfund.gov.lk/si/

සටහන – අනුදි නිසල්යා වීරසිංහ 

Social Sharing
අවකාශය නවතම පුවත්