ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද නව උපයන විට බද්ද (PayE tax) සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
එම නිවේදනයට අනුව සලකා බැලීමේ දී 121,000 කට බදු අඩු කර තිබුණ ද, ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161කට රැදවුම් බදු වැඩි කර ඇත.
එමෙන් ම වත්මන් අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය දිගින් දිගටම හැකිළෙමින් පවතින බවත්, සමාජයේ පහළ මැද පන්තිය සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ළතැවෙමින් සිටින බවත්, එසේ තිබිය දී, රටේ පහළ ම ආදායම ලබන පිරිසක් ද ඇතුළත් වන ලක්ෂ 161ක් වන සියලු ම ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට අතිරේක බදු බරක් පැණවීම කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කෙරේ.
මතු දැක්වෙන්නේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විසින් නිකුත්කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
121,000 කට බදු අඩු කර, ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට රැඳවුම් බදු වැඩි කරලා
ආණ්ඩුව ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද (PayE tax) ගෙවූ 121,000 කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161කට බලපාන පරිදි රැඳවුම් බද්ද 5% කින් ඉහත දමා ඇස්බැන්දුමකින් රටම රවටා ඇත.
මැතිවරණ සමයේ දී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රු. ලක්ෂ දෙකක් කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ එය රු. 150,000ක් කරන බව නිවේදනය කළේය. අදාළ බද්ද ගෙවන පුද්ගලයින් 121,000කට එමගින් වාසියක් සැලසේ. ඒ සමග ම රජය දැනට 5% ක් වන රැඳවුම් බද්ද 10% දක්වා වැඩි කර ඇත. ලංකාවේ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 ක් පවතින අතර එයින් ගිණුම් ලක්ෂ 50 ක් මාසික ක්‍රියාකාරී මට්ටමේ පවතී. මේ සියලු ම ගිණුම් සඳහා ලැබෙන පොලිය 5%ක බදු වැඩිවීමට යටත් කර ඇත.
වත්මන් අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය දිගින් දිගටම හැකිළෙමින් පවතී. සමාජයේ පහළ මැද පන්තිය සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ළතැවෙමින් සිටී. එසේ තිබිය දී, රටේ පහළ ම ආදායම ලබන පිරිසක් ද ඇතුළත් වන ලක්ෂ 161ක් වන සියලු ම ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට අතිරේක බදු බරක් පැණවීම කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකි ය.
මාසිකව හෝ අර්ධ වාර්ෂිකව තැන්පත් පොලිය ආහාර, බෙහෙත් ඇතුළු දෛනික අවශ්‍යතා සඳහා ලබා ගන්නා ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සහාසික ක්‍රියාවකි.