සිරියාවේ නව නායකයා වන අහමඩ් අල්-ෂාරා පවසන්නේ තම රට යුද්ධයෙන් හෙම්බත් වී ඇති බවත් අසල්වැසියන්ට හෝ බටහිරට අනතුරුදායක නොවන බවත්ය. බීබීසී පුවත් සේවයේ ජාත්‍යන්තර සංස්කාරකවරයෙකු වන ජෙරෙමි බොවෙන් (Jeremy Bowen) සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී සිරියානු කැරලි නායක අහමඩ් අල්-ෂාරා (Ahmed al-Sharaa) සිරියාවට පනවා තිබෙන සම්බාධක (වෙළඳ තහනම් වැනි දඬුවම්) ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. සම්බාධක පැනවූයේ පැරණි රජයට මිස වත්මන් රජයට නොවන බව ඔහු පැවසීය.
“දැන්, සිදු වූ සියල්ලෙන් පසු සම්බාධක ඉවත් කළ යුතුය. මන්ද ඒවා පැරණි පාලනය ඉලක්ක කර ගත් බැවිනි. වින්දිතයාට සහ පීඩකයාට එකම ආකාරයකින් නොසැලකිය යුතුය.” ඔහු පැවසීය.
කැරලිකාර සන්ධානයේ ප්රමුඛ කණ්ඩායම වන Hayat Tahrir al-Sham (HTS) හි නායකයා වන ෂාරා, සති දෙකකටත් අඩු කාලයකට පෙර බෂාර් අල්-අසාද්ගේ පාලනය පෙරළා දැමූ සටනටද නායකත්වය දුන්නේය. ඔහුව කලින් හඳුන්වනු ලැබුවේ Abu Mohammed al-Jolani යන නමිනි. ඔහු කැරලිකාර කණ්ඩායමක් වන Hayat Tahrir al-Sham (HTS) හි නායකයා වන නමුත් සමහර රටවල් තවමත් එය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස හඳුන්වයි. HTS ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බවත්, තම කණ්ඩායම සිවිල් වැසියන්ට පහර නොදෙන බවත් ෂාරා පවසයි.
HTS සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසින් හැඳින්වීම ඉවත් කළ යුතු බව ෂාරාගේ අදහසයි. HTS සංවිධානය 2016 දී අල්-කයිඩා සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායමක් ලෙස ආරම්භ වූ බැවින්, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ තවත් බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත. HTS ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බවත් ඔවුන් සිවිල් ජනතාව හෝ සිවිල් ප්‍රදේශ සිය ප්‍රහාර සඳහා ඉලක්ක කර නොගත් බවත් ඔහු පැවසීය. ඇත්ත වශයෙන්ම, ඔවුන් අසාද් පාලනයේ අපරාධවලට ගොදුරු වූවන් ලෙසින් ෂාරා විසින් හැඳින්විය.
සිරියාව, ඇෆ්ගනිස්ථානය වැනි රටක් බවට පත් කිරීමට උත්සාහ කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. සිරියාවට තමන්ගේම සංස්කෘතියක් සහ ජීවන රටාවක් ඇති බවත් ඇෆ්ගනිස්ථානය ගෝත්‍රික සමාජයක් බවත් සිරියාවේ ඊට වෙනස් මානසිකත්වයක් ඇති බවත් ෂාරා පැවසීය.
කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශයක් වන ඉඩ්ලිබ් හි බොහෝ විශ්ව විද්‍යාල සිසුන් කාන්තාවන් බව පවසමින් ඔහු කාන්තාවන් සඳහා අධ්‍යාපනයට සහාය දක්වන බව පවසා සිටියේය. බීබීසී මාධ්‍යවේදියා විමසූ පැනයට පිලිතුරක් ලබා දෙමින් අහමඩ් අල්-ෂාරා වැඩිදුරටත් පවසා සිටියේ 2011 වසරේ සිට කැරලිකරුවන් විසින් අල්ලාගෙන සිටින සිරියාවේ වයඹ පළාතද උදාහරණයක් ලෙසට ගනිමින්ය.
“අපට ඉඩ්ලිබ්හි වසර අටකට වැඩි කාලයක් විශ්ව විද්‍යාල තියෙනවා. මම හිතන්නේ විශ්වවිද්‍යාලවල කාන්තා ප්‍රතිශතය 60%කට වැඩියි.” ෂාරා පැවසීය.
මත්පැන් සහ අනෙකුත් නීතිමය කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදියාට පිළිතුරු ලබා දෙමින් සිරියාවේ නව නායකයා පවසා සිටියේ “බොහෝ දේ නීතිමය ගැටළු නිසා කතා කිරීමට මට අයිතියක් නැත.” යනුවෙනි. “ව්‍යවස්ථාවක් ලිවීමට සිරියානු නීති විශාරදයින්ගෙන් සමන්විත කමිටුවක් සිටින අතර එය ඔවුන් තීරණය කරනු ඇති බවත් ඕනෑම පාලකයෙකුට හෝ ජනාධිපතිවරයෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති” බවත් පවසමින් ඔහු කියා සිටියේ නව නීති කමිටුවක් මගින් රට සඳහා වන නීති පිළිබඳව තීරණය කරනු ඇති බවයි.
අහමඩ් අල්-ෂාරා කළ සම්මුඛ සාකච්ඡාවේදී ෂාරා සිවිල් ඇඳුමින් සැරසී සම්මුඛ සාකච්ඡාව පුරාම සැහැල්ලුවෙන් සිටි අතර, තම කණ්ඩායම එහි අන්තවාදී අතීතයෙන් බිඳී නැතැයි විශ්වාස කරන සියල්ලන්ටම සහතිකයක් දීමට උත්සාහ කළේය. තම කණ්ඩායම වෙනස් වී ඇති බව මිනිසුන්ට ඒත්තු ගැන්වීමට ෂාරා උත්සාහ කළද බොහෝ සිරියානුවන් තවමත් ඔහුව විශ්වාස නොකරන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ඉදිරි මාස කිහිපය තුළ සිරියාවේ සිදු වන දේ අනුව ෂාරා කුමන ආකාරයේ නායකයෙකු වනු ඇත්ද සහ සිරියාව කුමන දිශාවට ගමන් කරයිද යන්න පෙන්නුම් කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.
සටහන
Srimal DC