රුසියානු ජෙනරාල්වරයාගේ ඝාතකයා අත්අඩංගුවට

රුසියානු හමුදාවේ න්‍යෂ්ටික හා ජෛව රසායනික ආරක්ෂක බලකායේ (NBC) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් 2024.12.17 වැනි දින (අඟහරුවාදා) මොස්කව් නුවර සිදුවූ පිපිරීමක් නිසා ජීවිතක්ෂයට පත් විය. රුසියාවේ විමර්ශන කමිටුව (SK) විසින් ප්‍රකාශ කරන ලද තොරතුරුවලට අනුව “අලුයම නේවාසික කුටියකින් පිටත සිටියදී ස්කූටරයක සඟවා තිබූ උපකරණයක් දුරස්ථව පුපුරුවා හැරීමෙන් ජෙනරාල්වරයා ඝාතනය කර තිබේ. ප්‍රහාරය නිසා ජනරාල්වරයාගේ සහායක ඉල්යා පොලිකාර්පොව්ද ජීවිතක්ෂයට පත් විය.

ප්‍රහාරයෙන් පසුව මොස්කව්හි සිදු කළ පිපිරීමේ වගකීම භාරගනිමින් “රුසියානු සන්නද්ධ හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයෙකු සහ ඔහුගේ සහායකයා යුක්රේන ආරක්ෂක සේවය විසින් මොස්කව්හිදී ඝාතනය කර ඇති බව යුක්රේන මූලාශ්‍රයක් බීබීසී පුවත් සේවයට පවසා තිබේ.”

මොස්කව්හිදී ජෙනරාල්වරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් මස 18 වැනිදා (ඊයේ) උස්බෙකිස්ථානු ජාතිකයෙකුව රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඊයේ දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් එස්කේ (SK) විසින් පැවසුවේ “රඳවාගෙන සිටින පුද්ගලයා 1995 දී උපත ලැබූ උස්බෙකිස්තානයේ පුරවැසියෙකු වන බවයි. “ඔහු “ත්‍රස්තවාදී ක්‍රියාවක් කළ බවට සැක කරන” බවත්, ප්‍රශ්න කිරීමේදී “ඔහු යුක්රේන විශේෂ සේවා විසින් බඳවා ගත් බව” ඔහු විසින් පැහැදිලි කළ බවත් එහි දී සඳහන් විය.

ප්‍රහාරකයා විසින් කිරිල්ලෝව් පදිංචිව සිටි නේවාසික ගොඩනැඟිල්ලේ දොරටුව අසල නවතා තිබූ ස්කූටරයේ මෙම පුපුරණ ද්‍රව්‍ය තබා තිබිණි. මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා සැකකරු මෝටර් රථයක් කුලියට ගෙන ඇති අතර එහිදී ඔහු යුක්රේනයේ Dnipro නගරයේ සිටින ප්‍රහාරයේ සංවිධායකයින්ට එම ස්ථානයේ දර්ශන සජීවීව විකාශය කිරීම සඳහා වීඩියෝ කැමරාවක්ද සවි කර ඇති බව විමර්ශන කමිටුව වැඩිදුරටත් සඳහන් කළේය. කිරිලොව් සහ ඔහුගේ සහායක ගොඩනැගිල්ලෙන් පිටව යන විට, පුපුරණ ද්‍රව්‍ය දුරස්ථව ක්‍රියාත්මක කර ඇති බව සැකකරු විසින් සිදුකළ ප්‍රකාශයේ සඳහන් වේ.

මේ අතර, රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවා (FSB) විසින් සැකකරුගෙන් ප්‍රශ්න කෙරන වීඩියෝවක් ප්‍රකාශයට පත් කළ අතර එම වීඩියෝ පටයේ, කිරිලොව් ඝාතනය කිරීම වෙනුවෙන් ඔහුට ඩොලර් 100,000 ක ත්‍යාගයක් සහ යුරෝපීය විදේශ ගමන් බලපත්‍රයක් පිරිනමන බව ඔහු රුසියානු භාෂාවෙන් ප්‍රකාශ කරන දර්ශන අඩංගු වේ. FSB ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ යුක්රේනයේ උපදෙස් මත සැකකරු මොස්කව් වෙත පැමිණ පුපුරණ ද්‍රව්‍ය උපකරණයක් ලබා ගෙන ඇති බවයි.

වර්ෂ 2022 දී රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාව තුළ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා ලෙසට කිරිලොව් සැලකේ.

බදාදා (ඊයේ) රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ එළඹෙන සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ තිබෙන රැස්වීමේදී රුසියාව කිරිලොව්ගේ ඝාතනය මතු කරන බවයි. ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් සොයා දඬුවම් දෙන බවට රුසියානු නිලධාරීන් සපථ කර ඇත.

Social Sharing
අවකාශය පුවත් විදෙස්