1994 දි පොදු ජන එක්සත් පෙරමුණ රාජ්‍ය බලය ගන්නා විට එතෙක් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දහ හත් වසරක් නොකඩවා එක දිගට රාජ්‍ය පාලනය කර තිබුණි. මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයේම දැති රෝද කැරකුණේ එජාපයට අවශ්‍ය පරිදි ය. ඒ යාන්ත්‍රණය කැරකුවේ මැරයන්, අපරාධකරුවන් වැනි පාතාලයන් විසිනි. ඒ පිළිබදව අප සිද්ධි කිහිපයක් විමසා බලමු.
පළමු සිද්ධිය
දහ හත් වසරක UNP පාලනය තුළ පොලොන්නරුව පාලනය කළේ රාජ්‍ය ඇමතිවරයකු වූ එච්.ජී.පී. නෙල්සන් ය. ඔහු උගතෙකු නොවූවත් ප්‍රායෝගික දේශපාලකයෙකි. පොලොන්නරුවේ සංවර්ධන කමිටු රැස්වීම්වල දී වැව්වල ජල ධාරිතාව අක්කර අඩිවලින් කතා කරද්දී නෙල්සන්ගේ භාෂාව වෙනස් විය. පරාක්‍රම සමුද්‍රයේ අහවල් තැනට වතුර තියෙනව නම් කන්නය අස්වැද්දිය හැකි බව නෙල්සන්ගේ තර්කය විය. එනිසා වාරිමාර්ග විශේෂඥයන්ට වඩා ඔහු ප්‍රායෝගික විය.
නෙල්සන්ලා නිර්මාණය කළ පොලොන්නරුවේ රාජ්‍ය යාන්ත්‍රණය කරකැවීම 1994 දී බලයට ආ පොදුජන එක්සත් පෙරමුණේ පොලොන්නරුව නායකයා දූ මෛත්‍රීපාල සිරිසේනට අපහසු විය. ඔහු දීර්ඝ කාලයක් යැපුනේ යූඑන්පිය විසින් ශක්තිමත් කර තිබූ නිලධාරී පැලැන්තියෙනි. දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාන මාරු නොදී දේශපාලන පළිගැනීම්වලට ලක්වෙමින් සිටි කාර්‍යාල කාර්‍ය සහායකයකුට ස්ථානමාරුවක් ලබාදීමට හෝ මෛත්‍රීපාල අසමත් විය.
දෙවැනි සිද්ධිය
UNP දහහත් වසර තුළ කුරුණෑගල හොලවාගෙන සිටියේ ගාමිණී ජයවික්‍රම පෙරේරා ය. ඇතුගල පවා ජයවික්‍රම පෙරේරාට බිය වූ බව මිනිස්සු කීහ.වයඹ පළාත් සභාවේ මුළු රාජ්‍ය නිලධාරීන් සියල්ල හිටියේ ජයවික්‍රමගේ සුරතේ ය. ඇත්තටම ඔහුට තිබුණේ සුවිසාල පෞරුෂය කි.
ඊට අලගු තබන්නට හෝ හැකි නායකයෙක් 1994 ආණ්ඩු වෙනසින් පසුව කුරුණෑගලට නොලැබුණි. අනුර ප්‍රියදර්ශන ලා, ඇස් බී නාවින්නලා ගාමිණී ජයවික්‍රම ඉදිරියේ කුහුඹුවන් මෙන් විය. කුරුණෑගල රාජ්‍ය යාන්ත්‍රණය තමන් අතට ගන්නට යූඑන්පී ඉහළ නිලධාරී පැලැන්තිය විශ්‍රාම යනකම් සිටිය යුතුවිය.
තුන්වන සිද්ධිය
එම් එස් අමරසිරිලා නායකත්වය දුන් ගාල්ලේ රාජ්‍ය යාන්ත්‍රණය 1994න් පසුව පැවරුනේ අමරසිරි දොඩන්ගොඩ හා රිචර්ඩ් පතිරණ ඇමතිවරුන් අතට ය. දොඩංගොඩ තද සීතල නායකයෙකි. රිචර්ඩ් පතිරණ එවැන්නකු නොවේ. ගාල්ලේ නිලධාරීන් මේච්චල් කිරීමට අවශ්‍ය තැන දී ඇදිවත උස්සාගෙන යෑමට වුවද ඔහු මැලි නොවීය.
දිඹුලාගල හාමුදුරුවන් එල්ටීටීඊය විසින් ඝාතනය කෙරුණේ ඔය අතර ය. ගාල්ලේ තමිල්නාඩුව වූ කිත්තන්ගෙයට සිංහල වීරයෝ ගිනි තැබූහ. මුළු ගාල්ල නගරයම දුමෙන් වැසී ගියේය. රිචර්ඩ් පතිරණ සරම අතට ගත්තේය. ඔහු වහා දුව ගියේ ගාල්ල පොලීසියට ය. එහි ගොස් මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ අසුනට බර වූ ඔහු අමු තිත්ත කුණුහරුපයෙන් පොලීසියට බැන වැදුනි. පැය දෙකක් තුළ ගාල්ලෙන් දුම් රොටු පහව නොගියහොත් තමන් රිචර්ඩ් පතිරණ නොවන බව ගුගුලේ ය. මුළු පොලීසියම බියට පත් විය. හමුදාව ද කැදවීය. කලහකරුවන් අත් අඩංගුවට පත්විය. දෙමළ මිනිසුන් ආරක්ෂා විය. ගාල්ල නගරයේ අහසට නැගි දුම් රොටු පහව ගියේය.
රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට පෞරුෂයක් අවශ්‍ය වේ. නිවටයන්ට ඒ දේ කළ නොහැක. රිචර්ඩ් පතිරණ එදා ඔප්පු කළේ ඒ අවශ්‍යතාවයි. එදා ඔහු නොවන්නට මුළු ගාල්ලම ගිනි ගන්නේ කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය පරිදි ය.
අද ද සිදුවන්නේ එයයි. රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද කරකවන්නේ දීර්ඝ කාලයක් රාජපක්ෂලා විසින් පෝෂණය කළ නිලධාරීන් විසිනි. ඔවුන් දාන කකුල් මාට්ටු වලින් ගැලවීමට නිවටයන්ට නොහැක. මේ යාන්ත්‍රණය ජනවරමට අනුව කරකවා ගැනීමට ජන නායකන්ට පෞරුෂයක් තිබිය යුතුය. නහයෙන් අඬමින් සිටීම විසදුම නොවේ.
උදාහරණයකට කතානායකවරයාට පාර්ලිමේන්තු මහ ලේකම් මඟ පෙන්වීම් නොකළාය යන්න එවැනි නහයෙන් ඇඬීමකි. මඟ පෙන්වීම් අවශ්‍ය ය. එහෙත් කතානායකවරයා විසින් සභානායකවරයා අමතන්නේ තමන්ගේ තනතුරු නාමයෙන් නම් ඊට මහ ලේකම්වරයා වගකිව යුතු නැත. කතානායක සහායකවරයා ඒ වරද පුන පුනා පෙන්වා දෙද්දීත් කතානායකවරයා නින්දෙන් ඇහැරුණ අයකු මෙන් හැසිරේ නම් එය ඔහුගේ පෞරුෂ ගැටළුවකි.
රාජ්‍ය නිලධාරීන් අලුතෙන් මැවිය නොහැක. වැඩ ගත යුත්තේ සිටින අයගෙනි. ඊට පෞරුෂයක් අවශ්‍ය වේ. නිවටයන්ට ආණ්ඩුකරණය කළ නොහැක. මේ නිවටයන් නිසා සුවිශාල ජනවරම අවලංගුවීමට ද ඉඩ දිය නොහැක. ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණයට පෞරුෂයක් ඇති පිරිස් අවශ්‍ය වන්නේ එබැවිනි.