රට අර්බුදයකට ගෙන ගිය චෝදනාව දේශපාලනඥයාට වගේම රාජ්‍ය සේවකයාටත් එල්ල වෙනවා -ඇමැති ලාල්කාන්ත

රට බරපතළ අර්බුදයක් කරා ගෙනයෑම සම්බන්ධයෙන් දේශපාලනඥයාට පමණක් නොව රාජ්‍ය සේවකයාට ද ජනතාව චෝදනා කරන බවත්, මේ තත්ත්වය වෙනස් කිරීමට දෙපාර්ශ්වයම එක ලෙස කැපවිය යුතු බවත් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“පැවති දේශපාලන සංස්කෘතියට ජනතාව තුළ වූ විරෝධය සහ එය වෙනස් කළ යුතුය යන පණිවිඩය පසුගිය මහමැතිවරණ ප්‍රතිඵලයෙන් විද්‍යමාන වෙනවා. මේ වන විට ජනතාව අපේක්ෂා කළ ආකාරයෙන් යම් යම් සාධනීය වෙනස්කම් සිදු වෙමින් පවතිනවා.

මෙතෙක් රටේ පැවති සොරකම, දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව, වගකීම් විරහිතභාවය අපි අවසන් කර තිබෙනවා. ඒක ජනතාව දකිනවා. දේශපාලනඥයන්ට වගේම රාජ්‍ය නිලධාරීන්ටත් සමාජය තුළ බරපතළ විවේචනයක් තිබෙනවා. දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව රට විනාශ කළා කියන විවේචනය ජනතාව එල්ල කරනවා. ග්‍රාම සේවක මහතාගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වාම ජනතාව තුළ බරපතළ විවේචනයක් තිබෙනවා. අකාර්යක්ෂමතාව, මානුෂික නොවීම රාජ්‍ය සේවය තුළ දක්නට ලැබෙන බරපතළ අඩුපාඩුවක්. රජයේ ආයතනයකට ගියාම මේක අපේ තැනක් කියන හැඟීම දැනෙන්නේ නෑ කියා ජනතාව කියනවා. මානුෂීය අන්දමින් පිළිගෙන වැඩක් කර දෙන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අහන්න දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

ප්‍රශ්නයකට විසඳුම් සොයාගෙන එන කෙනාට ගෞරවනීය ලෙස සලකන්න ඕන. අමාත්‍යාංශවල පුටු හදලා තිබෙන්නේ ඇමැති සිංහාසනයේ වාඩි වෙන විදිහටයි. සේවා ගැනීමට ඇමැති ළඟට එන කෙනාට ආසන පනවා තිබෙන්නේම ඔහු පහත් තත්ත්වයකට පත්වන ආකාරයටයි. තමන්ගේ පුරවැසියන් දෙවන පෙළ මිනිහෙක් ලෙස සලකා මේස, පුටු සකස් කිරීම වැරදියි. මේක අධිරාජ්‍යවාදීන්ගෙන් අපට ආ එකක් වෙන්න ඕනෙ. ඔවුන් අප තුළ යටත් මානසිකත්වයක් ගොඩනැඟෙන ආකාරයට සියලු දේවල් සකස් කළා. වාඩිවෙන විදිහ, නැඟිටින විදිහ, අදින පලඳින විදිහ තුළින් පවා ඒ මානසිකත්වය අප තුළ ඇති කිරීමට ඔවුන් උනන්දු වුණා. මගේ අමාත්‍යාංශයේ රාජාසනය වගේ පුටුව ඉවත් කර සාමාන්‍ය ජනතාවට වාඩි වීමට තිබෙන පුටුවක් මමත් ගත්තා. දැන් මාව හම්බවෙන්න එන කෙනා, පුටුවෙනුත් මට සමානයි. ආසන පනවා තිබෙන ආකාරයෙන්ම ග්‍රාම සේවක ළඟට, ප්‍රාදේශීය ලේකම් ළඟට, වතු අධිකාරි ළඟට එන පුරවැසියා දෙවන, තුන්වන හෝ හතරවන ගණයේ පුරවැසියන් කර තියෙන්නේ. කතාවෙන් සහ හැසීරීමෙන් එය තවත් වැඩි වෙනවා. අවශ්‍යතාවක් සඳහා පොලීසියට එන පුරවැසියකුට මේක මගේ ආයතනයක් කියලා දැනෙන්නේ නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාමත් එහෙමයි. අපි ඒක වෙනස් කරමු.”

ඇමැතිවරයා මේ බව පවසා ඇත්තේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

මේ අතර, රාජ්‍ය අංශයේ තවත් දූෂණයක් සම්බන්ධව පුවතක් අද දිවයින වාර්තා කර තිබුනේ පහත අයුරිනි,

කොතලාවලපුර දුම්රිය නිවාස 546 ක කෝටි 9 ක වතුර බිල දෙපාර්තමේන්තුව අතින් ගෙවලා

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා එම නිවාසවල පදිංචි එක් නිලධාරියකුගෙන් ජල බිල්පත් වෙනුවෙන් මසකට රුපියල් 05ක මුදලක් අයකිරීම නිසා ඉකුත් වසර තුන තුළ (2021,2022,2023) ජල බිල්පත් ලෙස රුපියල් නවකෝටි විසිතුන්ලක්ෂ අනූඅටදහස් පන්සිය තිස්දෙකක (92,398,532) මුදලක් දෙපාර්තමේන්තුව විසින් දරා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා ජලබිල්පත් ලෙස වසරකට රුපියල් මිලියන 30කට අධික මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම නිවාසවල නිසි පරිදි ජල මිටර් සවිකර වියදම් කළමනාකරණය කළයුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත.

Social Sharing
නවතම පුවත්