ඔහු තවදුරටත් සුදුසුද?

President of the Court of Appeal Nissanka Bandula

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බවට ගොනු කළ පෙත්සමත් පසුගිය 12 වැනිදා ප්‍රතික්ෂේප විය. ඊට අමතරව  ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනාට ලක්ෂ 5 බැගින් ලක්ෂ 15ක නඩු ගාස්තු ගෙවන ලෙස පෙත්සම දැමූ නීතිඥ වරයාට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නියෝග කලා. එහිදී රජයට ලක්ෂ 5කුත් ගෙවන්න නීතිඥවරයාට නියෝග කල අතර, හිටපු ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී නැතැයි එහිදී තීන්දු විය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා තීන්දු කර, එම නම ව්‍යවස්ථා සභාවට එවූ පසු ව්‍යවස්ථා සභාවේ තිදෙනෙක් ඒ නම අනුමත කළා. ඒ අගමැති දිනේෂ් ගුණවර්ධන, ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ මන්ත්‍රී සාගර කාරියවසම්. පස් දෙනෙක් ඒක ප්‍රතික්ෂේප කළා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මන්ත්‍රී කබීර් හෂීම් සහ ව්‍යවස්ථා සභාවේ ඉන්න මන්ත්‍රීවරුන් නොවන සිවිල් සාමාජිකයන් තිදෙනා. ඒ අනුව අවස්ථා දෙකකදී හිටපු ජනාධිපතිවරයා නිස්සංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයාගේ නම එව්වත් ව්‍යවස්ථා සභාවෙන් එය ප්‍රතික්ෂේප විය.

ක්‍රිකට් බෝර්ඩ් එකේ සිදුවීමෙදිත් නිස්සංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයාගේ හැසිරීම දැඩි දෝෂදර්ශනයට ලක්වුණා.

මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවත් සමග අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතාට තවදුරටත් එම ධුරයේ කටයුතු කළ හැකිද යන්න ගැන බරපතල ප්‍රශ්නයක් පැන නගිනවා. ඔයිටත් වඩා චෝදනා එල්ල වුණු සහ ගෝඨාභය රාජපක්ෂගේ වුවමනාවට අනුර කුමාර දිසානායක මහතාගේ පුරවැසි භාරවය අහෝසි කළ යුතු බවට පවා තීන්දු කරපු උපාලි අබේරත්න කියන හිටපු විනිසුරුවරයා තවම තොරතුරු කොමිසමේ සභාපති ලෙස කටයුතු කරනවා.

මෙවැනි කාරණා ගැන සමාජය මීට වඩා බරපතල ලෙස සංවාද කළ යුතුයි. කතා බහ කළ යුතුයි. අධිකරණයේ සහ ආයතනවල ස්වාධීනත්වය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත් දෙයක්.

තරිඳු ජයවර්ධන

Social Sharing
අවකාශය නවතම