නිහඬ වීරයෝ – දිනුත් විජේපාල

පෙරේදා වෙච්ච කතානායක හුටපටෙත් එක්ක ගොඩක් මිනිස්සුන්ට පෙරේදා ලංකාවේ මෑත කාලේ වෙච්ච වැදගත්ම සිදුවීමක් මග හැරුණා. ඒ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ප්‍රතිව්‍යුහගතකරණය නිමාවකට පත්වීමයි. රටේ සෑම පුද්ගලයෙක්ගේම ඉදිරි ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති සංකීර්ණ සංසිද්ධියක් ගැන කතා කරනවට වඩා රටට කිසිම වැදගත්කමක් නැති කථානායක ධුරයක් ගැන රණ්ඩු වීමට හුදී ජනතාව කැමතියිනෙ.

පැරණි බැඳුම්කර වෙනුවට ප්‍රතිව්‍යුහගත කළ නව බැඳුම්කර රජය මගින් පැරණි බැඳුම්කර හිමියන්ට නිකුත් කිරීම පසුගිය 12 වෙනිදායින් අවසාන වුණා. මෙහිදී පැරණි බැඳුම්කර වල මුළු මුහුණත් අගයෙන් 96% ක පමණ ප්‍රමාණයක් වෙනුවට නව බැඳුම්කර ලබා ගැනීමට ණය හිමියන් කැමැත්ත පළ කර තිබෙනවා. (මෙය බොහෝ දෙනා සිතුවාට වඩා බෙහෙවින් ඉහළ අගයක්)

ඒ සමගම වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ පැවති හා නව රජයන් විසින් සිදු කල දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක අවසානයක් කරා එළඹී තිබෙනවා. මේ නිසා මේ වසර අවසානයට පෙර ශ්‍රී ලංකාවට බංකොලොත්භාවයෙන් මිදීමට හැකියාව ලැබෙනවා සේම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් ලංකාවේ ණය ශ්‍රේණිය ද ඉහළ දමා ගැනීමට හැකියාව ලැබෙනවා.

වසර එකහමාරක පමණ කෙටි කාලයක් තුළ ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකින් දේශීය ණය, ද්වි පාර්ශවික ණය, බහු පාර්ශවික ණය, වාණිජ ණය වැනි සියල්ලක්ම ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කිරීම පැහැදිලිවම පැසසිය යුත්තක්. විශේෂයෙන් ඉතාම අස්ථාවර දේශපාලන සන්ධර්භයක් පැවති කාල පරාසයක් තුළදී මෙය සිදු කරන්නට හැකිවීම  අනගිභවනීයයී.

මෙවැනි සාර්ථක ක්‍රියාවලියක් සිදුවීමෙන් පසු ලංකාවේ සිදුවන සාමාන්‍ය සංසිද්ධිය මෙම ක්‍රියාවලියට අදාළ ලකුණු දා ගැනීමේ සටනයි. බොහෝ විට එහිදී සිදුවන්නේ පැරණි වහල් හිමියාගේ පාර්ශවයේ වහලුන් පැමිණ එය තමාගේ වහල් හිමියා ආරම්භ කළ ක්‍රියාවලියක් නිසා ඒ ලකුණු තම වහල් හිමියාට ලැබිය යුතු බව පැවසීමත්, නව වහල් හිමියාගේ පාර්ශවයේ වහලුන් පැමිණ එය ඉදිරියට පවත්වා ගනිමින් සාර්ථක අවසානයක් ළඟා කර දුන් තම වහල් හිමියාට එහි ලකුණු ලැබිය යුතු බව පැවසීමත් ය.

එහෙත් මෙම ක්‍රියාවලිය මුල සිට අග දක්වාම සිදුවුණු ආකාරය හරියට නිරීක්ෂණය කල පුද්ගලයෙක්ට මෙම ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් දෙදෙනා සඟවන්නට බෑ. ඒ තමයි මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා.

ඔවුන් දෙදෙනාට මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිටම ලැබුණු නින්දා අපහාස බොහෝමයි. අයිඑම්එෆ් ඒජන්තයන්, රෝ ඔත්තුකරුවන්, බටහිර ආර්ථික ඝාතකයන් යන නොයෙකුත් විශේෂණ පදවලින් ඔවුන්ව දේශපාලකයනුත් ජනතාවත් හංවඩු ගැහුවා. ඒත් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ දෙදෙනාගේ කාර්යභාරය නිවැරදිව වටහාගෙන පිටින් එන ඝෝෂාවන්ට කිසිදු යටත් වීමකට ලක් නොවී තම කාර්යභාරය මැනවින් ඉෂ්ට කලා.

පොඩ්ඩක් ඔබලාගේ මතකය ගිය වසරේ මැද භාගයට අරගෙන යන්න. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේදී භාණ්ඩාගාරය බැංකුවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකර සේවක අර්ථ සාධක අරමුදල් වලින් රජය ලබාගත් ණය පමණක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීම ශ්‍රී ලාංකික හුදී ජනතාවගේ විශාල දෝෂ දර්ශනයකට ලක්වුනා මතක ඇති. කොටින්ම එකල ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එම සිදුවීමට පෙර දිනයක ප්‍රකාශ කර සිටියා අර්ථ සාධක අරමුදලට කිසිදු අතක් නොතිබන බවත් බැංකුවලින් ලබාගත් ණය පමණක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බවත්. එය ඇසුණු වර්තමාන ආණ්ඩුවේ එක ඇමතිතුමෙක් එකල ජනතාව ඇවිස්සීමට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා බැංකුවල තැන්පත් කළ මුදල් ආණ්ඩුව විසින් මංකොල්ලකෑමට යන බවත් ඊට කලින් ජනතාවගේ මුදල් බේරගන්නා ලෙසත්.

ඒත් මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් එම දෙපාර්ශවයෙන්ම කරපු බියවැද්දීම් වලට යට වීමකින් තොරව දින කීපයකට බැංකු නිවාඩු දී ජාත්‍යන්තර බැඳුම්කර මිලදී ගැනීම නිසා දැනටමත් පාඩු ලබා ඇති බැංකුවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තොරව, ධනාත්මක මූල්‍ය ප්‍රවාහයන් (positive cash flow) ඇති අර්ථ සාධක අරමුදල නිවැරදිව ජනතාවට ලොකු පාඩුවක් නොවන සේ නිවැරදි පරිදි ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කලා. එසේ නොකර වඩා ජනප්‍රිය මතය වෙච්ච බැංකු පද්ධතියෙ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කලා නම් සිදු වෙන්නට තිබූ හානිය කියල නිම කරන්න බෑ. (ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදුකිරීමට බැංකු නිවාඩු දුන් සතියේ, ඒ නිවාඩුව දුන්නේ කාටත් හොරා බැංකු ටික මංකොල්ල කෑමට බව වර්තමාන ආණ්ඩුවේ ඇමතිතුමෙක් ප්‍රකාශ කළා කාටත් මතක ඇති)

ඉන්පසු අපට ණය ලබා දුන් පැරිස් සංගමයත්, ඉන්දියාවත් වගේම ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරන චීනය පවා ද්වීපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා  සාකච්ඡා මේසයට ඔවුන් විසින් ගෙන ආවා. එම ණයවල් රාජ්‍යයන්ගෙන් ගැනීම නිසා ණය කපා හැරීමක්(hair cut) සිදු කිරීමට නොහැකියි. ඒ නිසා එම ණය ගෙවීම ආරම්භ කරන කාලය අවුරුදු ගණනාවකින් පසුපසට දමා ගැනීමටත් ණය ගෙවන කාල පරාසය විශාල කාල පරාසයකට පුළුල් කර ගැනීමත් සිදුකළා.  එවිට 2028 න් පසු පවතින ආණ්ඩුවලටද තමන්ගෙ ඩොලර් සංචිත මත ලොකු පීඩනයක් නැතුව එම ණය ගෙවා ගැනීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම ලංකාවේ ඉන්න බොහෝමයක් මිනිස්සු හිතා ගෙන ඉන්නේ පසුගිය වසර දෙකක වැනි කාලය තුළ අප විසින් විදේශීය ණය සත පහක්වත් ගෙව්වේ නැති බවයි. එහෙත් පසුගිය වසර දෙකක කාලය පුරාවට IMF, World bank, ADB වැනි ආයතන වලින් ලබාගත් බහු පාර්ශවික ණය හා ඒවායේ පොලියද කිසිදු අතපසුවීමකින් තොරව රජයේ විසින් ගෙව්වා. එම ගෙවීම්වලදී ඩොලර් සංචිත මත ඇතිවන පීඩනය නිවැරදි පරිදි කළමනාකරණය කර ගැනීමට මහා බැංකුවට හැකි  උනා. පසුගිය කාලයේදී ඩොලර් මිල ස්ථාවරව තබා ගනිමින්ම IMF එකඟතාවයන්ට අනුව ඩොලර් සංචිත වැඩි කර ගැනීම ප්‍රශංසනීයයි.

ඉන්පසු තමයි ඔවුන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ISB ප්‍රතිව්‍යුහගතකරණයට අත ගැහුවේ. මේක තමයි සංකීර්ණම ක්‍රියාවලිය වුණේ. මොකද එවැනි බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව ඒවා නැවත ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලේ ඒවායේ වෙළඳපල වටිනාකම් අනුව විකිණෙනවා (bond trading). එවිට එම ISB විශාල කණ්ඩායම් ප්‍රමාණයක් අතරට බෙදී යනවා. ඔවුන්ව එක සාකච්ඡා මණ්ඩපයකට ගෙන ඒම බොහොම අමාරුයි. නමුත් එම ISB හිමිකරුවන් වැඩි ප්‍රමාණයක් සාකච්ඡා වට වලට ගෙන ඒමට ඔවුන් දෙදෙනාට හැකි වුණා. මුල් වට වල සාකච්ඡා වලින් එකඟ වූ ප්‍රතිව්‍යුහගතකරණයන් සාර්ථක වූයේ නෑ. ඊට හේතුව එම ප්‍රතිව්‍යුහගතකරණයන් imf එකේ ණය තිරසාර කර ගැනීමේ ව්‍යුහයට (DSA) අනුකූල වූයේ නැති වීමයි. (නව රජයේ තරුණ කේවට්ටයෙක් එකල එම DSA එක ඔවුන් ඉදිරියේදී වෙනස් කරන බවත් දැනටමත් ඒ නව DSA එක සකස් කර ඇති බවත් එකල ප්‍රසිද්ධියේ වහසි බස් දෙඩුවා ඔබලාට මතක ඇති. එහෙත් එම කේවට්ටයන්ගේ වෘෂභ කතා නොසලකා හරිමින් කිසිදු වෙනස් කිරීමකින් තොරව එම DSA එක වර්තමානය දක්වාම පවත්වා ගැනීමට කටයුතු කිරීම ගැන නව රජයේ ඉහළ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන්ටත් මෙහිදී ස්තූතිය පුද කරන්න ඕනේ)

කෙසේ හෝ සාකච්ඡාව වට ගණනාවකින් පසු හරියටම ජනාධිපතිවරණයට දින දෙකක් තිබියදී IMF එකඟතාවයන්ට අනුකූල වන විදිහට ISB හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයන්ට එකඟතාවයට පැමිණියා. {පසුගිය මාස තුනක පමණ කාලය තුළ දැවැන්ත ලෙස ලංකාවේ කොටස් වෙළඳපොල ඉහළ යෑම ( Bullish Trend ) ආරම්භ වූයේ මෙදින සිටයි} ඉන්පසු පැරණි බැඳුම්කර වෙනුවට නව ප්‍රතිව්‍යුහගතකරණය කළ බැඳුම්කර නිකුත් කිරීම පසුගිය මාසයේ ඇරඹුනා. පෙරේදා ඉතාමත් සාර්ථක ලෙස අවසානයට පත් වූයේ එම කාර්යයයි. මෙහිදී මෙම ණය ගෙවන කාලය දීර්ඝ වනවා මෙන්ම ආසන්න වශයෙන් එම ISB වලින් 27% ක පමණ ණය කපා හැරීමක් ද සිදුවෙනවා. (මෙම අගය රටේ ආර්ථික දර්ශක වල තත්වය අනුව වෙනස් වීමටට හැකියි)

නන්දලාල් වීරසිංහ හා මහින්ද සිරිවර්ධන මහත්වරුන් දෙදෙනාගේ කාර්යභාරය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට පමණක් සීමා උනේ නෑ.

මහා බැංකු අධිපතිතුමා හා මූල්‍ය මණ්ඩලය නිවැරදි පරිදි මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ පහළ දමමින් 70% ට පමණ ඉහළ ගිහින් තිබූ උද්ධමනය වර්තමානය වන විට බෙහෙවින් පහලට රැගෙන ඇවිත් තිබෙනවා. වර්තමානයේ තිබෙන්නේ ඍණ අගයක්.(මෙය එතරම් හොඳ තත්ත්වයක් නොවුවත් තව මාස කීපයකින් මේ තත්වය පහව යන්න පුළුවන්)

ඒ විතරක් නෙමෙයි, රටේ පැවති ආර්ථික හා දේශපාලනමය අස්ථාවර භාවය නිසා 30% ක පමණ අගයකට ඉහල ගොස් තිබූ බැඳුම්කර හා භාණ්ඩාකාර බිල්පත් ඵලදා අනුපාතයන් වර්තමානය වෙනකොට 9% වෙනි පරාසයකට පැමිණ තිබෙනවා. ඊට සමගාමීව ව්‍යාපාරිකයන් සඳහා බැංකුවලින් ලබාගත හැකි ණය පොලී අනුපාතයන්ද 10% -12% පරාසයන්ට පැමිණ තිබෙනවා. මේ නිසා නැවත බැංකුවලින් ජනතාව ලබාගන්නා ණය ප්‍රමාණයන් වැඩිවීමෙන් සාමාන්‍ය ආර්ථිකය නැවතත් ප්‍රකෘති වෙමින් පවතිනවා. මේවාටද ඔවුන් දෙදෙනා ගත් තීන්දු තීරණ විශාල වශයෙන් බලපෑවා.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර දිග හෑල්ලක් මේ දෙදෙනා ගැන ලියන්න හේතුව මොකද්ද කියලා. මමත් කිසි දිනෙක හිතුවේ නෑ රාජ්‍ය සේවකයන් දෙදෙනෙක් ගැන වර්ණනාවක් ලිවීමට මට සිදුවේ යැයි කියලා.

ඒකට හේතුව අධිකව දේශපාලනිකව ධ්‍රැවීකරණය වූ සමාජයක් පවතින විට මෙවැනි රටක් වශයෙන් ලබාගත් ජයග්‍රහණ තම තමාගේ පක්ෂ වලට බැර කිරීමට හුදී ජනයා පෙළඹ සිටීමයි. එවැනි අවස්ථාවකදී කිසිවිටක වැඩිපුර අවධානය යොමු නොවන සැබෑ වීරයන් සැඟවී සිටිනවා. ඔවුන් ගැන අවධානයක් යොමු කිරීමටවත් හුදී ජනයාට මතක් වෙන්නේ නෑ.

Batman එකේ අන්තිමට Gordan කියන කතාවක් පොඩ්ඩක් වෙනස් කරලා දාලා මං මේ හෑල්ල ඉවර කරන්නම්.

“They are not the Heroes that we deserved, But the Heroes we needed”

PS – කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං මෙතනදී පහුගිය අවුරුදු දෙකහමාරක කාලයේදී ජනතාව කරපු කැප කිරීම් අමතක කළාද කියලා. නෑ. මම ඒක අමතක කළේ නෑ. විශාල ආර්ථික දුෂ්කරතාවයන් වලට මුහුණ දෙමින් මෙම ආර්ථික ස්ථායිකරණ ක්‍රියාවලියට අකැමැත්තෙන් උනත් ඔබ අපි සැවොම දැවැන්ත සහයෝගයක් දුන්නා. ඉදිරියටත් මෙම කටුක මාර්ගයේ ටික කාලයක් ගියොත් පසු කලෙක එහි ඵලදාව නෙලාගන්න බැරි වෙන එකක් නෑ. ඒත් හුදී ජනතාව එහෙම තමන්ට ස්තූතිවන්ත වෙනවට ලොකුවට කැමැත්තක් නෑනේ. තම පක්ෂයේ වහල් හිමියාට ස්තුති කරනවා නම් තමයි වඩා කැමතියි.😊

#CBSL #IMF #isb_restructure

Social Sharing
අවකාශය ආර්ථික නවතම