ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා

ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබෙනවා. ඒ බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළා. වසර 2022 දී කඩා වැටුණු රටේ ආර්ථිකය අද පවතින තත්වයට උදා කර ගන්නට මේ මිනිසුන් තිදෙනා විසින් කළ කාර්යභාරය අතිමහත්.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුව බාර ගන්නේ අර්බුදයේ පතුලේ දී. ඔහු එතැන් සිට මේ දක්වා මහ බැංකුව මෙහෙයවූ ආකාරය ප්‍රශංසනීයයි. ඒ වෙනුවෙන් ඔහුට ජාත්‍යන්තර පිළිගැනීම ලැබී තිබෙනවා. මේ අර්බුදයේදී ඔහු විසින් සිදු කල රාජකාරිය තමයි Monetary Policy එක නියමිත ආකාරයෙන් මෙහෙයවීම.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන මහතා විසින් රටේ මහා භාණ්ඩාගාරය ඇතුළු Fiscal Policy එක නියමිත ආකාරයෙන් කළමනාකරණය කර ගත්තා. මේ කොටස් දෙක තමයි අර්බුදයෙන් ගොඩ එන්න තිබෙන මාර්ග දෙක. මේ දෙක මැනේජ් කරන ගමන් IMF වැඩසටහන සාර්ථක කර ගැනීම සහ දේශීය/විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම  කොටස් දෙක හැසිර වීම සාර්ථකව ඔවුන් සිදු කර තිබෙනවා.

මේ කොටස් දෙකට මහ බැංකුවේ වගේම මුදල් අමාත්‍යංශයේ ඔවුන්ට සහය දැක්වූ නිලධාරීන් රැසක් සිටිනවා. ඔවුන්ව ආදරයෙන් මතක් කරන අතර, ඔවුන්ට රටේ ගෞරවය හිමිවිය යුතුයි.

එසේම මේ කටයුත්තේ සෘජුව මැදිහත් වී සිටි හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු අනෙකුත් ආර්ථික උපදේශකන් සියල්ල ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

මේ වැඩේ හිටපු අනෙක් කෙනා තමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඔහුගේ නම මේකට ගා ගැනීම නිසාම මේ පෝස්ට් එකට වැටෙන reactions වෙනස් වෙන්න පුලුවන්. හැබැයි ඒවට බයෙන් ඇත්ත වෙනස් කරන්න මට ඕනේ නෑ.

රනිල් වික්‍රමසිංහ කියන දේශපාලකයා තරම් මේ රටේ ගැරහීමට පත් වුන දේශපාලකයෙක් නොමැති තරම්. ඒක ඔහුගේ දෛවය වෙන්න ඇති. ඔහු නියෝජනය කළ දේශපාලන සංස්කෘතිය එහෙම එකක්. ඒ වගේම ඔහු ඉතා දුර්වල සන්නිවේදකයෙක්. කෙසේ වෙතත් මේ අර්බුදයෙන් එතෙර වෙන්න ඔහුගේ දේශපාලන දැනුම මෙන්ම ඔහුගේ ආර්ථිකය හැසිරවීම විශාල කාර්යයක් ඉටු කළා. රට දේශපාලනිකව ඒ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හසුරුවා ගන්න ඔහු සමත් උනා. ඒ ප්‍රතිසංස්කරණ සිදු කළ විට තවත් ජනතා අප්‍රසාදයට ලක් වෙන බවත්, දේශපාලනිකව පරාජයට පත් වෙන බවත් දේශපාලනය තුල පැහැදිලි සත්‍යක්. ඒත් ඒවා සිදු කිරීමට ප්‍රතිරෝධයන් මධ්‍යයේ කටයුතු කිරීම අගේ කල යුතුයි.

අනෙක් ප්‍රශ්නය තමයි අර්බුදය ගොඩ නැගෙන තුරු දේශපාලනයේ සිටපු, තනතුරු දරපු කෙනෙක් විදියට ඔහුත් අර්බුදයේ කොටසක් නේද කියන එක. ඒක තර්කානුකූලයි. ඒ වගකීම ඔහුට තිබෙනවා. මෙතෙක් ලංකාවේ ලිබරල් මතය නියෝජනය කරපු ජීවත්ව සිටින එකම දේශපාලකයා වන ඔහු නිවැරැදිව සිය දේශපාලන මතය සමාජ ගත කරන්නට ඔහු සමත් වී නෑ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය වටේට රටේ පාලන බලය ලබා දිය හැකි අලුත් පරම්පරාවක්, දෙවැනි පෙළක් ඔහු නිර්මාණය කර ගෙන නෑ. තමන්ගේ අයිඩියෝලොජි එක රට තුල  ව්‍යාප්ත කරන්න ඔහු සතුව ඇජෙන්ඩා එකක් තිබිලා නෑ. හුදෙක් ඒ වෙනුවට ඔහු ඒක තමන් සතුව පමණක් තියා ගෙන ඒ පක්ෂය වටා හොරු රැසක් එකතු කර ගෙන තිබෙනවා. එවන් මට්ටමේ හොරු ඔහුගෙත් කන් වලින් රිංගා ගොස් රට මේ දක්වා වූ විනාශ කාරී මාර්ගයේ රැගෙන විත් තිබෙනවා. ඔහුගේ දැක්ම තිබිලා තියෙන්නේ එක කොටසක විතරයි. එතනින් එහාට රටේ පැවැත්ම ගැන ඔහු හිතලා නෑ. ඒ නිසා ඔහු අදටත් දේශපාලනය තුල තනි වුන කෙනෙක්.

කෙසේ වෙතත් අර්බුදය හමුවේ ඔහු රජය මෙහෙයවා ගෙන මෙතක් ඔළුව උස්සාගෙන ඉන්න පුලුවන් මට්ටමේ රටක් ඉතුරු කරලා තිබෙනවා. දැන් තියෙන්නේ එතනින් පටන් අරගෙන ඉතුරු ටික යන්න. මේ පාරේ යන්න ඕන බව දන්න නිසා තමයි අලුත් රජයත් ඒ වැඩපිළිවෙළට බාධාවක් නොකර නන්දලාල් වීරසිංහයි, මහින්ද සිරිවර්ධනයි තනතුරේ තියා ගත්තේ. ඔවුන් බලයට එන්නට පෙර කියපු කතා පැත්තක තියලා සීරුවෙන් මේකට බාදා නොකර සිටීම නිසා මේ වැඩපිළිවෙළ සාර්ථකත්වය කරා ගිහින්. ඒකට ඔවුන්ට ස්තුතියි.

රටක් විදියට අපි මරු කපොල්ලකින් එතෙර වෙලා තියෙනවා. ඒත් අභියෝග ඉවර නෑ. අපි සාමුහිකව රටක් විදියට ඉතුරු ගමන යමු.

මේ සියල්ල හැමෝටම තේරෙන්නෙත් නෑ, හැමෝම එකඟ වෙන්නෙත් නෑ. එහෙම තමයි දේශපාලනයේ හැටි. ඒකට කමක් නෑ. හැබැයි ඔබට අද  සතුටු වෙන්න පුලුවන්.

මේ තුන් දෙනා දෙන අනිත් ආදර්ශය තමයි මේ රටේ වැඩක් කරන්න ඕනේ නම්, බැණුම් අහන්න, අපහාස විඳින්න, පරදින්න සූදානම් වෙන්න ඕනේ කියන එක. ඒ වගේම වැඩේ කළත් හොඳක් අහ ගන්න අමාරු කියන එකත් ඔවුන්ම ඔප්පු කරනවා. ඒක තමයි මේකේ ස්වභාවය. ඒකට හේතුවත් මේ රටේ දේශපාලන අන්ධකාරයම තමයි. ඒ අන්ධකාරයෙන් අඳුරේ අතපත ගාන ජනතාවකට හොඳ නරක තේරෙන්නේ ඒ අඩ අඳුරෙම අතපත ගාන දෙයින්.

– පැතුම් කර්නර්

Social Sharing
ආර්ථික නවතම විශේෂාංග