ආණ්ඩුවලට බැරි වෙළෙඳපොළට හැකි බඩු  මිල පාලනය – සී ජේ අමරතුංග

ලෝකයේ මෙන් ම රටක ආර්ථිකය යනු සමාජයීය සංවිධානයකි. නිෂ්පාදකයෝ, පාරිභෝගිකයෝ, සහ අතරමැදියෝ කොටි ගණනක් එයට සම්බන්ධව සිටිති. ආර්ථිකය යනු ඒ සියල්ලන්ගේ සාමුහික ක්‍රියාකාරීත්වයකි. මෙම සමාජයීය සංවිධානයේ ඇතිවන ප්‍රශ්නවලට සමාජයීය විසඳුම් අවශ්‍ය වෙයි. එහි දී රජයකට නීතියෙන් කළ  හැකි දේ සහ බැරි දේ තිබේ. රජය කළ  යුත්තේ කළ  නොහැකි දේ තේරුම් ගෙන කළ  හැකි දේ කිරීම යි. බැරි දේ කරන්න ගිය විට සිදුවන්නේ විනාශය යි.

ආණ්ඩුවලට බඩු මිල නීති මගින් පාලනය කළ නොහැකි ය යන්න ලොව පුරා නැවත නැවත ඔප්පු කළ සත්‍යයකි. එසේ වුව ද, ඒ අසාර්ථක දේ කරන්නට නැවත නැවත උත්සහ දැරීම කනගාටුවට කරුණකි. එමගින් සිදුවෙමින් පවතින්නේ තව තවත් අවුල් නිර්මාණය වීම යි. නමුත් එය තේරුම් නොගන්න ආණ්ඩු යළි  යළිත් එය ම කරයි.

මාලිමා ආණ්ඩුව පාරම් බෑවෙ සහල් මාෆියාව මට්ටු කරන්නට ය. චෝදනා කළේ  මෙම මාෆියාව සහල් සඟවා මිල වැඩි කරන බවට ය. දිනෙන් දින තහවුරු වෙමින් තිබෙන්නේ එවැන්නක්‌ සිදු වී නැති බව යි. සහල් අතිරික්තය පිළිබඳ  කතාව දැන් ප්‍රශ්න කෙරෙමින් පවතියි. සහල් හිගය ඇත්තකි. සහල් ආනයනය කරන්නට රජයට සිදු වී තිබේ. සහල් මිල වැඩි වී ඇත්තේ නිෂ්පාදන වියදම් නිසා බව ද පෙනී ගිය නිසා මිල වැඩි කිරීමකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟතාව පළ  කොට තිබේ. ඒ කියන්නේ ඊනියා මාෆියාව වැඩි මිලට සහල් අලෙවි කරන බවට වන චෝදනාව ද බොරුවක් බව පිළිගෙන ඇති බව යි.

මෙසේ තහවුරු වී ඇත්තේ සහල් වෙළෙඳපොළේ අසාධාරණයක් හෝ ගැටළුවක් හෝ නමැති බව යි. නමුත් මාෆියා මැඩලීමේ කතා අතහැර නැත. සහල් වෙළෙඳපොළට ආණ්ඩුව මැදිහත්වීමේ අතීතයේ දිගින් දිගට අසාර්ථක වූ කාර්යය නැවත කරන බව ආණ්ඩුවේ මැති ඇමතිවරු කියති. අතීතයේ මේ වැඩ‍ෙ කරන්නට ගොස් රුපියල් මිලියන 28,000 ක් හෙවත් බිලියන 28 ක ණය  කන්දක් ගොඩ ගැසී ඇත්තේ ඒ අසාර්තකත්වයේ ප්‍රතිඵල වශයෙනි. රට ණය  උගුලක හිර වුණේ මෙබඳු ක්‍රියාවල එකතුවීමේ ප්‍රතිඵල වශයෙනි.

දැන් ප්‍රශ්න කළ යුතු වන්නේ සහල් වෙළෙඳපොළේ අසාධාරණයක් සිදු වී නැති බව ඔප්පු වෙමින් තිබිය දී මෙබඳු අසාර්ථක පිළියම් යළි  අත්හදා බලන්නට යාමේ අවශ්‍යතාව කුමක් ද යන්න යි.

පසුගිය දිනවල මිල ඉහළ  ගියේ සහල්වල පමණක් නොවේ. පොල්, බිත්තර, එළවළු, අල, ළුණු ආදී බොහෝ භාණ්ඩ මිල ඉහළ  යමින් පවතියි. එසේ වන්නේ ඒවා නිෂ්පාදනයේ ප්‍රශ්න හේතුවෙනි. එම ප්‍රශ්නය ප්‍රදර්ශනය වන්නේ මිල යාන්ත්‍රනය තුළිනි. මහජනයා ආණ්ඩුවට දොස් පවරන්නේ බඩු  මිල අඩු නොකිරීම පිළිබඳව ය. එයට හේතුව බඩු  මිල අඩු කිරීම ආණ්ඩුවට කළ  හැකි බව මාලිමා දේශපාලනය මගින් සමාජ ගත කර තිබීම යි. ජන මාධ්‍යය ද එහි දී විශාල කාර්යයක් සිදු කළේය.

දැන් එලෙස බඩු  මිල අඩු කරන්නට බැරි වීම ගැන නිදහසට කරුණු කියන්නට ආණ්ඩුවට සිදු වී තිබේ. මෙය ඇත්ත වශයෙන් ම විහින් දාගත් ලෙඩකි. තමන් විසින් ම පතුරවන ලද මිත්‍යාවකින් බැට කන්නට ඔවුන්ට සිදු වී තිබේ.

මෙම ප්‍රශ්නය ආර්ථික සංවර්ධන උපායමාර්ගය සම්බන්ධයෙන් තීරණාත්මක ලෙස වැදගත් ය. එයට හේතුව නම් මෙමගින් සංවර්ධන උපායමාර්ග පිළිබඳ මතවාදයක් නියෝජනය වීම යි. එනම් වෙළෙඳපොළට රාජ්‍ය බලය යොදාගත යුතු බවට වන මතවාදය යි. ආණ්ඩුවේ මේ හැසිරීමෙන් පැහැදිලි වන්නේ වෙළෙඳපොළ ගැන කතා කළත්, ඔවුන්ගේ මතවාදී පදනමේ තවමත් ඇත්තේ වෙළෙඳපොළට එරෙහි රාජ්‍ය අධිකාරීත්වය පදනම් කරගත් ආර්ථික දර්ශනයක් බව යි. බරපතළ  ආර්ථික විනාශයකට මග පාදන්නේ මෙම මතවාදය ක්‍රියාවට නැගුණු  විට දී ය.

මෙම මතවාදයට ප්‍රධාන වශයෙන් දායක වුයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ පැවති  සීතල යුද සමයේ සොවියට්  දේශය ප්‍රමුඛ සමාජවාදී ලෙස හඳුන්වනු ලැබූ කඳවුර විසින් ලොව පුරා ප්‍රචලිත කළ  මතවාදය යි. එම මතවාදයේ හරය වුයේ සමාජවාදය යනු රජය විසින් ආර්ථිකය සැලසුම් සහගතව හැසිරවීම බව සහ ධනවාදය යනු වෙළෙඳපොළ පදනම් කරගත් ආර්ථිකයක් ය යන්න යි. නමුත් ඉහත කී කරුණු දෙක ම වැරදි ය.

සමාජවාදය යන මතවාදයේ පුරෝගාමීන්ට අනුව සමාජවාදය යනු දේපළ  අයිතිය සහ පාලනය ඇතුළු සියලු බලය ජනතාවට හිමිවන සමාජයකි. ජනතාව රාජ්‍ය බලයට යටත් කළ කිසිම නිදහසක් නැති සමාජයක් සමාජවාදී වන්නේ නැත. රාජ්‍ය  ආධිපත්‍යය මත පදනම් වූ සෝවියට් ක්‍රමය තුළ ජනතාවට දේපළ  නොව තමන්ගේ ජීවිත ගැන පවා කිසිදු පාලනයක් තිබුණේ  නැත. එය දැන් හඳුන්වන්නේ සර්වාධිපතිවාදී (Totaliterian ) සමාජයක් වශයෙනි.

තම ශ්‍රමය සහ එහි ප්‍රතිලාභ පිළිබඳව පාලනය ජනතාවට හිමි වූ සමාජවාදී ක්‍රමයක් මෙතෙක් ලොව කිසිදු තැනක ක්‍රියාත්මක වී නැත. එය තවමත් පවතින්නේ සමාජවාදීන්ගේ අනාගත ප්‍රාර්ථනාවක් වශයෙනි. සමාජවාදය නමින් සෝවියට් දේශය ඇතුළු රටවල් ගණනාවක් ක්‍රියාත්මක වූ ජනතාවට පීඩාකාරී ක්‍රමය නිසා සමාජවාදය යන වචනය පවා අපකීර්තියට පත් වී ඇති බැවින් දැන් බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නට පවා සුදානම් නැත.

එමෙන් ම ධනවාදය යනු වෙළෙඳපොළ නොවේ. කාල් මාක්ස් ඇතුළු ධනවාදයේ විවේචකයින් කතා කළේ ධනපතියන් සහ කම්කරුවන් ලෙස සමාජය පන්ති බෙදීමකට ලක් කළ ධනපති නිෂ්පාදන මාදිලිය පිළිබඳව ය. එය වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය මිස වෙළෙඳපොළ  නොවේ. වෙළෙඳපොළ  සම්බන්ධයෙන් කාල් මාක්ස්ගේ පැවතියේ සුබවාදී ආකල්පයකි. එමගින් සුරාකෑමක් සිදුවිය හැකි බවක් මාක්ස් පිළිගත්තේ නැත. ඔහු කීවේ වෙළෙඳපොළේ  අරාජිකත්වය ලෙස පෙනීගියත් ඇත්තට ම සිදුවන්නේ නීති රීති ක්‍රියාත්මක වීම බව යි.

එමෙන් ම ධනවාදය යනු වෙළෙඳපොළ නොවේ. කාල් මාක්ස් ඇතුළු ධනවාදයේ විවේචකයින් කතා කළේ ධනපතියන් සහ කම්කරුවන් ලෙස සමාජය පන්ති බෙදීමකට ලක් කළ ධනපති නිෂ්පාදන මාදිලිය පිළිබඳව ය. එය වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය මිස වෙළෙඳපොළ  නොවේ. වෙළෙඳපොළ  සම්බන්ධයෙන් කාල් මාක්ස්ගේ පැවතියේ සුබවාදී ආකල්පයකි. එමගින් සුරාකෑමක් සිදුවිය හැකි බවක් මාක්ස් පිළිගත්තේ නැත. ඔහු කීවේ වෙළෙඳපොළේ  අරාජිකත්වය ලෙස පෙනීගියත් ඇත්තට ම සිදුවන්නේ නීති රීති ක්‍රියාත්මක වීම බව යි.

කාල් මාක්ස්ට අනුව සුරාකෑම සිදුවන්නේ වෙළෙඳපොළ තුළ  නොව ධනවාදී නිෂ්පාදන ආයතන තුළ  ය. එය වන්නේ කම්කරුවාගේ ශ්‍රමයෙන් නිපදවන වටිනාකම ඔවුන්ට නොගෙවා ශ්‍රමයේ මිල (ශ්‍රමයේ වටිනාකම) පමණක් ගෙවන නිසා ය.

වෙළෙඳපොළේ භාණ්ඩ ඉල්ලුම හා සැපයුම අනුව වටිනාකමට වැඩියෙන් හෝ අඩුවෙන් අලෙවි වුවත්, එය සිදුවන්නේ වටිනාකම අනුව බව කාල් මාක්ස්ගේ මතය යි. එබැවින් වෙළෙඳපොළේ දී භාණ්ඩයක වටිනාකමට අඩුවෙන් විකුණා ධනපතියාට ලාභ ලැබිය හැකිය. තරගකාරී වෙළෙඳපොළ තුළ එය සිදුවෙයි. එසේ වන්නේ භාණ්ඩයක වටිනාකම යනු එහි නිෂ්පාදන වියදම නොවන නිසා ය.  වෙළෙඳපොළේ දී වටිනාකමට අඩුවෙන් භාණ්ඩ විකුණා ලාභ ලැබීම ගැන මාක්ස්ගේ එක ප්‍රකාශයක් ප්‍රාග්ධනය කෘතියේ තෙවැනි වෙළුමේ පළමු පරිච්චේදයේ මෙසේ සඳහන් කොට ඇත. (මේ එබඳු ප්‍රකාශ බොහොමයක් අතරින් එකක් පමණී )

Hence, if a commodity is sold at its value, a profit is realised which is equal to the excess of its value over its cost-price, and therefore equal to the entire surplus-value incorporated in the value of the commodity. But the capitalist may sell a commodity at a profit even when he sells it below its value. So long as its selling price is higher than its cost-price, though it may be lower than its value, a portion of the surplus-value incorporated in it is always realised, thus always yielding a profit.

…………………………………………………………………………………………………………………………….

This explains more than just the everyday phenomena of competition, such as certain cases of underselling, abnormally low commodity-prices in certain lines of industry [5], etc. The fundamental law of capitalist competition, which political economy had not hitherto grasped, the law which regulates the general rate of profit and the so-called prices of production determined by it, rests, as we shall later see, on this difference between the value and the cost-price of commodities, and on the resulting possibility of selling a commodity at a profit under its value.

Capital Vol. III

Part I. The Conversion of Surplus-Value into Profit and of the Rate of Surplus-Value into the Rate of Profit

Chapter 1. Cost-Price and profit

චීන කොමියුනිස්ට් පක්ෂ නායක  ජනාධිපති ෂී ජින් පින් මහතා ඩාවොස් සමුළුවේ දී ගෝලීයකරණය ගැන කී පරිදි ම වෙළෙඳපොළට පන්ති පදනමක් නැත. එය සමාජයීය නිරමිතයකි.එමෙන් ම එය ධනවාදයට වඩා බොහෝ පැරණි ය.

අතීතයේ පැවති ප්‍රබල ශිෂ්ටාචාර සියල්ලේ සශ්‍රීකත්වයට හේතු ලෙස සැලකෙන්නේ වෙළෙඳාම යි. බුද්ධ කාලීන සමාජයේ පැවති  සශ්‍රීකත්වයට හේතු වුයේ මිසරය සමග කළ  වෙළෙඳාම බව කියති. ග්‍රීක, රෝම, චීන ශිෂ්ටාචාර පැවතියේ ද වෙළෙඳාම පදනම් කර ගනිමිනි. සේද මාවත බිහි වුයේ වෙළෙඳාම සඳහා ය.

යුරෝපීයයන් ආසියාවට,අප්‍රිකාවට පැමිණියේ ධනවාදය බිහිවන්නට පෙර කලෙක සිට ය. ඒ වෙළෙඳාම සඳහා ය. අලුත් වෙළෙඳපොළ සොයා ගැනීම සඳහා ය.

එබැවින් ධනවාදය යනු වෙළෙඳපොළ ක්‍රමය යන විශ්වාසය ද මිත්‍යා විශ්වාසයකි.

දේශපාලන ආර්ථික විද්‍යාඥයින් බොහෝ දෙනා පෙන්වා දී ඇති පරිදි ආර්ථික සංවර්ධනය සඳහා හිග සම්පත් ඉතාමත් කාර්යක්ෂම ලෙස යෙදවිය හැක්කේ වෙළෙඳපොළ ක්‍රමය මගින් ය. එමෙන් ම නිෂ්පාදකයාට උපරිම ප්‍රතිලාභ හිමිවන්නේ සහ පාරිභෝගිකයාට අඩු ම මිලට භාණ්ඩ ලැබෙන්නේ වෙළෙඳපොළ ක්‍රමය මගින් ය.

දේශපාලන ආර්ථික විද්‍යාඥයින් බොහෝ දෙනා පෙන්වා දී ඇති පරිදි ආර්ථික සංවර්ධනය සඳහා හිග සම්පත් ඉතාමත් කාර්යක්ෂම ලෙස යෙදවිය හැක්කේ වෙළෙඳපොළ ක්‍රමය මගින් ය. එමෙන් ම නිෂ්පාදකයාට උපරිම ප්‍රතිලාභ හිමිවන්නේ සහ පාරිභෝගිකයාට අඩු ම මිලට භාණ්ඩ ලැබෙන්නේ වෙළෙඳපොළ ක්‍රමය මගින් ය.

සහල් වෙළෙඳපොළ පාලනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය තුළ  ද හෙළි වී ඇත්තේ මෙම කාරණය යි. තරගකාරී ලෙස වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය යොදා ගැනීමට ගිය විට හෙළි වී තිබෙන්නේ අතීතයේ මෙලෙස තරග කරන්නට ගොස් රුපියල් බිලියන 28 ක ණය  කන්දක් ගොඩ ගැසී ඇති බව යි. ජනාධිපතිතුමා ම කී පරිදි මෙලෙස ණය  ගොඩ ගැසී ඇත්තේ ආණ්ඩුවේ වී ගබඩා ඇතුළු සියලු පහසුකම් තිබිය දී සහ වැටුප් ගෙවීම ද ආණ්ඩුවෙන් කරමින් තිබිය දී ය. ආණ්ඩුව තැත් කරන්නේ එම පව් සියල්ල දුෂණය ලෙස පෙන්වන්නට ය. දුෂණය නැති කළ විට වැඩේ හරියට කළ  හැකි බව රජයේ ඇතැම් උදවියගේ විශ්වාසය වී තිබේ. නමුත් එය එසේ නොවන බව විධිමත් අධ්‍යයනයක් කළොත් සොයාගත හැකි වනු ඇත.

ඇත්ත කාරණය නම් සහල් වෙළෙඳපොළේ තරඟකාරී ලෙස සහ වඩා කාර්යක්ෂම ලෙස තීරණය වන මිල ගණන් සමග තරඟ කරන්නට රජයට නොහැකි බව යි. මෙබඳු  කටයුතු වෙළෙඳපොළ  මගින් තීරණය වන්නට ලොව පුරා බොහෝ ආණ්ඩු ඉඩ හැර ඇත්තේ මෙම යථාර්ථය තේරුම් ගැනීම නිසා ය.

මෙම කරුණ පැහැදිලි වන තවත් ප්‍රශ්නයක් නම් විශාල මෝල් හිමියන් ඉහළ  මිලක් නියම කොට අධි ලාභ ලබන්නේ නම් එම මිලට ගනුදෙනු කරන 500 ක් පමණ වන කුඩා සහ මධ්‍ය  පරිමාණ මෝල් හිමියන්ට එම ලාභය නොලැබෙන්නේ කුමන හේතුවක් නිසා ද යන්නයි. මොවුන්ගෙන් ඇතැමෙක් කියන්නේ රජය වී මිල දී ගෙන ඒවා කොටා සහල් කිරීම තමන්ට ලබා නොදුන්නොත් තම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බව යි. ඒ කියන්නේ මහා මෝල් හිමියන් ගන්න මිලට වී ගෙන ඔවුන් විකුණන මිලට සහල් දෙන්නට තමන්ට බැරි බව යි. වෙළෙඳපොළේ  මිල තීරණය වීම අසාධරණ ලෙස ඉහළ මිලක් නියම කිරීමක් නොවන බව එයින් ද පැහැදිලි විය යුතු ය.

විධිමත් අධ්‍යයන මගින් ද මෙම කරුණ තහවුරු කොට ඇත. කොළඹ විශ්ව විද්‍යාලයෙන් 2012 දී කළ  අධ්‍යයනයක නිගමනය් ලෙස දක්වා ඇත්තේ සහල් වෙළෙඳපොළේ  අසාධාරණ ලෙස මිල නියම කරන්නේ ය යන චෝදනාවට කිසිදු පදනමක් නැති බව යි.

එම අධ්‍යයනයේ දී දිස්ත්‍රික්ක දෙකක එවකට පැවති  වී මිල සහල් සහල් මිල විශ්ලේශානය කොට දක්වා ඇත. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහල් කිලෝවක් නිපදවීමට යන වී සඳහා ගෙවා ඇති මිල රුපියල් 56 කි. සහල් කිලෝවක විකුණුම් මිල රුපියල් 70 කි. වෙනස තුළ  වියදම් ගණනාවක් සහ ලාභ ඇතුළත්  ය. විශාල අයුතු  ලාභ ලැබීමක් දක්නට නැත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහල් කිලෝවක් සඳහා යන වී සඳහා ගෙවා ඇති මිල රුපියල් 46 කි. විකුණුම් මිල රුපියල් 56 කි. වෙනස් වන මුදල බෙදී යන ආකාරය ද අධ්‍යයනයේ දක්වා ඇත.

මාලිමා මතවාදය සැකසෙන්නේ මේ කිසිවක් සැලකිල්ලට න‍ොගෙන බොහෝ දෙනාගේ හිතළු පදනම් කොටගෙන ය.

මෙලෙස වෙළෙඳපොළ  යාන්ත්‍රණයේ කාර්යක්ෂම බව කියන විට ඇතැම්  වාමාංශිකයින්  කරන්නේ එය “නව ලිබරල්වාදය ” යයි කියමින් එම අදහස් ඉවත දැමීම යි. නව ලිබරල්වාදය ගැන හෝ එහි වරද ගැන හෝ කිසිවක් කියන්නේ ද නැත. එවැන්නෝ පළමුව කාල් මාක්ස්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කළ  යුත්තෝ ය. එමෙන් ම, විසිවැනි සියවසේ සිටි ප්‍රධාන මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයකු වන ඔස්කා ලැන්ගේ ගේ අදහස් කියවා තේරුම්ගත යුත්තෝ ය.

කලක් සමාජවාදී පෝලන්තයේ මුදල් ඇමැතිවරයාව  සිටි ඔස්කා ලැන්ගේ ” සමාජවාදයේ ආර්ථික දර්ශනය’  පිළිබඳ ඔහුගේ  පොතේ (ON THE ECONOMIC THEORY OF SOCIALIST SYSTEM – BY OSKA LANGE ) පෙන්වා දී ඇත්තේ වෙළෙඳපොළ යාන්ත්‍රණය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීමට යොදා ගැනීමේ වැදගත්කම යි. ඔහුගේ අදහස් ක්‍රියාවට නැගුනේ නම් සෝවියට් ක්‍රමය බිඳ නොවටෙන්නට ඉඩ තිබිණි.

ඔස්කා ලැන්ගේ  පෙන්වා දුන්නේ වෙළෙඳපොළ  ක්‍රමයක දී මිල තීරණය වන්නේ නිෂ්පාදකයින් සහ පාරිභෝගිකයින් වන ජනතාව එකිනෙකා සමග කරන සාමුහික කේවල් කිරීමකින් බව යි. එනම් මිල තීරණය කරන්නේ ජනතාව යි. ජනතාව එය දන්නේ නැත. හේතුව එහි දී තනි තනි පුද්ගලයින්ට ඇති බලය ඉතා සීමිත වීම යි. තීරණය සිදුවන්නේ දශ ලක්ෂ ගණනක් ජනයාගේ බලපෑම්වල එකතුවේ ප්‍රතිඵල වශයෙනි. තනි තනි පුද්ගලයින්ට පෙනෙන්නේ තමන්ගේ වුවමනාව යටපත් කර වෙනත් කිසිවකු මිල තීරණය කර ඇති බවකි.

මෙම  ආර්ථික ක්‍රියාවලිය සාමාන්‍ය ජනයා විද්‍යාත්මක ලෙස තේරුම ගනු ඇතැයි  අපේක්ෂා කළ  නොහැකි ය. එසේ වුවත්, ආර්ථික ක්‍රමයක් මෙහෙයවන්නට යන උදවිය මෙම කරුණු හදාරා තේරුම් ගත යුත්තෝ ය. එසේ නොමැතිව ආර්ථිකය හසුරුවන්නට යාමෙන් සිදුවන්නේ විනාශයක් පමණකි. ගොටාභය රාජපක්ෂ ජනාධිපතිගේ පාලනයට සිදුවුයේ එබඳු විනාශයකට මුහුණ දීමට ය. එබඳු තවත් විනාශයකට පාර කපා ගැනීම මෝඩ කමකි.

දැන් සමහරු බලා සිටින්නේ ආණ්ඩුව වැරදි මාවතේ ගොස් ඔවුන්ගේ විනාශය අත්කර ගන්නවා දකින්නට ය. එබඳු ස්ථාවරයක් ගැනීමෙන් රටට සිදුවන සෙතක් නැත. සිදුවිය හැක්කේ විනාශයකි. අපට සිදුවන්නේ විනාශයකින් පසු යලි නැගිටින්නට ය.

තවත් පිරිසක් කියන්නේ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකළ යුතු බව යි. එසේ වුවත්, වැරදි මතවාදයක් මත දුන් පොරොන්දු ඉටු කිරීමට යාමෙන් සිදුවන්නේ ආණ්ඩුව විනාශ වීම පමණක් නොවේ. රටට ද අත්වන්නේ විනාශයකි. එබැවින් අපට කියන්න වෙන්නේ වැරදි මතවාදයක් මත ජනතවට දුන් මෙබඳු පොරොන්දු කැඩිය  යුතු බව යි. රටට සෙතක් වන්නේ එවිට ය.

එසේ වුවත්, වැරදි මතවාදයක් මත දුන් පොරොන්දු ඉටු කිරීමට යාමෙන් සිදුවන්නේ ආණ්ඩුව විනාශ වීම පමණක් නොවේ. රටට ද අත්වන්නේ විනාශයකි. එබැවින් අපට කියන්න වෙන්නේ වැරදි මතවාදයක් මත ජනතවට දුන් මෙබඳු පොරොන්දු කැඩිය  යුතු බව යි. රටට සෙතක් වන්නේ එවිට ය

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු අතර රටට හිතකර පොරොන්දු ඇත. දුෂණය පිටුදැකීම ඇතුළු එම පොරොන්දු ඉටු කළ  යුතු ය. පොරොන්දු කඩනු යැයි  කියන්නේ රට අඝාදයට  යන පොරොන්දු සම්බන්ධයෙනි. ඒවා ක්‍රියාත්මක කිරීම රටේ මෙන් ම මාලිමා ආණ්ඩුවේ ද විනාශයට හේතුවෙයි.

වෙළෙඳපොළට වෛර කරමින් වෙළෙඳපොළ  ආර්ථික ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම හෝ ආර්ථික සංවර්ධනයක් ඇතිකර ගැනීම හෝ කළ  නොහැකි බව ද මාලිමා ආණ්ඩුව තේරුම් ගත යුතුව ඇත.

yukthiya.lk

Social Sharing
ආර්ථික නවතම විශේෂාංග