ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා 76 වන මානව හිමිකම් දින සැමරුමට සහභාගි වෙමින් පැවසුවේ, මෑතකදී දේශපාලන තන්ත්රයේ ඉතා වැදගත් වෙනසක් සිදුවූ බවත්, එම වෙනස සිවිල් සමාජය සඳහා සතුටුදායක මට්ටමක පවතින බවත් ය. එමෙන්ම, ඔහු පැවසූ ආකාරයට වර්තමාන වාතාවරණය රටේ ස්ථාවරභාවය පෙන්වමින් යාමට උපකාරී බවත්, මෙම වෙනස්කම් ඉතා සාමකාමී වටපිටාවක සිදුවීම විශේෂ කරුණක් බවත් ඔහු අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වර්තමාන රජය ජාතිවාදයට එරෙහිව ක්‍රියාත්මක වන අතර අන්තවාදයට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීම සතුටට කරුණක් බවයි. මන්ද, අතීතයේ බොහෝ රජයන් ජාතිවාදය ව්‍යාප්ත කරමින් බලය ලබාගත් බව ඔහු ඉඟි කළේය.
LTTE යුද්ධ සමයේ මියගිය ද්‍රවිඩ ජනතාව සිහි කිරීමට මෙතෙක් ඉඩ ලබා නොදුන් පසුබැසීමක් පැවතිනමුත්, වසර 2024 තුළ මෙම වටපිටාව වෙනස් කරමින් මියගිය අයවලුන් පිළිබඳව සිහි කිරීමේ අවස්ථාවක් ලබා දී ඇති බවත්, එය ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමක වෙනසක් බවත් ඔහු පෙන්වා දී තිබේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජාතීන් අතර ගැටුම් මෑතකාලයේ පටන්ගත් ඒවා නොවන අතර, එය බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට පැවති ගැටුමක් බවයි. ඒ සමය තුළ සුළුතර ජනයා නිදහසින් පසු, තමන් සුළුතර ජාතීන් ලෙස පත්වනු ඇති බවට පවතින මතය නිසා නිදහසට විරෝධය දැක්වූ බවද ඔහු පැවසීය. 1939 වසරේදී G.G. පොන්නම්බලම් මහතා බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගත් අවස්ථාවේ, පාර්ලිමේන්තුවේ නියෝජන හැකියාව 50%ක් ලෙස ඉල්ලුමක් ඉදිරිපත් කිරීම මෙම ගැටුමේ ආරම්භකය බව ඔහු තවදුරටත් පැවසීය.
අවසන් වශයෙන්, ආචාර්යවරයා පෙන්වා දුන්නේ සංක්‍රාන්තික යුක්තිය සඳහා 13 ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරගත යුතු බවත්, පළාත් සභා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරගත යුතු බවත් ය.
“මානව හිමිකම් සුරැකීමට වෙනසක්” යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණය 2024 දෙසැම්බර් 11 වෙනි දින පස්වරු 2.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විනි. එය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී.