ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නැවතත් ‘A’ ශ්‍රේණියට

දෙසැම්බර් 10 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුමට සමගාමීව ”අපේ අයිතිය අපේ අනාගතයයි, අයිතිවාසිකම් මෙතැන් සිට” යන තේමාව යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ඊයේ (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් විය.

මෙම උත්සවයේ ප්‍රධාන දේශණය මහාචාර්ය දීපිකා උඩගම මිය විසින් සිදු කරණු ලැබූ අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව නැවතත් බී ශ්‍රේණියේ සිට ඒ ශ්‍රේණිය දක්වා ඉහල නැන්වීමට කටයුතු කළ වර්තමාන කොමිසමේ සභාපති ඇතුළු කොමසාරිස්වරුන්ටත් අධ්‍යක්ෂකවරුන් ඇතුළ සියළුම කාර්ය මණ්ඩලයට සිය සුබපැතුම් ඉදිරිපත් කළාය.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙම උත්සවයේ දී ප්‍රකාශන හතරක් නිකුත් කරන ලදී. නිදහස් වෙළද කලාප ආශ්‍රිත මෑන්පවර් කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබදව මාර්ගෝපදේශ සහ නිර්දේශ, අබාධිත පුද්ගලයින්ගේ හා මානව හිමිකම් ආරක්ෂකයින්ගේ අයිතිවාසිකම් මාර්ගෝපදේශ හා නිර්දේශ සහ 2024 වර්ෂයේ මානව හිමිකම් කොමිසම විසින් ක්ෂේත්‍රයන් පහක් සම්බන්ධව ලබාදුන් තෝරාගත් නිර්දේශ හා මාර්ගෝපදේශ ඇතුලත් එම ප්‍රකාශයන් හි බාගත කිරීම් පහත සදහන් ලින්ක් ඔස්සේ සිදු කළ හැකිය.

මෙම උත්සවයේ දී මානව හිමිකම් කොමිෂන් සභාවේ සහාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙනිය, කොමසාරිස්වරුන් වන මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීපා, අචාර්ය ගෙහාන් ගුණතිලක, නීතිඥ නිමල් ජී පුංචිහේවා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රි ෆ්‍රාන්ච් යන මහත්ම මහත්මීන් ප්‍රධාන දේශනයන් ඉදිරිපත් කළාය.

ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ‘ඒ’ ශ්‍රේණියට උසස් කරනු ලැබීම ඒ තරම් වැදගත් කාරණයක් වන්නේ, මුලින්ම ‘ඒ’ ශ්‍රේණියේ සිටි අපේ මානව හිමිකම් කොමිසමේ ස්වාධීනත්වය, දේශපාලන මැදිහත්වීම්, කර්යක්ෂමතාව ඇතුළ ගැටළු හේතුවෙන් අවස්ථා ගනනාවක දීම ‘බී’ ශ්‍රේණියට පහත දමා තිබූ නිසාය.

‘ඒ’ ශ්‍රේණියේ ආයතනයක් යනු පැරිස් මූලධර්ම සමග අනුකූලතාව දක්වන ආයතනයකි. ඒවාට සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය හිමිය. ඒ තත්වයට පත්වීම රටක ජාතික මානව හිමිකම් ආයතනයකට විශාල ගෞරවයක් මෙන්ම කීර්තියක්ද ඇති කරයි.

මේසේ ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ, ජාතික මානව හිමිකම් ආයතන පිළිබඳ වූ විශ්ව සන්ධානය විසිනි. මානව හිමිකම් කොමිසම වැනි ආයතනයන්, එම සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය දැරීමට සුදුසු වන්නේද යන්න නිර්ණය කිරීම මේ ශ්‍රේණිගත කිරීම්වල අරමුණුයි. මෙම ශ්‍රේණිගත කිරීම් හි ජාත්‍යන්තර නිර්ණායක වන්නේ මානව හිමිකම් ආයතන පිළිබඳ 1993 පැරිස් මූලධර්මයන්ය.

අපේ මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටුවන්නේ, 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේය. මුල සිටම එහි ක්‍රියාකාරිත්වයන් ගැන විවිධ ප්‍රශ්න තිබුණත්, කොමිසම ‘ඒ’ශ්‍රේණියේ පැවතියේය. කොමිසම බලවත් ලෙස අවමානයට පාත්‍රවන්නේ 2005න් පටන්ගන්නා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිගේ නිලකාලය තුළදීය. 2007දී, එය ‘ඒ’ ශ්‍රේණියෙන් ‘බී’ ශ්‍රේණියට පහළ දමනු ලැබිණ.

2015 දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්, ස්වාධීන කොමිෂන් සභා පත්කිරිම් යළිත් ස්වාධීන කළ අතර, 2018දී, ලංකාවේ කොමිසම, යළිත් ඒ ශ්‍රේණිගත වීමේ කීර්තිය අත්පත් කරගන්නේ ඒ නිසාය. එහි අනෙක් රහස නම්, සභාපතිනිය හැටියට පත්වූ ආචාර්ය දීපිකා උඩගමගේ අනභිභවනීය දායකත්වයත් අනවරත කැපවීමත්ය. ඒ කාලය තුළ මානව හිමිකම් කොමිසම, විවිධ මානව හිමිකම් කඩවීම්වලදී, කඩවීම්වලට අත්‍යාසන්න අවස්ථාවලදී මෙන්ම මානව හිමිකම් සංවේදී අවස්ථාවලදී නිකුත් කළ මගපෙන්වීම් ඉතාමත්ම වැදගත්ය. ඒ හේතුව නිසාම, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සිට පොලිසිය, හමුදාව හරහා එවකට විපක්‍ෂයේ සිටි පිරිස දක්වා සමහරුන් තුළ මානව හිමිකම් කොමිෂන් විරෝධී ප්‍රතිචාර දැකගන්නට තිබිණ.

කෙසේ හෝ මේ වන විට විශාල ප්‍රයත්නයකින් පසුව නැවතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒ ශ්‍රේණියට ඉහල දමා තිබේ. එ් වෙනුවෙන් වෙහෙසන කොමිෂන් සභාවේ කොමසාරිස්වරු ඇතුළු සියළු දෙනාට මානව හිමිකම් වෙනුවෙන් සිටින සැමගේ ගෞරවය හා ස්තුතිය හිමි විය යුතුය. ප්‍රශ්ණය වන්නේ මේ තත්ත්වය අරක්ෂා කිරීමත්, අඛන්ඩව පැරිස් මුලධර්ම මත ක්‍රියාත්මක වන මානව හිමිකම් කොමිසමක් බවට අප කොමිසම පත්කර ගැනීමත්ය. ඒ සදහා කොමිසමේ කොමසාරිස්වරුන්, කාර්ය මණ්ඩලය මෙන්ම සිවිල් සමාජය ඇතුළු සියළු පුරවැසියන් එක්සත්ව හා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇත.

– පිලිප් දිසානායක

General Guidelines and Recommendations on Providing Employment for the Persons with Disabilities and Disability Friendly Work Environment (Sinhala, Tamil, English)

General Guidelines and Recommendations on Providing Employment for the Persons with Disabilities and Disability Friendly Work Environment – English

General Guidelines and Recommendations on Providing Employment for the Persons with Disabilities and Disability Friendly Work Environment – Tamil

General Guidelines and Recommendations on Providing Employment for the Persons with Disabilities and Disability Friendly Work Environment – Sinhala

General Guidelines and Recommendations No. 1 of 2024 on the Protection of Human Rights Defenders (Sinhala, Tamil, English)

HRDs_General Guidlines and Recommendations draft _ English

HRDs_General Guidelines and Recommendations draft _Tamil

HRDs_General Guidelines and Recommendations draft – Sinhala

Selected Recommendations issued by Human Rights Commission of Sri Lanka in year 2024 (Sinhala, Tamil, English)

Selected Recommendations issued by HRCSL in 2024_English

Selected Recommendations issued by HRCSL in 2024_Tamil

Selected Recommendations issued by HRCSL in 2024_Sinhala

The Status of Manpower Workers: A Study of the Katunayake and Biyagama Free Trade Zones (English)

The Status of Manpower Workers_ A Study of the Katunayake and Biyagama Free Trade Zones

(මෙම ලිපිය සැකසීමේ දී 2020 සැප්. 27 දින අනිද්දා පුවත්පතේ පලවූ 20 යටතේ මානව හිමිකම් කොමිසමේ ඉරණම යන ලිපියේ තොරතුරු භාවිතා කරන ලදී)

Social Sharing
අවකාශය නවතම විශේෂාංග