පරාටේ නීතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීම අත්හිටුවීමට රජයෙන් තීරණයක්

පරාටේ නීතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පසුගිය වසර 04ක කාලය තුළ ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි ලෙස බලපාන ලදී. ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් බැංකුවලින් ලබා ගත් ණය පියවීමේදී බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවූ අතර එම තත්ත්වය යටතේ ණය පැහැර හැරීම නිසා සැලකිය යුතු ව්‍යාපාරික පිරිසකගේ දේපළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීමේ පරිසරයක් ද නිර්මාණය වීය. එමෙන්ම පසුගිය කාලවකවානුවල මෙම පරාටේ නීතිය නිසාවෙන් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 127ක් සිය දිවි නසාගෙන ඇති බවට වාර්තා වේ.  

එම හේතුවෙන් 1990 අංක 4 දරන බැංකු මඟින් ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට සංශෝධනයක් ගෙන ඒම මඟින් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම මෙම වසරේ දෙසැම්බර් 15වන දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබුණු අතර පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම් මඟින් ඉල්ලීම් ඉදිරිපත් කිරීමක් සිදුකර ඇත.

ඒ අනුවමෙම වසරේ දෙසැම්බර් 15 වනදා දක්වා තාවකාලිකව අත්හිටවූ මෙම නීතිය ලබන වසරේ මාර්තු මස 31දින දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට මෙන්ම දීර්ඝ කිරීමටත් තීරණය වූ අතර තවදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීමට බහුමාන යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මුදල්ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අද දින අනුමත කර ඇත.

Social Sharing
නවතම