වසර 13 ක් පුරා නොවිසඳුනු ලලිත් – කූගන් අභිරහස. ගෝඨාභයගේ ආරක්ෂක අංශ මොකද කළේ!

 

‘ඔය ලලිත් කූගන් කියන දෙන්නා අල්ලගන්නේ මොකටද? ඊට වඩා කට්ටිය හිටියා.‘

මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලලිත් කූගන් අතුරුදන් කිරීම පිළිබඳ විමසූ විට දුන් පිළිතුරකි. ලලිත් ගැන කතා කරන්නට මෙරට ප්‍රභූන් සිටියේ නැති තරම්ය. ලලිත් සහ කූගන් යනු මෙරට ප්‍රභූ සමාජයේ දෙන්නෙක් නොවේ. මේ දෙන්නාව වැඩිපුර හෙව්වේ ජාතික පුවත්පත් හෝ රූපවාහිනී නාළිකාවලිනුත් නොවේ. ජාත්‍යන්තර මාධ්‍යවලිනුත් නොවේ. ඔවුන් ගැන සීඅයිඩී විමර්ශනයක්වත් 2015 යහපාලන ආණ්ඩුවෙන්වත් කළේ නැත. ඒ වෙනුවට ලලිත්ව හෙව්වේ එදා ලලිත් එක්ක දේශපාලනය කළ ඔහුගේ සගයා වූ නුවන් බෝපගේය.

‘ලලිත් කූගන් කෝ‘ එසේ අසා ලීවේ තාප්පවලය.

ලලිත් හා කූගන් අතුරුදන්වුණේ ඇයි? ඔවුන් අතුරුදන් කරන ලද්දේ ඇයි? ඒ පසුපස ඇත්තේ එකම එක රහසකි. ලලිත් උතුරේ දේශපාලනය කරමින් සිටියේය. නැවත සටහන් කරමි. ලලිත් දකුණෙන් උතුරට ගොස් උතුරේ දේශපාලනය කරමින් සිටියේය. උතුරේ මිනිසුන්ගේ දේශපාලනය කරමින් සිටියේය. ඔහු කරුණු එකතු කරමින් සිටියේය. ඒවා කතා කරමින් සිටියේය. භාෂා අතර පාලමක් වී සිටියේය. සමාජයන් අතර පාලමක් වී සිටියේය. එහි ශක්තිය, බලය හොඳින් දැන සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ බිහිසුණු මර්ධනකාරී පාලනාධිකාරිය සිතාමතා ලලිත් සහ කූගන් අතුරුදන් කරනු ලැබීය.

2024 දී පරාජිතව බිම වැටී සිටින බිහිසුණු පාලක පැළැන්තිය හමුවේ දැන් ටිකෙන් ටික උතුර සහ දකුණ අතර පාලම් හැදෙමින් පවතී. දකුණේ සමාජය විසින් උතුර ක්‍රමානුකූලව තේරුම් ගනිමින් සිටී. ඇත්තටම ලලිත් අතේ එදා තිබුණේ 2011 දී දකුණේ සමාජයට ඉතා වැදගත් වූ තොරතුරු ගොන්නකි. ඉතා වැදගත් වූ දේශපාලනයකි.

ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුදානන්දන් අතුරුදන් කරන ලද්දේ 2011 දෙසැම්බර් 09 වැනිදාක යාපනයේදීය. මේ රටේ තව බොහෝ අතුරුදන් කිරීම්, අත්අඩංගුවට ගැනීම් තිබුණු රටක මේ දෙක කතාබහට ලක් වෙන්නට හේතු වුණේ මේ දෙන්නා අතුරුදන්වූවන් ගැන හොයමින් සිටි ඒ පිළිබඳ කරුණු එකතු කළ දෙසැම්බර් 10 වැනිදා යාපනයේ සිට ලෝකයටම එවැනි අතුරුදන් කිරීම් ගැන කතා කරන්නට සූදානම් වී සිටි නිසාය. ඔවුන් සිටියේ අතුරුදන්වූවන් ගැන කරුණු රැසක් හෙළිදරව් කිරීමේ බලාපොරොත්තුවෙනි. එදා ලලිත්ලා දේශපාලන සිරකරුවන් 117 දෙනෙකු ගැන තොරතුරු එකතු කර තිබුණි. ඒ සිදුවීම් ගැන රටටම කියන්නට සූදානම් වෙමින් සිටියේය. රාජපක්ෂලා උතුරේ කරමින් සිටි දේ කතා කරන්නට සූදානම් වෙමින් සිටියේය.

දෙසැම්බර් 10 වැනිදා මානව හිමිකම් දිනයට පෙර දිනයේදී ඔවුන්ව අතුරුදන් කරනු ලැබීය. දෙසැම්බර් 15 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කීවේ, ලලිත් කූගන් මැරී නැති බවත්, ජීවතුන් අතර සිටින බවත් ඔවුන් දෙන්නාව මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන බවත්ය. අද දක්වා ඔවුන් නැත.

මේ ලලිත් සහ කූගන් ගැන ලියුම්කරුගේ හිතේ කාලයක් තිස්සේ කුතුහලයක් තිබුණි. මේ දෙදෙනා අතරින් කූගන් මුරුගානන්දන් යනු යාපනයේ සිටි කෙනෙකි. දෙමළ විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයෙකුව සිටි ඔහු පසුකාලීනව එයින් ඉවත් වී යාපනයේ සමාජය තුළ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ක්‍රියාත්මක විය.

ඔහු සමඟ වැඩ කළ ලලිත්, දකුණෙන් ගිය කෙනෙකි. අවිස්සාවේල්ලේ සිටි කෙනෙකි. ඕනෑ තරම් අය ලලිත් ගැන සහතික ලියුම්කරුට දී තිබුණි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෙක් ලෙස සිටියදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වූවෙකි. එයින් පසු, 2011 අතුරුදන්වීමට මාස කිහිපයකට පෙර එයින් ඉවත් වූ කණ්ඩායමට අයිති වූවෙකි. ජන අරගල ව්‍යාපාරය නමින් එකල ක්‍රියාත්මක වූ කණ්ඩායමේ සිටි කෙනෙකි.

එයින් පසු, දිනක් යාපනය මාධ්‍ය සමාජයේ තර්මබාලා විනෝජිත් නම් මිත්‍රයා ඉතා හැඟීම්බරව සහ තිරසරව ලලිත් ගැන සහතිකයක් දුන්නේය. ඔහු අංක එකේ මිනිසෙකු බව කීය. ලලිත් උතුරේ සංවිධායකයෙකු ලෙස දිගටම සිටියේ නම් ලංකාවේ උතුරු දකුණු දේශපාලනය මීට වඩා වෙනස් විය හැකි බව එයින් පසු උතුරේදී හමු වූ බොහෝ දෙනෙකු කියා ඇත.

ඒත්, උතුර දකුණ යා කරනනට ලලිත්ලාට ඉඩ ලැබුණේ නැත. දැවැන්ත අරගලයකින් පසු විවෘත කරගත් දොරකින් යන්තමින් දැන් උතුර දකුණු යා වෙමින් තිබේ. අලුත් යුගයක අප සිටී. එහෙත්, එදා ඒ අරමුණ වෙනුවෙන් දිවි පිදූ ලලිත්- කූගන් අමතක කළ නොහැක.

අප මිත්‍ර ශාලික විමලසේන ලිපියක ලලිත් කූගන් අතුරුදන්වීම ගැන මෙසේ ලියා ඇත.

‘ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වී ඇත්තේ දෙසැම්බර් 09 වැනිදා පස්වරු 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට අධිකරණයට සාක්ෂි ඉදිරිපත් වී ඇත. යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලාන’ පිටත්ව ගොස් ඇත්තේ පස්වරු 5ට පමණ බව අසල්වැසියන් සාක්ෂි දී තිබේ. පසු දින, එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනක් සංවිධානය කරමින් සිට ඇත.

කුගන්ගේ අසල්වැසියන් පවසන ආකාරයට ඔවුන් පස්වරු පහට පමණ නිවසින් පිටත්ව ගොස් තිබේ. එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත. කෙසේ වෙතත් ඔවුන් ගමන් ගත්, කුගන්ගේ යතුරු පැදිය දෙසැම්බර් 14 වැනිදා අච්චුවේලි පොලිසියේ තිබෙනු දැක ඇත්තේ කුගන්ගේ බිරිඳ විසිනි. මෙම යතුරු පැදිය හමු වූ ආකාරය ගැන පොලිසිය හා ගම්වැසියන් පවසන කරුණු අතර පරස්පරතා රැසක් ඇති බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරු පවසති.

කුගන්ගේ බිරිඳ අච්චුවේලි පොලිසියෙන් මේ පිළිබඳව විමසා ඇත. පොලිසිය ඇයට පවසා ඇත්තේ දෙසැම්බර් 13 වැනිදා කෝපායි පොලිසිය විසින් කෝපායි කෝවිල අසල තිබී මෙම යතුරු පැදිය තමන් භාරයට ගෙන තිබුණු බවයි. මෙම යතුරුපැදිය සම්බන්ධයෙන් නිර්වේලි ප්‍රදේශවාසීන් විසින් ෂන්මුගන් වඩිවේල් නම් එවකට එම ප්‍රදේශයේ රාජකාරි කළ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත්තේ 09 වැනිදාය. යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ නිර්වේලි ප්‍රදේශයේදී ලලිත් – කුගන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය වෑන් රථයකින් සහ යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් නතර කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත.‘

එදා ඔහු සමඟ සමීපව කටයුතු කළ අය අතර වත්මනෙහි ප්‍රකට නීතිඥ නුවන් බෝපගේ සිටී. ඇත්තෙන්ම ලලිත් හා කූගන් සමඟ එදා වැඩ කළ අය අතර නුවන් බෝපගේ ප්‍රමුඛයෙකි.

‘ලලිත් ඒ කාලයේ පැයකට වතාවක්වත් කමිස මාරු කළා.‘ එකල ලලිත් සමඟ අතුරුදන්වූවන් සහ දේශපාලන සිරකරුවන් ගැන තොරතුරු එකතු කරමින් ක්‍රියාකාරීව වැඩ කළ බෝපගේ එලෙස සිහිපත් කරයි. බෝපගේ එදා වඩ කළේත් ලලිත් මුහුණදුන් අවදානමම අරගෙනය. ලලිත් අතුරුදන් වෙද්දී ජීවිතය සුරැකුණු බෝපගේ අද දක්වාම ලලිත්ට යුක්තිය ඉටු කිරීම පිණිස උසාවි යයි.

ඔහු කී කරුණු අනුව දැනට අත්අඩංගුවට පත් වීම ගැන යුක්තිය ඉටු කරවාගැනීමේ තත්වය මෙසේය.

‘හබයාස් කෝපුස් එකක් දැම්මා. එතැනින් යාපනයට යැව්වා. යාපනයේ විමර්ශන පටන් ගන්නවා. විමර්ශනය ගියා. 2016 සැප්තැම්බර් මාසයේදී කෙහෙළිය රඹුක්වැල්ලව සාක්ෂියට ගෙනාවා. අජිත් කුමාර, සුනිල් හඳුන්නෙත්ති වගේ අය සාක්ෂියට ගෙන්වුවා.

2011 ජුනි ඉඳන් 2012 ජුනි දක්වා ඔය වගේ අතුරුදන් වූ සිදුවීම් 56 ක් ගැන තොරතුරු උසාවියට දැම්මා. සුදුවෑන්වලින් පැහැරගත් සිදුවීම් ගැන තොරතුරු එකතු කරලා අපි ඉදිරිපත් කළේ.

ඊට පස්සේ, 2019 මුල ගෝඨාභය රාජපක්ෂ සාක්ෂිකරුවෙකු ලෙස ගෙන්වීමට සිතාසි ගත්තා. ඒ ගත්තාට පස්සේ, ගෝඨාභය වෙනුවෙන් නීතිඥයෙකු කීවා ගෝඨාභය රාජපක්ෂට සැත්කමක් කරලා තියෙනවා කියලා. පසුව ඉදිරිපත් කරන්නම් කීවා.

එහෙත්, පසුව ජනාධිපතිවරණයට මාස හතරක් තිබියදී ඔවුන් අභියාචනාධිකරණයේ පෙත්සමක් දැම්මා. අපව කැඳවන්නේ නැතිවම නියෝගයක් ලබා ගත්තා, ගෝඨාභය රාජපක්ෂ පෙනී ඉන්න ඕනෑ කියලා. මේ විදියට අපව කැඳවන්නේ නැතිව නියෝගයක් දෙනවා නම් සති දෙකකට පමණයි දෙන්න පුළුවන්. ඒත්, මේ නියෝගය මාස ගාණකට දුන්නා. එයින් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා.

ගෝඨාභය මේ නඩුවේ සාක්ෂිකරුවෙක් පමණයි. එහෙම තිබියදී උක්ත අභියාචන නඩුවේ තීන්දුවක් ආවා ගෝඨාභයට මුක්තිය තියෙන බවත්, ජනාධිපති මුක්තිය තියෙන බවත් කියමින්.

අභියාචනාධිකරණයෙන් තීන්දුව ලැබුණාට පස්සේ අපි ඒක ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභියාචනයට ලක් කළා. දැන් ඒ නඩුව කැඳවූවා. දැන් ගෝඨාභයට මුක්තිය නැහැ. දැන්, එයාලාගේ පැත්තෙන් කියනවා යාපනයේදී හැරෙන්න, වෙන ඕනෑ තැනක සාක්ෂ්‍ය දෙන්නම් කියලා.

කෝපායි පොලීසියෙන් තමයි විමර්ශන කළේ. ඒවා නතර වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මෙහි විමර්ශන උඩට ගන්නවා කියලා කීවා. දැන් එම විමර්ශන නතර වෙලා තියෙනවා.‘

මේ වනතෙක් ලලිත් කූගන් අතුරුදන්වීම ගැන ප්‍රධාන අපරාධ විමර්ශනයක් සිදු කර නැත. ඔවුන්ව සෙවීමට තැත් කොට නොමැත. 2016 මැයි 13 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ලව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවූ මොහොතේදී කියා තිබුණේ, නිශ්චිත වශයෙන්ම 2011 දෙසැම්බර් 15 වන විට ඔවුන් රජයේ ආරක්ෂක අංශ භාරයේ සිටි බවත්, එයින් පසු සිදු වූ දේවල් ගැන තමන්ට වගකීමක් නැති බවත්, ඒ වෙද්දී ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගෙන් ලලිත් කුමාර් සහ කූගන් අත්අඩංගුවට ගැනීමක් ගැන දැනුම් දුන් බවත්ය.

ඉතින්, ‘ඔවුන් අතුරුදන් වී නැහැ. ඔවුන් ඉන්නවා. ඉදිරියේදී මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කරනවා.‘ කී ලලිත්ව සහ කූගන්ව අදටත් සොයාගත නොහැක.

අප මෙහි සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මීට කාලෙකට කලින් මව්බිම පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක කී කතාවකි.

‘ප්‍රශ්නය : ලලිත් – කුගන් අතුරුදන් කළේ කවුද ?

පිළිතුර : ඔය ලලිත් – කුගන් කියන දෙන්නා අල්ලගන්නේ මොකටද. ඊට වඩා තර්ජන තිබුණු කී දෙනෙක් හිටියද. ඔය නම් කියපු දෙන්නා ගැන මම දන්නෙවත් නෑ.

ප්‍රශ්නය : අඩු තරමේ පත්තරේකින්වත් දැක්කේ නැද්ද, එතකොට රටේ ආරක්ෂාව සම්බන්ධ ලේකම්වරයා ඔබ…?

පිළිතුර : ඔය සිද්ධි දේශපාලන හේතු මත උඩට ආපු ඒවා. මොන හේතුවක් හින්ද වුණාද කියන්න දන්නේ නෑ. හමුදාවට හෝ බුද්ධි අංශ වලට එහෙම දෙයක් කරන්න තරම් ඔය කියන දෙන්නා තර්ජනයක්ද.

ප්‍රශ්නය : ඔවුන්ට තර්ජනයක් නොවුණට, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වයට ඔවුන් තර්ජනයක් වුණා … ?

පිළිතුර : නෑ, ඕක දේශපාලන වාසියට කියන කතාවක්.

ප්‍රශ්නය : පුද්ගලයන් දෙන්නෙකුගේ අතුරුදන් වීමක් ඔය තරම් සරල කාරණයක් ද, රටේ ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යංශයේ ලේකම් ඒ ගැන දන්නෙත් නැතිලු ..?

පිළිතුර : මම දන්නවා. ඔය හැමතැනම බිත්ති වල ලියලා තිබුණෙ.

ප්‍රශ්නය : ඉතින් ඔය චෝදනා වලට අපි නිවැරදිකරුවො, අපි හොඳ ළමයි කියලා ඔප්පු කළා නම් ඉවරයි නෙ …?

පිළිතුර : බුද්ධි අංශ වලට එහෙම නිවැරදි බව කියන්න ක්‍රමවේද නෑනෙ. මාධ්‍ය සාකච්ඡා තියන්න බෑනෙ. මේවා ගැන කතා කරන්න ගියොත් ඒ මිනිහට විරුද්ධව විනය පියවර ගන්නවා.

ප්‍රශ්නය : ඔබ බුද්ධි අංශෙ නෙමෙයිනෙ, ඔබට පුළුවන්නෙ ඉස්සරහට එන්න …?

පිළිතුර : ඕනෑම වෙලාවක මම මගෙ නිවැරදිභාවය ඔප්පු කරන්න සූදානම්.‘

ඇත්තම කතාව ගෝඨාභයට ඔප්පු කරන්නට නිර්දෝෂීභාවයක් නැති බවය. ඒ නැති නිසාම ඔහු එවැන්නක් ඔප්පු කරන්නට එන්නේත් නැති බවය. ලලිත්ව කූගන්ව අතුරුදන් කළවුන් සෙවිය යුතුය. ඒ සෙවිය යුත්තේ තව ලක්ෂ ගණන් මෙරට ඉතිහාසයේ අතුරුදන්වූවන් හැමෝම වෙනුවෙන් යුක්තිය ඉටු කරන ගමනක කොටසක් ලෙසය.

තරිඳු උඩුවරගෙදර –

Social Sharing
නවතම පුවත්