ආනයනය කළ සහල් තොග ලබන සතියේ වෙළඳපලට – සැඟවූ සහල් තොග දඹුල්ලට

රජය විසින් ආනයනය කිරීමට තීරණය කළ සහල් තොග ලබන සතියේ මෙරටට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසනවා.
මතුව ඇති සහල් හිගයට පිළියමක් ලෙස මෙට්‍රික් ටොන් 70,000ක උපරිමයකට යටත්ව සහල් ආනයනය කිරීමට පසුගිය දා රජය තීරණය කළා.

ආනයනික සහල් වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති අතර, ඒ අනුව එම සහල් තොග රැගත් නෞකා ඉදිරි සතිය තුළ දිවයිනට පැමිණෙනු ඇති.
සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු සංශෝධනය කරමින් දෙසැම්බර් මස 04 වන දින සිට 20 වන දින දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා අවසර ලබා දෙමින් රජය විසින් විශේෂ ගැසට්‌ නිවේදනයක්ද නිකුත් කළා.

ආනයනය කරනු ලබන සහල් කඩිනමින් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් වරායට පැමිණෙන නෞකාවල පවතින සහල් පැය 04 ක් ඇතුළත ඉන් නිදහස් කිරීමට කටයුතු කරන බවයි රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පසුගිය දා ප්‍රකාශ කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සහල් ව්‍යාපාරිකයින් අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසු, සහල් සඳහා නව උපරිම සිල්ලර මිලක් පැනවීමටයි රජය තීරණය කළේ.

ඒ අනුව වෙළෙඳ පොළේ නාඩු, සම්බා සහ කැකුළු සහල් වල මෙතෙක් පැවැති උපරිම සිල්ලර මිල රුපියල් 10කින් වැඩිකර ඇති අතර කිරි සම්බා මිලෙහි වෙනසක් සිදුවන්නේ නැහැ.

2022 වසරේ මැයි 02 වැනිදා නිකුත් කළ ගැසට්‌ නිවේදනයට අනුව උපරිම සිල්ලර මිල දැක්වුණේ, නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක් සහ කිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ක් ලෙසයි.
පසුව රතු සහ සුදු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 210ක් වශයෙන් එම වසරේම ජුනි මස 10 වැනිදා නිකුත් කළ ගැසට්‌ නිවේදනයෙන් උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.

ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී එම උපරිම සිල්ලර මිල ගණන් මෙන්ම තොග මිල ද සංශෝධනය කිරීමට තීරණය වී තිබෙනවා.
ඒ අනුව නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225 ක් සහ සිල්ලර මිල රුපියල් 230 ක් වනු ඇති.

සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 235 ක් සහ එහි සිල්ලර මිල රුපියල් 240 ක් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය වුණා.
එමෙන්ම කිරි සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 255 ක් වන අතර, එහි සිල්ලර මිල රුපියල් 260ක් වනු ඇති.

ඊට අමතරව සුදු සහ රතු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215 ක් සහ සිල්ලර මිල රුපියල් 220ක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව නාඩු,සම්බා සහ රතු හා සුදු කැකුළු සහල්වල වෙළෙඳ පොළේ මෙතෙක් පැවැති සිල්ලර මිල මෙම නව තීරණයත් සමග රුපියල් 10කින් වැඩි වනවා.

Social Sharing
නවතම පුවත්