නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය (OGBV) යනු යම් කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් ව ඩිජිටල් වේදිකා හෝ සබැඳි අවකාශයන් (Online spaces) හරහා සිදුකරනු ලබන ඕනෑම ආකාරයක හිංසනයක් හෝ හිරිහැරයක් වේ.

මෙය විවිධ ආකාරවලින් සිදුවිය හැක. ඒ සඳහා නිරන්තරයෙන් අන්තර්ජාලය හරහා යමෙකු පරීක්ෂා කිරීම, නැවත නැවතත් සම්බන්ධතා ඇති කර ගැනීමට අනවශ්‍ය ලෙස උත්සාහ කිරීම, අනවශ්‍ය ලිංගික ඉල්ලීම් හෝ අහිතකර අන්තර්ගතයන් යැවීම, GPS හෝ ලුහුබැඳීමේ උපාංග භාවිතයෙන් කෙනෙකුගේ චලනයන් නිරීක්ෂණය කිරීම, යමෙකුගේ සබැඳි ගිණුම් වෙත ප්‍රවේශ වීම හෝ හැක් කිරීම, සමීප පණිවිඩ සහ ඡායාරූප අනිෂ්ට ලෙස බෙදාගැනීම, ඩොක්සිං කිරීම (පෞද්ගලික තොරතුරු ප්‍රකාශ කිරීම) සහ ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හේතුවෙන් යමෙකු ඉලක්ක කර ගනිමින් හානිකර ඒකාකෘති හෝ අපවාදාත්මක අන්තර්ගතයන් ව්‍යාප්ත කිරීම වැනි පුළුල් පරාසයක හානිකර හැසිරීම් ඇතුළත් වේ. එය ඕනෑම කෙනෙකුට බලපෑම් කළ හැකි නමුත් කාන්තාවන් සහ ළමයින් සබැඳි අවකාශයන් හරහා විශේෂයෙන් අවදානමට ලක් වේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වයේ වර්ග:
1. Cyberstalking – වරක් ප්‍රතික්ෂේප කළවිට නැවත නැවතත් අන්තර්ජාලය හරහා යමෙකු සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට උත්සාහ කිරීම හෝ හිරිහැර කිරීම බොහෝ විට අන්තර්ජාල පරිශීලකයාට බිය සහ චිත්තවේගීය පීඩා ඇති කරයි.

2. ට්‍රොල් කිරීම සහ වෛරී කථනය – යමෙකුගේ ලිංගභේදය ඉලක්ක කර ගනිමින් හානිකර හෝ අහිතකර අදහස් පළ කිරීම.

3. අසභ්‍ය දර්ශන බෙදා හැරීම – හානි කිරීමට, පළිගැනීමට හෝ ලැජ්ජාවට පත් කිරීමේ අරමුණින් කෙනෙකුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික රූප හෝ වීඩියෝ බෙදා හැරීම.

4. Doxxing – පුද්ගලයාට හානි කිරීමේ අරමුණින් ඔවුන්ගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියේ මුදා හැරීම.

5. ලිංගික හිරිහැර – නුසුදුසු රූප, පණිවිඩ හෝ තර්ජන ඇතුළත් විය හැකි අනවශ්‍ය ලිංගික ඇරයුම් හෝ සබැඳි අවකාශයන් වෙත යොමු කරවන පණිවිඩ එවීම.

 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය ජය ගැනීමට මාර්ග:

1. දැනුවත් කිරීම
අන්තර්ජාලය හරහා ප්‍රචණ්ඩත්වයට ලක්විය හැකි ආකාරයන් ගැන හා එවැනි අවස්ථාවලදී එම ගැටලුවලට නිවැරදිව විසඳුම් ලබා ගත හැකි ආකාරයන් ගැන අධ්‍යාපනය ලබා දීම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වයේ හානිකර බලපෑම් තේරුම් ගැනීමට මිනිසුන්ට උපකාර කරනු ඇත. පාසැල්, විශ්ව විද්‍යාල සහ සේවා ස්ථාන යනාදිය හරහා ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු, උද්දේශන වැඩසටහන් පැවැත්වීම කළ හැකිය.

2. ඩිජිටල් සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම
මාර්ගගත අවකාශයක් තුළ ආරක්ෂිතව සිටින ආකාරය, රහස්‍යතා සැකසීම් (Privacy Settings) භාවිතා කරන ආකාරය සහ හානිකර අන්තර්ගතයන් හෝ හැසිරීම් මාර්ඝගතවම වාර්තා කරන ආකාරය ඉගැන්වීම.

3. නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය
මාර්ගගත හිරිහැර කිරීම් සහ ප්‍රචණ්ඩත්වයෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීමට රජයන් නීති නිර්මාණය කළ යුතුය.

4. උපකාරක පද්ධති
වින්දිතයින් සඳහා ප්‍රවේශ විය හැකි පරිදි ක්ෂණික ඇමතුම්, උපදේශන සේවා සහ නීති ආධාර යනාදියේ සහාය ලබා දීම.

5. වාර්තා කිරීම දිරිමත් කිරීම
මාර්ඝ්හත ක්‍රම හරහා වින්දිතයින්වන පාර්ශවයන්ට, තවදුරටත් සිදු විය හැකි හානි වැළැක්වීම සඳහා ඔවුන්ගේ ගැටළුව නිසි බලධාරීන් වෙත වාර්තා කිරීමට ඔවුන්ව දිරිමත් කිරීම.

6. මාර්ගගත ආරක්ෂිත අවකාශයන්
හිරිහැර හෝ අපයෝජනයන්ට බියෙන් තොරව මිනිසුන්ට තම අදහස් ප්‍රකාශ කළ හැකි වේදිකා හෝ සබැඳි අවකාශයන් නිර්මාණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම. සමාජමාධ්‍ය වේදිකා විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රතිපත්ති බලාත්මක කිරීමට සහ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම අවශ්‍ය වේ.

7. ඩිජිටල් සවිබල ගැන්වීම
මාර්ගගත ප්‍රචණ්ඩත්වයට එරෙහි වීමට හා අන්තර්ජාලයේ සැරිසැරීමේදී ආරක්ෂා වීම සඳහා අවශ්‍යවන සම්පත් සැපයීම.

ඔබ අන්තර්ජාල ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් නම් හෝ ඊට මුහුණ දෙන කෙනෙකු හඳුනන්නේ නම්, ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය (OGBV) ට එරෙහිව ඔබට සහාය ලබා ගත හැකි පාර්ශවයන් බොහොමයක් සිටී. ඉන් ආයතන කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

1. ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT)
– මාර්ගගත හිරිහැර ඇතුළු සයිබර් ආශ්‍රිත ගැටළු හැසිරවීමට සහාය සපයයි.
– වෙබ් අඩවිය: www.cert.gov.lk
– ක්ෂණික ඇමතුම් අංකය: 0112 691 692

2. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA)
– බාලවයස්කරුවන්ට සහ තරුණ වැඩිහිටියන්ට සයිබර් හිරිහැර කිරීම් සම්බන්ධ නඩු විසඳීමට උපකාර කරයි.
– ක්ෂණික දුරකථන අංකය: 1929

3. Women In Need (WIN)
– සබැඳි හිරිහැර ඇතුළු ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන් සඳහා උපදේශනය, නීතිමය සහාය පිරිනමයි.
– වෙබ් අඩවිය: www.winsl.net/
– ක්ෂණික ඇමතුම් අංකය: 077 567 65 55

4. පොලිස් සයිබර් අපරාධ කොට්ඨාසය
– ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඇතුළුව මාර්ගගත අපරාධවලට අදාළ පැමිණිලි විමර්ශනය කිරීම සහ හැසිරවීම.
– සහාය සඳහා ඔබේ ළඟම ඇති පොලිස් ස්ථානය අමතන්න හෝ වැඩි විස්තර සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
– වෙබ් අඩවිය: www.police.lk

7. Right to Life Human Rights Centre
– අන්තර්ජාලය හරහා සිදුවන හිරිහැර ඇතුළු මානව හිමිකම් කඩවීම්වලට ගොදුරු වූවන්ට නීතිමය සහාය ලබා දෙයි.
– වෙබ් අඩවිය: www.right2lifelanka.org
– ක්ෂණික ඇමතුම් අංකය: 011 266 9100

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය (OGBV) අභිබවා ගොස් සෑම කෙනෙකුටම ආරක්ෂිත සහ වඩා ගෞරවනීය සබැඳි පරිසරයක් (An online environment) නිර්මාණය කිරීම සඳහා පුද්ගලයන්, ප්‍රජාවන්, රජයන් සහ සබැඳි වේදිකාවල (Online platforms) ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍ය වේ.

සටහන
Srimal DC

Social Sharing
අවකාශය පුවත් විශේෂාංග