අතුරු අයවැය ඉතා කෙටියෙන්…

සාමාන්යයෙන් වසරක් අවසන් වීමට පෙර ඉදිරි වසරේ රාජ්ය ආදායම් හා වියදම් ඇස්තමේන්තු සමඟ අයවැයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා නමුත් අලුත් ආණ්ඩුවට ඒ සඳහා කාලය ප්රමාණවත් නොවන බැවින් මේ කටයුත්ත මාස කිහිපයකට කල් දමා තිබෙනවා. මෙහිදී රජයේ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම ප්රශ්නයක් වෙනවා. එයට පිළියමක් ලෙස මාස හතරක කාලයක් සඳහා අතුරු අයවැයක් මේ වන විට සම්මත කරගෙන තිබෙනවා. මෙය වසර සඳහා සම්පූර්ණ අයවැයක් සකස් කරන තුරු ගත් තාවකාලික ක්රියාමාර්ගයක් ලෙස හැඳින්විය හැකියි.
මේ අතුරු අයවැය අනුව ඉදිරි වසරේ පළමු මාස හතරක කාලය තුළ රාජ්ය මූල්යනය සිදු වන්නේ පහත පරිදියි.
අපේක්ෂිත ආදායම = රුපියල් බිලියන 1,600
අපේක්ෂිත වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 1,425
ණය හා පොලී ගෙවීම් = රුපියල් බිලියන 1,175
අපේක්ෂිත මුළු වියදම = රුපියල් බිලියන 2,600
අපේක්ෂිත අරමුදල් හිඟය = රුපියල් බිලියන 1,000
මේ අනුව, ඉදිරි වසරේ පළමු මාස හතර ඇතුළත පමණක් රජය තවත් රුපියල් බිලියන 1000ක් හෙවත් රුපියල් ට්රිලියනයක් ණය වීමට නියමිතයි. මෙය ආසන්න වශයෙන් රටේ එක් අයෙකු මාස හතරක් ඇතුළත තවත් රුපියල් 50,000ක් පමණ ණය වීමට සමානයි.
කෙසේ වුවත්, රජයට මෙලෙස ණය වීමට තනිකරම මෙන් හේතු වී තිබෙන්නේ පරණ ණය හා පොලී ගෙවීමේ අවශ්යතාවයයි. ණය නොවී ණය ගෙවිය හැකි කිසිදු මැජික් විසඳුමක් තවමනම් යෝජනා වී නැහැ.
පරණ ණය හා පොලී ගෙවීම් නොවීනම් රජය සතුව රුපියල් බිලියන 175ක මුදලක් ඉතිරි වෙනවා. ප්රාථමික අයවැය අතිරික්තය නමින් හඳුන්වන්නේ එම ඉතිරියයි.
මේ (2024) වසරේ පළමු මාස හතර ඇතුළත ප්රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 365ක් වූ අතර, වසරේ පළමු මාස නවය ඇතුළත එම අතිරික්තය රුපියල් බිලියන 785ක්ව පැවතුණා. මේවා ඇස්තමේන්තු නොව ඇත්තම ගණන්. මෙම සංඛ්යාලේඛණ සමඟ සැසඳීමේදී පැහැදිලිව පෙනී යන්නේ අලුත් ආණ්ඩුව රාජ්යමූල්ය විනය කෙරෙහි පැවති ආණ්ඩුව තරමට බරක් තබා නොමැති බවයි.
ඇතැම් විට ආණ්ඩුව උත්සාහ කරන්නේ ස්ථායිකරණ වැඩ පිළිවෙළ අනුව පවත්වා ගත යුතු අවම ප්රාථමික අයවැය අතිරික්තය පමණක් යාන්තමින් පවත්වා ගනිමින් වියදම් ඉහළ දැමීම විය හැකියි. එවැනි ප්රවේශයක අවදානම වන්නේ අපේක්ෂිත ආදායම් එලෙසම නොලැබී යා හැකි වීමයි.
ඉදිරි (2025) වර්ෂයේ පළමු මාස හතරේ අපේක්ෂිත ආදායම් හා වියදම් මේ (2024) වසරේ පළමු මාස හතර හා සෘජුව සංසන්දනය කළ හැකියි.
2024 පළමු මාස හතරේ ආදායම = රුපියල් බිලියන 1,218
2024 පළමු මාස හතරේ වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 853
මේ අනුව පෙනී යන්නේ අතුරු අයවැය ඇස්තමේන්තු අනුව රාජ්ය ආදායම 31%කින් වැඩි වෙද්දී ණය හා පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් 67%කින් ඉහළ යාමට නියමිත බවයි. 2024 පළමු මාස පහක කාලයේ රාජ්ය ආදායම 2025 පළමු මාස හතරේ අපේක්ෂිත රාජ්ය ආදායමට ආසන්නව සමාන නිසා (මාස ගණන වෙනස් වුවත්), අපට එම මාස පහ සමඟද මෙවැනිම සංසන්දනයක් කළ හැකියි.
2024 පළමු මාස පහේ ආදායම = රුපියල් බිලියන 1,619
2024 පළමු මාස පහේ වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 1,065
මේ අනුව, 2024 පළමු මාස පහට සාපේක්ෂව 2025 පළමු මාස හතර තුළ අපේක්ෂිත රාජ්ය ආදායම 1%කින් අඩු වුවත් රාජ්ය වියදම් 34%කින් ඉහළ යාමක් දැකිය හැකියි.
“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” කියන්නාක් මෙන් ආණ්ඩුව විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන්නට නියමිත සම්පූර්ණ අයවැයෙහි දිශානතිය පිළිබඳව මේ අතුරු අයවැය අනුසාරයෙන් යම් අදහසක් ලබා ගත හැකියි. ආණ්ඩුව විසින් ප්රදර්ශනාත්මක ලෙස යම් වියදම් අඩු කිරීම් ගැන කතා කළත්, අයවැය ඇස්තමේන්තු වලින් වියදම් අඩු වීමක් පෙන්නුම් කෙරෙන්නේ නැහැ.
රජයේ වියදම් වැඩි වී තිබෙන්නේ ඇයිදැයි විමසා බැලීමට විස්තරාත්මක අයවැය ඇස්තමේන්තු ලැබෙන තුරු බලා සිටින්නට සිදු වෙනවා.
Social Sharing
ආර්ථික නවතම පුවත්