මහර සිදුවූයේ කැරැල්ලක් නිසා ඝාතකයින් සොයා ගන්න බැහැ

අද දින මහර බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙක් ඝාතනය කිරීමට අදාළව එහි එක් මරණකරුගේ බිරිඳ වූ එම්. ජී ලසන්ති විසින් පවරනු ලැබු රිට් පෙත්සම ගරු අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරල්වරයා ගරු අභියාචනාධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේ මහර සිදුවීම යනු කැරැල්ලක් බවත් කැරැල්ලකදී මියගිය අය ඝාතනය කළ තැනැත්තන් හඳුනාගැනීමට නොහැකි බවත්ය. එමෙන්ම බන්ධනාගාරයට විශාල දේපල හානියක් සිදු වී ඇති නිසාවෙන් අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට අවශ්‍ය නොමැති බවයි.

කෙසේ වෙතත් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා ප්‍රකාශ කළේ මෙම වසරේ ජනවාරි 22 දින නීතිපතිවරයා විසින් චූදිතයන්ට විරුද්ධව අධිචෝදනා ගොනු කිරීමට කටයතු කරන බවටත් අවස්ථා කීපයක දී ඒ සඳහා වන පරීක්ෂණය සිදු කරමින් පවතින බවටත් ගරු අධිකරණයට කරුණු දක්වා ඇති බවයි.

ඒ අනුව මුල් අවස්ථාවේ අධි චෝදනා ගොනු කරන බව දන්වා මෙම අවස්ථාවේ අධි චෝදනා ගොනු කිරීමට අවශ්‍ය නොවන බව අධිකරණයට දැන්වීම නිතීපතිවරයාගේ පරස්පර විරෝධීභාවය (Double Standards) පෙන්නුම් කරන බවයි.

මෙම සිද්ධියට සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවත්, දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බවත් දැනුම් දෙමින් පසුගිය ඔක්තෝබර් මැදදී නීතිපතිවරයා මෙම සිදුවීම හා සම්බන්ධ අපරාධ විමර්ශනය අවසන් කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.

විමර්ශන උද්ධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්‍ය බළකා නිලධාරීන් නිත්‍යානුකූලව කටයතු කර ඇති බව මෙන්ම මෙම අවස්ථාවේ දි නිලධාරීන් සිය පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බව නීරික්ෂණය වී ඇති බවත් එම නිසාවෙන් නීතිපතිවරයා බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතෙහි 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වන බවත් නීතිපතිවරයා සඳහන් කර ඇත.

සටහන – චේතනා ගෝමිස්

Social Sharing
නවතම පුවත්