ඔක්තෝබරයේ වෙළඳ භාණ්ඩ අපනයනය සීයට 18% කින් ඉහළට..

export economy in sri lanka

ප්‍රධාන අපනයන කාණ්ඩයන්වන ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ඇතුළු නිෂ්පාදනයන්ගෙන් ලද ඉහළ ඉපැයීම් හේතුවෙන් 2024 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.097ක් දක්වා ඉහළගොස් ඇත. මෙය පෙර වසරට සාපේක්ෂව 18.22%ක වර්ධනයක් සනිටුහන් කර තිබෙන අතර මාසික පදනමින් ගත්කළ 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ අපනයන ආදායම 8.44%කින් වර්ධනය වී ඇත.

ඇස්තමේන්තුගත සේවා අපනයන ඔක්තෝබර් මාසය සඳහා පෙර වසරට සාපේක්ෂව 19.75%කින් වර්ධනය වී අමෙරිකානු ඩොලර් මිලියන 323.17ක් සමඟින් මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,420.27ක් දක්වා ඉහළගොස් ඇත. මෙය පෙර වසරට සාපේක්ෂව 18.57%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

වෙළඳ භාණ්ඩ අපනයනය සඳහා විශාලතම දායකත්වය සපයනු ලබන්නේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයනයයි. මෙය ඔක්තෝබර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 430.21ක් දක්වා එනම් 21.77%කින් වර්ධනය වී ඇත. එමෙන්ම එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට සිදුකළ අපනයන 23.28%කින් සහ 23.26%කින් ඉහළ ගොස් ඇත. සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 12%ක් වූ තේ අපනයනය ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 126.81ක් උපයා ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 32.6%කින් වැඩි විය

මෙම අංශයේ වර්ධනය සඳහා තේ පැකට් (සියයට 35.19%කින් වැඩි) සහ තොග තේ (19.77%කින් ඉහළ ගොස්) ශක්තිමත් කාර්ය සාධනය හේතු විය. රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන ද ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. ඉපැයීම් 6.26%කින් අමෙරිකානු ඩොලර් මිලියන 84.69 දක්වා පුළුල් විය. අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) දත්තවලට අනුව, කාර්මික සහ ශල්‍ය අත්වැසුම් මෙම කාණ්ඩයේ 32.48%ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

අපනයන ආදායම 29.27%කින් ඉහළ යෑමත් සමඟ පොල් ආශ්‍රිත නිෂ්පාදන ආකර්ෂණීය වර්ධනයක් වාර්තා කළේය. පොල් මද නිෂ්පාදන (34.35% කින් ඉහළට), පොල් කෙඳි නිෂ්පාදන (38.21%කින් ඉහළ) සහ පොල් කටු නිෂ්පාදන (3.65%කින් ඉහළ ගොස්) අතර ධනාත්මක වෙනස්කම් නිරීක්ෂණය විය. කුළුබඩු සහ සාන්ද්‍රණ ප්‍රධාන කාණ්ඩ අතර ඉහළම වර්ධන වේගයක් පෙන්නුම් කළ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 56.88 කින් අමෙරිකානු ඩොලර් මිලියන 51.3 දක්වා ඉහළ ගොස් ඇත. ගම්මිරිස් අපනයනය 168.98%කින් ඉහළ ගොස් ඇති අතර කුරුඳු අපනයනය 39.92%කින් ඉහළ ගියේය.

ආහාර පාන කාණ්ඩය තුළ සැකසූ ආහාර අපනයනය 114.73%කින් විශ්මයජනක ලෙස වර්ධනය වී සමස්ත ආහාර පාන අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 51.35 දක්වා 39.31%කින් ඉහළ යෑමට දායක විය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ද හොඳින් ක්‍රියාත්මක වූ අතර ඇස්තමේන්තුගත අපනයන පෙර වසරට සාපේක්ෂව 42.48%කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් මිලියන 145.94ක් විය. බහලුම් ආශ්‍රිත සහ ප්‍රවාහන සේවා අපනයන 16.48%කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් මිලියන 156.16ක් විය. සමස්ත වර්ධනයක් තිබියදීත්, ඇතැම් අංශවල පහත වැටීම් වාර්තා වී තිබේ. විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික උපාංග පෙර වසරට සාපේක්ෂව 1.97%කින් අමෙරිකානු ඩොලර් මිලියන 36.85 දක්වා පහත වැටී ඇත.

ඊට මූලික වශයෙන් හේතු වී ඇත්තේ පරිවරණය කරන ලද වයර් සහ කේබල් අපනයනය අඩුවීම වන අතර එය 36.23%කින් පහත වැටී තිබේ. මුහුදු ආහාර අපනයනය 16.46%කින් අඩු වී අමෙරිකානු ඩොලර් මිලියන 16.95 දක්වා අඩු වී ඇති අතර ශීත කළ මාළු, නැවුම් මාළු සහ ඉස්සන් අපනයන සියල්ල පහත වැටී ඇත. විසිතුරු මත්ස්‍ය අපනයනය ද 20.24%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් මිලියන 1.97ක් වූ අතර පුවක් ඇතුළු අනෙකුත් අපනයන භෝග 54.84%කින් පහත වැටී ඇත.

2024 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනය 7.04%කින් අමෙරිකානු ඩොලර් බිලියන 10.607ක් දක්වා වර්ධනය විය. එම කාලය සඳහා තුළ සේවා අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 2.86ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය සියයට 7.73ක වර්ධනයකි. ඒ අනුව, ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස දහය තුළ සමස්ත අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 13.468ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 7.19%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තය වන එක්සත් ජනපදයට ඔක්තෝබර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 23%ක් වූ අතර, එහි ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව 19.62%කින් අමෙරිකානු ඩොලර් මිලියන 247.33 දක්වා වැඩි විය. එක්සත් රාජධානියට අපනයනය 26.92%කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් මිලියන 82.79ක් විය.

ඔක්තොබර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 8.4ක් නියෝජනය කරන ඉන්දියාවට සහ පකිස්ථානයට අපනයනය 25.91%කින් ඩොලර් මිලියන 89.67 දක්වා වැඩි වී, ඉන්දියාවට ගම්මිරිස් අපනයනය 151.46%කින් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ අපනයනවලින් 24%ක් වන යුරෝපා සංගමයට (EU) කෙරෙන අපනයනය ඔක්තෝබර් මාසයේදී පෙර වසරට සාපේක්ෂව 18.35%කින් වර්ධනයක් පෙන්නුම් කළේය.

www.ceylonwire.lk

Social Sharing
අවකාශය නවතම