සියයට සීයයක් වන්දි ඉල්ලීම ප්‍රායෝගික නෑ – මහා­චාර් ය බුද්ධි මාරඹේ

වර්තමාන කාලගුණ විපර්යාස මෙරට වී වගාව සඳහා බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය බුද්ධි මාරඹේ මහතා සමඟ කළ සාක­ච්ඡා­වකි.

අය­හ­පත් කාල­ගුණ තත්ත්ව­යත් සමඟ මහ කන්නය වෙනු­වෙන් ගොවීන් වගා කර තිබූ කුඹුරු අක්කර විශාල ප්‍රමා­ණ­ය­කට හානි සිදුව තිබෙ­නවා. මෙම තත්ත්වය නිසා ඉදිරි වසරේ දී සහල් හිඟ­යක් ඇති වීමට ඉඩක් තිබෙ­න­වාද?

වර්ෂාව නිසා කුඹුරු අක්කර 332000කට හානි සිදුව තිබෙන බව ප්‍රකාශ වෙනවා. මහ කන්නයේ දී වැඩිම අස්වැ­න්නක් ලැබෙන අම්පාර, මඩ­ක­ළ­පුව, අක්ක­රෙ­යි­ප­ත්තුව, වවු­නි­යාව, කුරු­ණෑ­ගල, හම්බ­න්තොට, අනු­රා­ධ­පුර වගේ ප්‍රදේ­ශ­වල කුඹු­රු­ව­ලට තමයි වැඩි­පු­රම හානි සිදුව තිබෙන්නේ. මේ ප්‍රදේ­ශ­වල කුඹුරු සම්පූ­ර්ණ­යෙන්ම හානි වෙලාද කියලා නිවැ­රදි තොර­තු­රක් තාම නැහැ. දැනට ලැබෙන තොර­තුරු අනුව මේ කුඹුරු අක්කර 332000න් අක්කර ලක්ෂ දෙකක පමණ ප්‍රමා­ණ­යක් තමයි සම්පූ­ර්ණ­යෙන් විනාශ වී තිබෙන්නේ. ගංව­තුර තත්ත්ව­යක් ආවම මුලින්ම කළ යුත්තේ මිනිස් ජීවිත බේරා ගැනී­මයි. ඊට පස්සේ වැද­ගත් වන්නේ අනෙ­කුත් ආප­දා­ව­ලින් ජන­තාව බේරා­ගැ­නී­මට කට­යුතු කිරී­මයි. ඊළ­ඟට තමයි කෘෂි­ක­ර්මා­න්ත­යට අයත් වගා බිම් ආරක්ෂා කර ගැනීම. වතුර බැහැලා ගියාට පස්සේ තමයි හරි­ය­ටම කියන්න පුළු­වන් වගා බිම්ව­ලට සිදුව තිබෙන හානිය කොප­මණ ද කියලා. අක්කර දෙල­ක්ෂ­යක් කියන්නේ සාමා­න්‍ය­යෙන් හෙක්ට­යාර් 80000ක් විතර ප්‍රමා­ණ­යක්. මේ හානි වූ කුඹුරු තිබෙන ප්‍රදේ­ශ­ව­ලින් හොඳ අස්වැ­න්නක් ලැබෙන නිසා හෙක්ට­යාර් එක­කට ටොන් 4.5ක් එන විදි­හට ගණන් බැලු­වොත් මෙට්‍රික් ටොන් 360000ක පමණ අඩු­වක් දැකිය හැකියි. මේක බර­ප­තළ අඩු­වක්. මේ ප්‍රශ්නය ඇත්ත­ටම ගැට­ලු­වක් බවට පත් වෙන්නේ මේ කන්නයේ දී ගොවි ජන­තාව නැවත වගා කරන්න යොමු නොවු­ණොත් කියන එක අපි හොඳින් මතක තබා­ගත යුතුයි. ආණ්ඩුව මේ වෙලාවේ කරන්නේ වගා හානි­ව­ලට වන්දි ගෙවී­මයි. ඒක හොඳයි. නමුත් වගා­හා­නි­ව­ලට වන්දි ගෙවූ පම­ණින් අස්වැන්න වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා වන්දි ගෙවන අත­ර­තුර අස්වැන්න වැඩි කර ගන්නේ කොහො­මද කියන කාර­ණය ගැනත් අපි අව­ධා­නය යොමු කළ යුතුයි.

මෙවැනි අසීරු අව­ස්ථා­වක ගොවි ජන­තාව නැවත වගා කිරීම සඳහා යොමු­කර අස්වැන්න වැඩි කර ගැනී­මට පව­තින බාධක මොන­වාද?

වැස්සත් එක්ක කුඹු­රු­ව­ලට අඩි තුන හතර උසට වැලි ගොඩ­ග­හලා තිබෙ­නවා අපි දැක්කා.  අඩි­යක් ප්‍රමා­ණ­යට වැලි පිරී තිබු­ණත් ක්ෂේත්‍ර­ය­කින් ඒක ඉවත් කිරීම ඉතාම අසී­රුයි. මේ වැලි හැකි ඉක්ම­නින් ඉවත් කිරී­මට උදව් කරලා නැවත බිම් සකස් කරලා ගොයම් පැළ සිටු­වීම අභි­යෝ­ගා­ත්මක කාර­ණ­යක්. වන්දි ලබා­දීම වගේම ගොවීන්ට තමන්ගේ  කුඹුරු යළි වගා කිරීම සඳහා සුදුසු තත්ත්ව­යට ගෙන ඒමට අවශ්‍ය පහ­සු­කම් සැල­සීම කෙරෙ­හිත් රජයේ අව­ධා­නය යොමු විය යුතුයි. නැවත කුඹුරු වගා කිරීමේ දී බිත්තර වී සඳහා මුදල් වැය කරන්න සිදු වෙනවා.   පොහොර හා  ඉන්ධන සඳහා මෙන්ම බිම් සකස් කිරී­මට හා යන්ත්‍ර සූත්‍ර කුලි­යට ගැනී­ම­ටත්  අම­තර මුදල් විය­දම් වෙනවා. මේවා සම්බ­න්ධ­යෙන් දැනු­ම්වත්ව අව­බෝ­ධ­යෙන් වැඩේට බහින එක වැද­ගත්. හානි වූ වගා බිම් සඳහා වන්දි ගෙවීම ඉතාම හොඳයි. ඒ වගේම රටේ අව­ශ්‍ය­තාව සඳහා අවශ්‍ය සහල් ප්‍රමා­ණය සම්පා­ද­නය කර ගැනී­මත් වැද­ගත්. මේක අපි තේරු­ම්ගෙන අවශ්‍ය සැල­සුම් සකස් කිරීම තමයි මේ මොහොතේ වැද­ගත්ම වන්නේ.

හානි වූ කුඹු­රු­වල නැවත වී වගා කිරීමේ දී සැල­කි­ලි­මත් විය යුතු විශේෂ කරුණු තිබෙ­න­වාද?

සාමාන්‍ය ලෙස ගොවීන් මහ කන්නයේ දී වගා කරන්නේ මාස තුන­හ­මා­රෙන් අස්වැන්න ලැබෙන බිත්තර වී වර්ගයි. මොකද ඒ වගේ අස්වැන්න මාස තුනෙන් පීදෙන වීව­ලට වඩා  වැඩියි. මේ වෙලාවේ ඇත්ත­ටම රටේ ලොකු බිත්තර වී හිඟ­යක් තිබෙ­නවා. මාස 3 1/2 න් අස්වැන්න ලැබෙන බිත්තර වී ගොවීන්ට ලැබිලා ඔවුන් ඒවා වගා කළොත් ඔවුන්ට අස්වැන්න නෙළා ගන්න සිදු වන්නේ මාර්තු මාසේ අග භාග­යේදී යි. එහෙම වුණොත් නැවත වතා­වක් අස්වැන්න නෙළන කාලයේ දී  දැඩි වර්ෂා­ප­ත­න­ය­කට මුහුණ දීමට සිදු­වීමේ අව­දා­න­මක් තිබෙ­නවා. ඒක එච්චර හොඳ නැහැ. ඒ නිසා මාස තුනෙන් අස්වැන්න ලබා­ගත හැකි වී වර්ග­ව­ලට යොමු වෙනවා නම්, මේ අව­ස්ථාවේ හොඳයි කියන එක තමයි මගේ මතය. නමුත් මොනවා  කර­න්නත් අපි බිත්තර වී සොයා­ගත යුතුයි. මම දන්න විදි­හට කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව සහ පුද්ග­ලික අංශය සතු බිත්තර වී මේ වන විට විකිණී අව­සන්. මේ වෙලාවේ උග්‍ර බිත්තර වී හිඟ­යක් රටේ තිබෙ­නවා. සහ­තික කළ බිත්තර වී රජය සහ පුද්ග­ලික අංශය ලබා­දෙන්නේ රටේ සමස්ත අව­ශ්‍ය­තා­වෙන් 16-18 % ක වගේ ප්‍රමා­ණ­යක්. ඉතිරි ප්‍රමා­ණය ගොවියෝ තමන්ගේ අස්වැන්න මඟින් සම්පූර්ණ කර ගන්නවා.

හානි කුඹුරු අක්ක­ර­යක් වෙනු­වෙන් රුපි­යල් 40000ක වන්දි­යක් තමයි රජය යෝජනා කර තිබෙන්නේ. මේ මුදල ප්‍රමා­ණ­වත් නොවන බවට ගොවීන් වෙතින් මැසි­වි­ල්ලක් නැඟෙ­නවා?

රජ­ය­කට 100 % ක් හානි පූර­ණය කිරීම සඳහා වන්දි ප්‍රදා­නය කළ නොහැ­කියි. අපි ඉන්න ආර්ථික තත්ත්වය පිළි­බ­ඳ­වද කල්පනා කර බැලිය යුතුයි. අක්ක­ර­ය­කට 40000ක් කියන්නේ හෙක්ට­යාර් එක­කට රුපි­යල් ලක්ෂ­යක මුද­ලක් වන්දි ලෙස ලැබෙ­නවා කියන එකයි. මම කියන්නේ නැහැ ඒ මුද­ලින් ගොවි­යාගේ සියලු ප්‍රශ්න විස­ඳන්න පුළු­වන් කියලා. නමුත් මේක ඔවුන්ට යම් සහ­න­යක් වේවි. වගා බිම් සකස් කළාට පස්සේ බිත්තර වී මිලට ගැනීම ගොවි­යන්ට කරන්න පුළු­වන් වෙයි ද නැත්නම් රජය ඒ සඳහා මැදි­හත් වීමක් කර­යිද කියලා කියන්න තාම කල් වැඩියි. බිත්තර වී වෙනු­වෙන්ද රජ­යට යම් පිරි­වැ­යක් දරන්න වුණොත් මොකද වෙන්නේ කියලා අපි කල්පනා කර බැලිය යුතුයි.

බිත්තර වී අව­ශ්‍ය­තාව දේශී­යව සපුරා ගැනී­මට නොහැකි වුව­හොත් ආන­ය­නය කිරීමේ හැකි­යා­වක් තිබෙ­න­වාද?

වී රටට ආන­ය­නය කරන්න දෙන්නේ නැහැ. බීජ ආන­ය­නය කිරීමේ දී විවිධ වර්ගයේ රෝග රටට ඇතුළු වීමේ අව­දා­න­මක් තිබෙ­නවා. අපේ ප්‍රධාන ආහා­රය බත්. ඒ නිසා අපි ඒක ආරක්ෂා කළ යුතු­මයි. ඇත්ත­ටම බිත්තර වී ආන­ය­නය කර­න­වාට වඩා සහල් ආන­ය­නය කරන එක හොඳයි.

අපේක්ෂා නොකළ ආකා­ර­යෙන් අධික වර්ෂා­ප­ත­න­යක් ඇති වී කුඹුරු විනාශ නොව­න්නට මෙය සාර්ථක මහ කන්න­යක් වීමට ඉඩ තිබුණා නේද?

පැහැ­දි­ලිව ඒ ලකුණු දකින්න ලැබුණා. 2022 කඩා­ගෙන වැටුණු අව­ස්ථාවේ සිට ක්‍රමා­නු­කූ­ලව අපි කන්න­යෙන් කන්නය වී අස්වැන්න වැඩි කර ගත්තා. මේ කරුණු සැල­කීමේ දී ඉතා හොඳ අස්වැ­න්නක් ලබා­ගැ­නී­මට තිබූ අව­ස්ථා­වක් තමයි මේ වැස්ස නිසා අපිට ගිලිහී ගියේ.

පොහොර ගැට­ලුව නිසා 2022 දී කඩා­වැ­ටුණු වී වගාව ක්‍රමා­නු­කූ­ලව යළි යථා තත්ත්ව­යට පත් වූ බව ඔබ පැව­සුවා. එසේ නම් මේ වන­විට රටේ බර­ප­තළ නාඩු සහල් හිඟ­යක් නිර්මා­ණය වී තිබෙන්නේ ඇයි?

මේක වී අස්වැන්නේ ප්‍රශ්න­ය­කට වඩා අස්වැන්න සහල් කිරීම සම්බන්ධ ප්‍රශ්න­යක්. අපි වී කන්නේ නැහැනේ. අපි කන්නේ වී සහල් බවට පත් කර­ලනේ. අපි අවු­රුදු ගණ­නා­වක් තිස්සේ මහ මෝල් හිමි­යන් මට්ටු කරන්න හැදුවා. ඒ අය ළඟ වැඩි­පුර වී තිබෙ­නවා නම් ඒක සොයා­ගන්න එක මහ දෙයක් නෙවෙයි. අනිත් පැත්තෙන් ව්‍යාපා­රි­ක­යෙක් ව්‍යාපාර කරන්නේ ලාභ ලබන්න මිස පුණ්‍ය කට­යුතු වෙනු­වෙන් නොවන බව අපි තේරුම් ගත යුතුයි. ව්‍යාපා­රි­ක­යන්ට සාධා­රණ ලාභ­යක් ලැබිය යුතුයි. සුළු පරි­මාණ සහල් මෝලක් තාව­කා­ලි­කව වැහු­ණොත් පවුල් සුළු ප්‍රමා­ණ­ය­කට තමයි ඉන් බල­පෑ­මක් ඇති වන්නේ. නමුත් මහ පරි­මාණ මෝලක් වැහු­ණොත් ඒකේ බල­පෑම විශාල පිරි­සක් වෙත එල්ල වෙනවා. මට්ටු කිරීමේ භූමි­කා­වෙන් ඉවත්ව අපි සියලු දෙනා එකතු වී මේ ප්‍රශ්න­යට විස­ඳුම් සෙවිය යුතුයි. කන්න අව­සා­නයේ දී  කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව, වෙළෙඳ අමා­ත්‍යාං­ශය, භාණ්ඩා­ර­ගය ඇතුළු ව්‍යාපා­රික ප්‍රජා­වගේ නියෝ­ජි­ත­යින් සියලු දෙනා එකතු වී මිල පාල­නය කළ යුත්තේ කෙසේද සම්බ­න්ධ­යෙන් එක­ඟ­තා­ව­කට පැමි­ණිය යුතුයි. නාඩු සහල් කිලෝව රුපි­යල් 220 කියන මිල මීට අවු­රුදු දෙක­කට කලින් ඉඳ­ලම තිබෙන මිලක් නේ. අද රටේ අනෙක් හැම­දේ­කම මිල සැල­කිය යුතු ලෙස වෙනස් වෙලා. නමුත් සහල් මිල ඊට සාපේ­ක්ෂව අඩු වෙලා නැහැ. මිල නිය­ම­යක් කරන්න අවශ්‍ය නම් කන්න­ය­කට දෙව­තා­වක් හෝ අදාළ කණ්ඩා­යම් රැස්ව යම් එක­ඟ­තා­වට පැමිණ අදාළ තීරණ ක්‍රියා­ත්මක කිරීම හොඳයි කියන එක තමයි මගේ මතය.

වී සහල් බවට පත් කිරී­මේදී සිදු කරන ගණ­නය කිරී­ම්ව­ලත් ගැටලු තිබෙ­නවා නේද?

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව කියන්නේ වී කිලෝ 100ක් හාල් බවට පත් කිරීමේ දී ලැබෙන්නේ සහල් කිලෝ 68 යි කියලා. මහ මෝල් හිමියෝ කියන්නේ මේ අගය 52.5 % කියලා. පශු අස්වනු තාක්ෂණ ආය­ත­නය මෙම අගය දක්වන්නේ 65 % ක් ලෙසයි. කුඩා හා මධ්‍ය පරි­මාණ මෝල් හිමියෝ කියන්නේ මේ අගය 52 % සිට 62% යි කියලා.  මෙයින් පැහැ­දි­ලියි වී සහල් බවට පත් කිරීමේ දී ලැබෙන සහල් ප්‍රමා­ණය සම්බ­න්ධ­යෙන් පව­තින අග­යන්ගේ විච­ල්‍ය­තාව කොච්ච­රද කියලා. මේ අනු­පා­තය වැඩි­යෙන්ම ලැබෙන්නේ සුදු නාඩු­ව­ලින්. රතු නාඩු ඊට වඩා අඩුයි. සම්බා ඊටත් අඩුයි. කීරි සම්බා තවත් අඩුයි. වී වර්ග අනුව, පළාත අනුව, මෝලේ තිබෙන පහ­සු­කම් අනුව ලැබෙන සහල් ප්‍රමා­ණය වෙනස් වෙනවා. රටේ තිබෙන වී මෝල් සංග­ණ­න­යක් කර­න­වාට වඩා වැද­ගත් වන්නේ ඒ මෝල්ව­ලට කන්න­යක් ගානේ වාර්ෂි­කව ලැබෙන වී ප්‍රමා­ණය සහ එම­ඟින් නිෂ්පා­ද­නය කෙරන සහල් ප්‍රමා­ණය ගණ­නය කිරී­මයි. මේ දත්ත හරි­යට ලබා ගැනී­මෙන් තමයි අපිට අනා­ග­තයේ ඇති­විය හැකි අභි­යෝ­ග­ව­ලට සාර්ථ­කව මුහුණ දීමට හැකි පරි­ස­ර­යක් ගොඩ­නඟා ගැනී­මට හැකි­යාව ලැබෙන්නේ.

වී අලෙවි මණ්ඩ­ලය ශක්ති­මත් කර­මින් වී තොග රැස් කිරීම මඟින් වී මිල පාල­නය කිරීම කෙරෙහි නව රජයේ අව­ධා­නය යොමුව තිබෙ­නවා.

වී අලෙවි මණ්ඩ­ලය සතුව රට පුරා විහිදී ගිය වී ගබඩා 325ක් පමණ තිබෙ­නවා. ඒ සෑම එක­කම ගබඩා කළ හැකි වී ප්‍රමා­ණය සැල­කු­වොත් වී මෙට්‍රික් ටොන් 350000ක් පමණ එක­වර ගබඩා කළ හැකියි. මේවා ඒ ඒ පළා­ත්වල ස්ථාපිත කර තිබෙන්නේ වී අස්වනු ලැබෙන ප්‍රමා­ණය අනු­වයි. අම්පාර ගත්තොත් ඒ දිස්ත්‍රි­ක්කයේ ගබඩා 57ක් විතර තිබෙ­නවා. අපිට මාස­ය­කට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02කට මඳක් වැඩි ප්‍රමා­ණ­යක් අවශ්‍ය යි. මේක  වාර්ෂි­කව ගත්තොත් මෙට්‍රික් ටොන් මිලි­යන 2.4ක වගේ අග­යක්. මේ ප්‍රමා­ණ­යම වී අලෙවි මණ්ඩ­ලයේ ගබඩා කර තැබිය යුතුයි කියලා මම කියන්නේ නැහැ. එහෙම නම් රටේ ව්‍යාපාර තිබිය යුතු වන්නේ නැහැනේ. වී අලෙවි මණ්ඩ­ලය කරන්න ඕන අවශ්‍ය අව­ස්ථා­වට රජයේ බෙදා­හැ­රීමේ යන්ත්‍ර­ණය ඔස්සේ අවශ්‍ය වී තොග මුදා­හැ­රී­මයි. මම රාජ්‍ය ව්‍යාපාර හා විය­දම් කළ­ම­නා­ක­රණ කමි­ටුව නියෝ­ජ­නය කළා. ඒ කමිටු සාමා­ජි­ක­යින් කිව්වා වී අළෙවි මණ්ඩ­ලය සතු ගබ­ඩා­ව­ලින් ගොඩක් ඒවා මේ වන විට පව­තින්නේ හොඳ තත්ත්ව­යක නෙවෙයි. ඇත්ත­ටම ගබඩා 325න් 200ක් විතර තමයි පාවිච්චි කරන්න පුළු­වන් තත්ත්වයේ තිබෙන්නේ. අනිත් ඒවා ප්‍රති­සං­ස්ක­ර­ණය කළ යුතුයි.

අසෙල කුරුළුවංශ – දිනමිණ

Social Sharing
අවකාශය නවතම