මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රැකියාවන් සඳහා පුද්ගලයන් 291‚267 දෙනකු විදේශගත වී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේදී 22,000ට වැඩි පිරිසක් රට රැකියාවට ගොස් තිබෙන බව පෙන්වාදෙන එම කාර්යාංශය කුසලතා සහිත ශ්‍රමිකයින් 210, 108 විදේශගත වී තිබෙන බව ද පෙන්වාදෙයි.
ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී පමණක් ශ්‍රි ලාංකිකයන් 22,685 දෙනකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වී ඇති බව කාර්යාංශය සඳහන් කරයි. එය පසුගිය 2023 වර්ෂයට සාපේක්ෂව 6.9%ක ඉහළයෑමක් බවත් ඒ අනුව 2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා පුද්ගලයන් 274‚265 දෙනකු රැකියා සඳහා පිටත් වී ඇති බව ද පවසයි.
ඒ අනුව 2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා විදේශගත ශ්‍රමිකයින් අතරින් 178‚914 දෙනකු ස්වයං මාර්ග ක්‍රමය යටතේ ලියාපදිංචි වී විදේශගත වී ඇති අතර 112‚853දෙනකු විදේශ රැකියා නියෝජිත ආයතන මඟින් ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. වෘත්තීය කුසලතා රැකියා සඳහා 210,108 දෙනකු හා අඩු නිපුණතා සහිත රැකියා සඳහා 81,159 දෙනකු පිටත්ව ගොස් ඇත.
2024 විදේශගත පිරිස අතරින් පිරිමි ශ්‍රමිකයින් 172‚746ක් හා කාන්තා ශ්‍රමිකයින් 118‚521 නියෝජනය වන අතර මේ අතර, මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශගත වී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන බව ද එම ප්‍රමාණය 71,210ක් වේ. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 48,083ක් ද, සෞදි රාජ්‍යයට 45,008ක් ද, කටාර් රාජ්‍යයට 43,104ක් රැකියා සඳහා විදේශගත වී තිබේ. එමෙන්ම ඊශ්‍රායෙල් රාජ්‍ය සඳහා 9,146ක්, ජපානය සඳහා 7,983ක් හා දකුණු කොරියාව සඳහා 6,925ක් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
රැකිය සඳහා විදේශගත ශ්‍රමිකයන්ට ලබාදෙන පහසුකම් වඩාත් කාර්යක්ෂම හා සාධනීය අයුරින් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසා සිටියි. ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායල් වැනි රටවල වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කටයුතු කරන බව ද ඔහු තවදුරටත් පවසා සිටියි.
එමෙන්ම වංචනිකයින්ට හසුනොවී නිවැරැදි මාර්ග තෝරාගන්නා ලෙස රැකියා අපේක්ෂිතයන්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටියි. විදේශ රැකියාවල නිරතවන ශ්‍රමිකයින්ගේ දූ දරුවන් වෙනුවෙන් රට විරු දූදරු ඒකකය නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට බලාපොරොත්තු වන බව ද කෝෂල වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.