2024 දී අස්වැසුම ඉල්ලූ අයවලුන් නැවත අයදුම් කලයුතු නෑ – සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්

2024 වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් විසින්  අස්වැසුම දෙවන අදියරය සඳහා නැවත් අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොමැති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

නිවේදනයක නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ එම පවුල්වල අයදුම්පත් මේ වනවිටත් පද්ධතියට ඇතුළත් කර ඇති බවය.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා මේ දක්වා ඉල්ලුම්කිරීමට නොහැකි පවුල් හා පුද්ගලයන්ට ඉල්ලුම් කිරීම සඳහා දෙසැම්බර් මස 09 දක්වා සහන කාලයක් ලබාදී ඇත.

මේ අවස්ථාවේදී අදාළ වැඩසටහනට ඉල්ලුම් කිරීමට හැකියාව ඇත්තේ මෙතෙක් අස්වැසුම වැඩසටහනට අයඳුම්පත්‍ර ඉදිරිපත් කිරීමට නොහැකි වූ පවුල්වලට පමණි.

නිවේදනයේ සඳහන් වන්නේ මෙම වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා තැනැත්තන් ද නැවත් අස්වැසුම වැඩසටහනට අයඳුම්පත් ලබාදීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාල වෙත පැමිණෙන බවට වාර්තා වන බවය.

එමෙන්ම එකම පවුලේ සාමාජිකයන් වෙන් වෙන් වශයෙන් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට ඉල්ලුම්කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයඳුම්පත්‍ර භාරදීමට උත්සාහ දරන බවද වාර්තා වී ඇති බව දැනුම් දී තිබේ.

එබැවින් එක් පවුලක් වශයෙන් අයඳුම්කරන විට සියලුම සාමාජිකයින් නියෝජනය වන පරිදි එක් අයදුම්පතක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

යාවත්කාලින කිරීම – 

අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය 2023-07-01 දින සිට ක්‍රියාත්මක කර ඇති අතර, අංක 2384/30 දරන අති විශේෂ ගැසට්‌ නිවේදනය මඟින් නැවත සංශෝධනය කර 2024-07-01 දින සිට ක්‍රියාත්මක කර තිබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභි පවුල් සඳහා කාණ්ඩ 4 ක් යටතේ ප්‍රතිලාභ හිමි ගැන්වේ. ආර්ථීක අර්බුදයේ බලපෑම සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින්, සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩ වලට අදාළව පළමු වටයට තේරී ඇති පවුල් සහ තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති දෙවන වටයේ අයදුම්පත් වලට අදාළව තෝරාගනු ලබන පවුල් සඳහා තවදුරටත් කෙටි කාලයකට සහන සැලසීමේ අවශ්‍යතාව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

එමෙන්ම වත්මන් ජීවන වියදම සැලකු විට දැනට ලබා දෙනු ලබන මුදල ප්‍රමාණවත් නොවන බවට ද කරුණු ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, දැනට බලපවත්නා අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය පහත සඳහන් පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

*දුප්පත් හා අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව පිළිවෙලින් රුපියල් 8,500/- සිට රුපියල් 10,000/- දක්වාත්, රුපියල් 15,000/- සිට රුපියල් 17,500/- දක්වාත් වැඩි කිරීම සහ ඒ අනුව සංශෝධිත අස්වැසුම සුඛ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක කිරීම.

* සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාල සීමාව 2025-03-31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීම.
* අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාල සීමාව 2025-12-31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීම.

Social Sharing
නවතම පුවත්