අකුරැස්ස, බංගම ප්‍රදේශයේ පදිංචි චින්තක ප්‍රසාද් අබේතුංග යකඩ එකතු කිරීමේ රැකියාවක නියැළෙන්නෙකි. ඉකුත් නොවැම්බර් 25වන දින ඔහු රැකියාවට ගොස් නැවත පැමිණෙමින් සිටින විට බංගම පොලිස් ජිප් රථයෙන් නිලධාරීන් තිදෙනෙක් පැමිණ මොහුව පොලිසීය වෙත රැගෙන ගොස් ඇත. ඔහුගේ බිරිඳට පොලිස් ස්ථානයෙන් දන්වා අත්තේ රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
ඒ අනුව නොවැම්බර් 26 දින 7.30 ට පමණ ඇය සිය ස්වාමි පුරුෂයාගේ මව සමඟ ඔහු බැලීමට පොලිස් ස්ථානයට ගොස් ඇත. එම අවස්ථාවේ ස්ථානාධිපති ඇයගේ ස්වාමි පුරුෂයාගේ ඇග මත සිටින බව දුටු බවත් එම අවස්ථාවේ ඔහු විලාප දී ඇති අතර ඔහු“ මට අමාරුයි පපුව රිදෙනවා මා රෝහලකට රැගෙන යන්න” යනුවෙන් පවසා ඇත. එවිට ස්ථානාධිපති ඇයට පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර “මූට අමාරුනම් බෙහෙත් ටික ගෙනත් දීපන් මූ අද උසාවි දාන්නෙ නැහැ” යනුවෙන් පවසා ඇත. එමෙන්ම “මූ මැරුනොත් ගඟට දානවා” යනුවෙන් ද පවසා ඇත.
පසුව මෙම සිදුවීම ඇය විසින් ස්වාමි පුරුෂයාගේ සහෝදරියට පවසා ඇති අතර ඇය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා වෙත දුරකථන ඇමතුමක් දී මෙම සිදුවීම පැවසීමෙන් අනතුරුව එදින පෙ.ව. 10.00 ට පමණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත නිදහස් වි ඇති බවට වාර්තා වේ.
මෙහිදී චින්තකව අත්අඩංගුවට ගත් සාජන්වරයා ස්ථානාධිපතිට පවසා ඇත්තේ “මූ පොලිස් ජීප් රථයට වෙට්ටුවක් දැමූ බවයි”. එහෙත් ඔහු එසේ නොකළ බවත්, ජිප් රථය හඳුනාගත් අවස්ථාවෙහි ඔහු රථය මාර්ගයේ කොනකට ගෙන ජීප් රථයට ගමන් කිරීමට ඉදිරියට යෑමට ඉඩ සැලැස් වූ බවත්, ඔහුට පෙ.ව. 6.30 ට පමණ ස්ථානාධිපති කකුල්වලට, පපුවට සහ අත්වලට යකඩ බටයකින් පහර දී ඇති බවත්, ඔහු සමඟ සිටි සහයකයා හට ද මෙසේ පහර දුන් බව ඔහු විසින් පවසා සිටියි.
පසුව මොහුව අකුරැස්ස රෝහලට ඇතුළත් කළ එහි වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාණවත් නොවූ බැවින් මාතර මූලික රෝහලට ඇතුළත්ව දැනට ප්‍රතිකාර ලබයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් කටයතු මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පති හා පොලිස් කොමිෂන් සභාවට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිළි කර ඇත.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව ඉමදුව ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා ඉමදූව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.