දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?

 

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පසුගිය නොවැම්බර් මස 11 වැනි දින සිට 22 වැනි දින දක්වා අසර්බයිජානයේ බාකු නුවර දී පැවැත්විය. සියල්ලන්ටම ජීවත්විය හැකි ලෝකයක් සඳහා ආයෝජනය කිරීම (Investing in a Livable Planet for All) තේමාව කර ගනිමින් මෙවර පැවැත්වුණු සමුළුව සඳහා රටවල් 190කට වැඩි ප්‍රමාණයක නියෝජිතයින් සහභාගී වී තිබුණි.

සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා 2025 වසරේ සිට වාර්ෂිකව කොපමණ අරමුදල් සැපයිය යුතුද, සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස හමුවේ සිය ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගන්නේ කෙසේද සහ 2035 වසර සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ඉලක්ක වැනි කරුණු ගැන ප්‍රධාන වශයෙන් මෙවර සමුළුවේදී සාකච්චා විය.

එමෙන්ම ආහාර පද්ධතිය (ආහාර පද්ධතියක් (Food System) යනු ආහාර නිෂ්පාදනය, සැකසීම, ප්‍රවාහනය සහ පරිභෝජනය සම්බන්ධ සංකීර්ණ ක්‍රියාකාරකම් ජාලයකි.) වෙනුවෙන් කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද, ඊට අදාළව ලබා දෙන ජාත්‍යන්තර එකඟතාවයන් මොනවාද සහ එම එකඟතා ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න ගැනද සමුකුවට සහභාගී වූ රටවල් අතර සාකච්චා විය.

ඊට අමතරව මෙවර රැස්වීම් වාරයේදී Loss and damage fund කෙරෙහි බොහෝ දෙනා විසින් අවධානය යොමු කරනු ලැබීය. එනම් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් සංවර්ධිත රටවලට සාපේක්ෂව කාබන් විමෝචනය සහ අනෙකුත් හරිතාගාර වායූන් පරිසරයට මුදා හරිනුයේ ඉතා අවම වශයෙනි. එහෙත් සංවර්ධිත රටවල් විසින් පරිසරයට මුදා හරින අධික කාබන් ප්‍රමාණය හරහා පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට සිදු කළ හැකි කාර්යය අති මහත්ය. ඒ සඳහා පාරිසරික වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග තිබේ. උදාහරණ ලෙසට පරිසරයට මුදා හැරෙන කාබන් අවශෝෂණය කිරීම වැඩි කිරීම සඳහා ගස් වැවීම, වගාවන් සඳහා රසායනික පොහොර යෙදීම වෙනුවට කොම්පෝස්ට් වැනි කාබනික පොහොර යෙදීම, මුහුදු පැළෑටි සංරක්ෂණය කිරීම යනාදී ක්‍රියාමාර්ග ගත හැකිය. සංවර්ධනය වෙමින් පවතින සහ අඩු සංවර්ධනයක් සහිත රටවල ඉහත ආකාරයේ පරිසර සංරක්ෂණ කටයුතු සඳහා සංවර්ධිත රටවල් විසින් ලබා දිය හැකි මුල්‍යමය දායකත්වයන් ගැනද මෙවර Cop29 සමුළුවේදී සාකච්චා විය. සංවර්ධිත රටවල් ස්වභාවික සම්පත් භාවිතා කරනුයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට අයත් පරිමාවත් සමග බැවින්, සංවර්ධනය වෙමින් පවතින සහ අඩු සංවර්ධනයක් සහිත රටවලට ඒ වෙනුවෙන් යම් මුල්‍යමය ප්‍රතිලාභ ලබා දී එම රටවලටද සංවර්ධනය වීම සඳහා තිබෙන අවස්ථා වැඩි කිරීම හෝ සංවර්ධිත රටවල පරිභෝජන රටාව අවම කිරීම කළ යුතු වුවත් සංවර්ධිත රටවල් ඒ සඳහා සුදානම් නොමැති බවක් පෙනී ගිය බව සමුළුවට සහභාගී වූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන තිලක් කාරියවසම් මහතා පැවසීය. එමෙන්ම ඇතැම් රටවල් විසින් සාකච්චාවන් හිතා මතාම අවුල් කරන ස්වභාවයක්ද දැකිය හැකිව තිබූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සිවිල් සමාජය නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූ පිරිස විසින් මෙහිදී විශේෂ ඉල්ලීමක් කර තිබුණි. දියුණු රටවල අධි පරිභෝජනය හේතුවෙන් මුදාහැරෙන අධික කාබන් ප්‍රමාණය නිසා සිදුවන දේශගුණික විපර්යාස වලින් සංවර්ධනය වෙමින් පවතින සහ අවම සංවර්ධන මට්ටමක තිබෙන රටවලටද පාඩු විඳීමට සිදුව තිබේ. නමුත් එම හානිය වෙනුවෙන් සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නිසි පරිදි වන්දි ගෙවීමක් සිදු නොවන බවත් ඊට විසඳුමක් වශයෙන් Loss and damage fund යනාදිය වෙත යොමු විය යුතු බවටත් මෙහිදී යෝජනා ඉදිරිපත් විය. සංවර්ධිත රටවල නායකයින් එම යෝජනා කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවක් නොපෙනුනද සංවර්ධිත රටවලින් පැමිණ සිටි සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන් සහ ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල කණ්ඩායම් සමග එකට අත්වැල් බැඳගෙන ඉහත යෝජනාවන් වෙනුවෙන් හඬ නැගීමක් දැකිය හැකි විය.

දේශගුණික යුක්තිය (Climate Justice) වෙනුවෙන් සිවිල් සමාජය දිගින් දිගටම පෙනී සිටි ආකාරයක් සමුළුව තුළදී දැකිය හැකි විය. රටවල්වල ආපදා කළමනාකරණ ප්‍රතිපත්ති, රටෙහි ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී දේශගුණික විපර්යාස කෙරෙහිද අවධානය යොමුකළ යුතු ආකාරය ගැනද සාකච්චා විය.

මෙවර සමුළුවට අප්‍රිකානු සහ ආසියානු රටවල ගොවීන් නියෝජනය කරමින් බොහෝ පිරිස් සහභාගී වී සිටියහ. දේශගුණික විපර්යාසවලින් වැළකීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන ඔවුන් සාකච්චා කළහ.

තම භූමිය හරහා සිදුවන හරිතාගාර වායු විමෝචනය අවම කර ගැනීමෙන් ගොවීන්ට දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දායක විය හැකිය.
ආවරණ බෝග වගා කිරීම, කෘෂි වන වගාව, බෝග විවිධාංගීකරණය කිරීම, පශු සම්පත් අපද්‍රව්‍ය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, විනාශ වූ ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම වැනි පුනර්ජනනීය කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම ක්‍රියාත්මක කිරීම, කාබනික පොහොර භාවිතය, පරිසර හිතකාමී ආහාර සංරක්ෂණ උපක්‍රම භාවිතා කිරීම, ගොවිතැන් සඳහා අවශ්‍ය බලශක්තිය ලබා ගැනීමේදී පරිසර හිතකාමී බලශක්ති ප්‍රභාවයබ් කෙරෙහි යොමු වීම යනාදිය එසේ දායක විය හැකි ක්‍රම කිහිපයකි.

එසේ කාබන් ප්‍රමාණය අවම කරමින් වගා කටයුතු සිදුකරන ගොවීන්ට ඒ වෙනුවෙන් යම් මුල්‍යමය සහනයක් සැලසීම යනාදී කටයුතු හරහා තවදුරටත් ගොවීන්ව පරිසර හිතකාමී ගොවිතැන වෙත ළඟා කරවිය හැකිය.

දේශගුණික විපර්යාසවලට එරෙහිව ක්‍රියාත්මක වීම සමස්ථ රට වැසියන්ගේම වගකීමකි. එදිනෙදා භාවිතා කරන ෆොසීල ඉන්ධන (Fosil Fuel) භාවිතය අවම කිරීම හා විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම, ආහාර අපතේ යැවීම නොකිරීම, අනවශ්‍ය පරිභෝජනය සීමා කිරීම (Reduce, reuse, repair and recycle), පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම යනාදිය හරහා ඔබටද දේශගුණික විපර්යාස අවම කිරීමට දායක විය හැකිය.

සටහන
Srimal DC

Social Sharing
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග