ජාතික ජන බලවේගය හෙවත් ජනප්‍රිය හැඳින්වීමට අනුව මාලිමාව ආණ්ඩු බලය ගැනීම සඳහා රටට ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන් ඉදිරිපත් කළ මත ද ප්‍රායෝගික ලෙස අර්බුදයට ලක්වන ආකාරය දැනටමත් පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රබල අවස්ථාවක් වන්නේ සහල් හිගය සහ මිල ඉහළ යාම හමුවේ ආණ්ඩුවේ මතවාදය සහ ක්‍රියාමාර්ග අර්බුදයට ලක් වීම යි. මෙහි දී මාලිමා ආණ්ඩුව මේ වන විට උතුර දකුණ සොයාගන්නට බැරි ලෙස අතරමන් වී ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය සති කිහිපය තුළ සිදුවීම් මගින් මේ බව පැහැදිලි වුවත්, අවුල දකිනවා මිස ඇත්ත ප්‍රශ්නය හඳුනා ගැනීමට මාලිමාව මෙන් ම තවත් බොහෝ දෙනා ද අසමත් වී ඇති බව ද පෙනෙන්නට තිබේ. බොහෝ විට එයට හේතුවල ඇත්ත ලෝකයේ යථාර්ථය තමන් පිළිගත් සහ අදහන මතවාදයන්ට පටහැනි වීම විය හැකි ය.
සහල් මෝල් මාෆියාව මට්ටු කිරීම
මාලිමාවේ එක් ප්‍රධාන සටන් පාටයක් වුයේ සහල් මෝල් මාෆියාව මට්ටු කිරීම යි. ඔවුන් දිගට ම කියමින් සිටියේ විශාල මෝල් හිමියන්ගෙන් සැදුම් ලත් සහල් මාෆියාවක් විසින් මිල තීරණය කරමින් සහල් නිෂ්පාදනය කරන ගොවි ජනතාවත්, පර්භෝජනය කරන ජනතාවත් යන දෙපිරිස ම සුරා කමින් සිටින බව යි. එසේ කරන්නේ ගොවියාට වී සඳහා අඩු මිලක් ගෙවමින් සහ අධික මිලකට පාරිභෝගිකයාට සහල් අලෙවි කරමින් බව ඔවුන්ගේ විශ්වාසය වී තිබිණි. ඔවුන් රටට කී සහ විශ්වාස කළ මතවාදය එය යි.
ආණ්ඩු බලය ගත් විගස ඔවුන්ට සහල් මිල සහ හිගය පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහි දී ඔවුන් මුලින් බැලුවේ ඔවුන් හඳුනාගෙන සිටි ඊනියා සහල් මාෆියාව නීතියෙන් මට්ටු කරන්නට ය. සියලු වී මෝල් සහ ගබඩා ලියාපදිංචි කියීමටත් වී තොග ගණන් බැලීමටත් කටයුතු කළේ ඒ සඳහා ය. සහතික මිල වැඩි නොකරන බව කී ආණ්ඩුව සගවා ඇති වී තොග එලියට නොදමන්නේ නම් දැඩි පියවර ගන්නා බව ද කී ය. ඒ සමග ම කීවේ සහල් ඇටයක් හෝ පිටරටින් ගෙන්වන්නේ නැති බව ය.
කෙසේ වෙතත්, නව ඇමති මණ්ඩලයේ පළමු රැස්වීමෙන් පසු ජනමාධ්‍ය හමුවට පැමිණි වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ සහල් ටොන් හැත්තෑ දහසක් ආනයනය කිරීමට තීරණය කළ බව යි. ඒ කියන්නේ ආණ්ඩුවේ ස්ථාවරයේ වෙනසක් සිදු වී ඇති බව ය.
ඇත්ත ප්‍රශ්නය තේරුම් ගෙන ඇත්ද?
කෙසේ වෙතත්, ආණ්ඩුව ඒ මොහොතේ තත්ත්වය අනුව වෙනස් තීරණ ගත්ත ද ඇත්ත ප්‍රශ්නය තේරුම් ගෙන ඇත්ද යන්න සැක සහිත ය. සහල් ආනයනය කිරීමේ තීරණය ගැනත් ආණ්ඩුව කීවේ එය සහල් මාෆියාව මට්ටු කිරීමට ගන්නා පියවරක් බව යි. ඔවුන්ට අනුව නම් ඊනියා සහල් මාෆියාව මට්ටු කිරීම සහල් ප්‍රශ්නය විසඳීමේ එක ම ක්‍රමය යි. ඊට එහා ගිය දැක්මක් ආණ්ඩුවට නොමැත.
මේ පිළිබඳ මාලිමා ආණ්ඩුවේ ස්ථාවරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම රාජාසන කතාවේ දී පැහැදිලි කළේය. ඒ මහතා කීවේ සහල් වෙළෙඳපොළේ යම් විකෘතියක් පවතින බව යි. එනම්, එය නියම තරගකාරී වෙළෙඳපොළක් ලෙස ක්‍රියාත්මක නොවන බව යි. ඒ අදහස තහවුරු කිරීම සඳහා ඒ මහතා කීවේ සහල් නිෂ්පාදනය පිළිබඳ සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කරන යථාර්ථය වෙළෙඳපොළේ දක්නට නොලැබෙන බව යි.
ජනාධිපතිතුමා මේ කියන සංඛ්‍යා ලේඛන පිළිබඳව මීට පෙර අවස්ථාවක පැහැදිලි කළේ රුපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගී වෙමිනි. එහි දී ඒ මහතා කීවේ වසරකට මෙරට සහල් වගා කරන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් දහතුන් ලක්ෂයක් බව යි. ඒ මාස් කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ අටක් සහ යල කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ පහක් වශයෙනි.
මෙරට හෙක්ටයාරයකින් ලැබෙන සාමාන්‍ය වී අස්වැන්න මෙට්‍රික් ටොන් හතරයි දශම දෙකකි. ඒ අනුව වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 52කට වැඩි ය.
මෙරට වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක් පමණ ය. සහල් කිලෝවක් නිෂ්පාදනයට වී කිලෝ 1.61 ක් අවශ්‍ය වෙයි. ඒ අනුව මෙරටට වසරකට අවශ්‍ය වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 38 කි.
ඒ අනුව ජනාධිපතිතුමා කීවේ මේ වන විට ටොන් ලක්ෂ 14 ක පමණ විශාල වී අතිරික්තයක් රටේ තිබෙන බව යි. එසේ තිබිය දී රටේ සහල් හිගයක් නිර්මාණය වී තිබේ.
මේ සංඛ්‍යා ලේඛන ඇත්තද?
ජනාධිපතිතුමා මේ කියන්නේ මෙරට රජයේ නිලධාරීන් සකස් කොට එතුමාට ලබා දී ඇති සංඛ්‍යා ලේඛන යි. එම සංඛ්‍යා ලේඛන නිවැරදි නම් රටේ සහල් හිගයක් තිබිය නොහැකි ය. එසේ නම් සහල් වෙළෙඳපොළේ විකෘතියක් ඇතැයි යන අදහස සත්‍යයක් විය යුතු ය. නමුත් එසේ වන්නේ මෙම සංඛ්‍යා ලේඛන නිවැරදි නම් පමණකි.
මේ කියන සංඛ්‍යා ලේඛන අනුව රටේ තිබෙන බව කියන සහල් අතිරික්තය නැතහොත් වී අතිරික්තය සුළු පටු නැත. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 14 කි. සහල් බවට පත් කළොත් මෙට්‍රික් ටොන් ලක්ෂ නවයකට ආසන්න ය. රටේ මාස හතරක සහල් අවශ්‍යතාවයට වඩා වැඩි ය.
වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා මීට තරමක් අඩු සංඛ්‍යාවක් ප්‍රකාශ කළේය. එතුමාට අනුව අතිරික්තය මෙට්‍රික් ටොන් ලක්ෂ දහයකි. එය ද සුළු සංඛ්‍යාවක් නොවේ.
මාෆියාවේ තරම
දැන් ප්‍රශ්නය තිබෙන්නේ මෙතරම් සහල් තොගයක් සඟවා තබාගෙන සිටින්නේ නම් ඒ කවුද යන්න යි. එම හැකියාව ඊනියා සහල් මාෆියාව කියා සලකන පොළොන්නරුවේ ප්‍රධාන වී මෝල් හිමියන් සතුව නැත. එම කණ්ඩායම වසරකට වෙළෙඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් පමණ ය. වී නම් මෙට්‍රික් ටොන් ලක්ෂ 8 කි. මෙම සංඛ්‍යා තරමක් වෙනස් විය හැකි නමුත් පොදු චිත්‍රය ඊට සමාන ය. සහල් වෙළෙඳපොළේ මේ කියන මාෆියාවේ දායකත්වය වාර්තා වුයේ සියයට 17 ක් වශයෙනි.
තවත් කරුණක් මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. එනම්, ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව සෑම වසරක ම මහ කන්නයේ හෙක්ටෙයාර් ලක්ෂ 8 ක් සහ යල් කන්නයේ හෙක්ටෙයාර් ලක්ෂ 5 ක් ලෙස හෙක්ටෙයාර් ලක්ෂ 13ක් වගා කෙරෙයි. අස්වැන්න වී ටොන් ලක්ෂ පනහක් පමණ වෙයි. ඇතැම් කන්න සාර්ථක නොවුව ද, අස්වැන්න විශාල ලෙස අඩුවීමක් වාර්තා වී නැත. නමුත් රටේ පරිභෝජනයට අවශ්‍ය වන්නේ වී ටොන් ලක්ෂ 38 ක් නම් සෑම වසරක ම වාර්තාවල සඳහන් දැවැන්ත අතිරික්ත වී තොගයට සිදුවන්නේ කුමක් ද?
මාලිමා ආණ්ඩුව වී මෝල් පරීක්ෂා කරමින් උත්සහ කළේ මේ වන විට ඇතැයි කියන වී තොග සොයා ගන්නට ය. ප්‍රධාන වී මෝල් ඇතුළු වී මෝල් සියයට 65ක් පරීක්ෂා කිරීමෙන් පසු සොයාගත හැකි වූ වී තොගය ලෙස වාර්තා වුයේ ටොන් තුන් ලක්ෂ තිස් දහසකි. ඒ මාස් කන්නයේ අස්වනු ලැබෙන තෙක් වෙළෙඳපොළට නිකුත් කරන්නට තිබෙන සහල් ය. අතිරික්තයක් හමු වී නැත.
සැඟවූ වී තොග තිබෙන්නේ කොහේද?
රටින් සහල් ගෙන්වන තීරණය ප්‍රකාශයට පත් කළ මාධ්‍ය හමුවේ දී වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතා අපෙන් ප්‍රශ්න කළේ සැඟවූ වී තොග තිබෙන්නේ කොහේද? යනුවෙනි. සංඛ්‍යා ලේඛනවල ප්‍රශ්නයක් ඇති බව ද ඒ මහතා කී ය. එසේ වුවත් සැඟවූ සහල් තොග පිළිබඳ චෝදනාව ඉල්ලා අස්කර ගත්තේ නැත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය කාලයේ නිතර අපට කීවේ ” පොඩ්ඩක් කල්පනා කර බලන්න” කියා ය. දැන් අපට ආණ්ඩුවට කියන්නට තියෙන්නේ ” පොඩ්ඩක් කල්පනා කර බලන්න” කියා ය. මෙයින් පෙනෙන්නේ ආණ්ඩුවේ මෙම සංඛ්‍යා ලේඛන පට්ටපල් බොරු බව නොවේ නම් වෙන කුමක්ද?
බොරු දත්ත ලැබෙන්නේ කෙසේද?
මෙය මෙසේ වීමට කරුණු ගණනාවක් හේතු විය හැකි ය.
පළමුවැන්න නම්, තම තමන් වගකීම් දරන ප්‍රදේශවල වී වගාව හොඳින් සිදුවන බවට සහ හොඳ අස්වනු ලබන බවට වාර්තා කිරීමට රජයේ නිලධාරීන්ට ඇති පෙළඹීම යි. තමන්ගේ රාජකාරිය හොඳින් ඉටුකරන බව පෙන්වීමට හෝ එසේ නැතහොත් නොසැලකිල්ලෙන් වගකීම් විරහිත ලෙස වාර්තා සැපයීම නිසා හෝ මෙය සිදුවිය හැකි ය. එම වාර්තා සියල්ල එකතු කළ විට රටේ වී වගාවේ සහ සහල් නිෂ්පාදනයේ විශාල වැඩිවීමක් එම සංඛ්‍යා ලේඛන මගින් ප්‍රකාශ වනු ඇත.
දෙවැන්න නම්, කුඹුරු ලෙස හඳුනාගෙන ඇති ඉඩම් වී වගාවට හැර වෙනත් වගා සඳහා යොදා ගැනීමට තහනම් කොට තිබීම යි. එබැවින් තම ඉඩම් වගා නොකළත් වගා කළ බව වාර්තා කිරීමක් සිදුවනවා විය හැකි ය. එය ඉඩමේ අයිතිය සහ බුක්තිය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ලෙස සලකනවා විය හැකි ය. ඇතැම් විට මෙබඳු ඉඩම් වැඩි වියදම් නොදරා පොහොර නොයොදා වගා කරන අවශ්තා ද තිබිය හැකි ය.
තෙවැන්න නම්, පොහොර සහනාධාර, වගා ණය හෝ වෙනත් ප්‍රතිලාභ සඳහා ඉඩම් වගා කළ බවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කිරීම යි. ඉඩම් හිමිකරුවන් සහ නිලධාරීන් හවුලේ කරන වංචනික ක්‍රියා ද සිදුවිය හැකි ය. සංඛ්‍යා ලේඛන දෙස බැලූ විට පෙනී යන්නේ හෙක්ටෙයාර් ලක්ෂ තුනකට වැඩි බිම් ප්‍රමාණයක් සඳහා පොහොර සහනාධාර නිකුත් වන නමුත් එම ඉඩම් වගා නොකරන තත්ත්වයක් පැවතිය හැකි බව යි. එසේ නම් එය බරපතළ තත්ත්වයකි. වංචාවකි.
සිව් වැනි කරුණක් විය හැක්කේ පවතින පාලන මිල යටතේ ඇතැම් ඉඩම් වගා කිරීම ඵලදායී නොවන බැවින් ඒවා වගා නොකරනවා විය හැකි බව යි. වී වගාව සැම තැන ම එක සමාන ලෙස ඵලදායී වන්නේ නැත. අනෙක් අතට සහල් මිල පාලනය කරන විට ඒ සමග වී මිල ද පාලනය වන බව තේරුම් ගත යුතු ය. මේ වන විටත් ක්‍රියාත්මක වන්නේ 2022 දී ගොටාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ පාලන මිල යි. ඒ යටතේ ඇතැම් ගොවීන් ගොවිතැන් නොකරන නමුත්, කරන බව වාර්තා කරමින් ප්‍රතිලාභ ( සහනාධාර ) ලබාගන්නවා විය හැකි ය.
රාජ්‍ය මැදිහත්වීම් මගින් වී ගොවිතැනට සිදුකොට ඇති විපත
මෙයින් හෙළිවන්නේ අනවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම් මගින් මෙරට වී ගොවිතැනට සිදුකොට ඇති විපත මිස අන්යමක් නොවේ. නිෂ්පාදන ක්‍රියාවලියට රජය මැදිහත් කරගන්නා බොහෝ අවස්ථාවල මෙබඳු බොරු වාර්තා ව්‍යාජ හේතු දැක්වීම් ආදිය සිදුවීම ලෝකයේ බොහෝ අවස්ථාවල වාර්තා වී ඇත.
වැටුප් සඳහා වැඩ කරන රාජ්‍ය සේවයකින් පමණක් නොව දේශපාලන දර්ශනයක් මත කැප වී වැඩ කරන බව අපේක්ෂා කළ නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙබඳු සිදුවීම් වාර්තා වී ඇත.
චීන විප්ලවයෙන් පසු කුරුළු සංහාරය !
චීන විප්ලවයෙන් පසු එරට ආහාර නිෂ්පාදනය වේගයෙන් ඉහළ නැංවීම සඳහා නවසිය පනස් ගණන් අග දී “මහා ඉදිරි පිම්ම” වැඩ සටහන ක්‍රියාත්මක කළේ සභාපති මා ඕ සේතුං ගේ නායකත්වයෙනි. එහි දී ද නිලධාරීන් විශාල අස්වනු වාර්තා කළ ද ඒවා ඇත්තට ම තිබුණේ නැත. එවිට නිලධාරීන් වාර්තා කළේ තම අස්වනු ගේ කුරුල්ලන් විසින් කා දමනු ලැබ ඇති බව යි.
එවිට චීන කොමියුනිස්ට් පක්ෂය තවත් දැවැන්ත වැඩ පිළිවෙළකින් කළේ ගේ කුරුල්ලන් මර්ධනය කිරීම යි. එහි ප්‍රතිඵලය වුයේ කලින් කුරුල්ලන් විසින් කා දමනු ලැබූ පණු වර්ග බෝවී වගා විනාශ කිරීම යි. එවිට චීනයට සිදු වුයේ ඕස්ට්‍රේලියාවෙන් ගේ කුරුල්ලන් ආනයනය කර නැවත බෝ කිරීමට යි. ඒ නස්පැත්තිය වුණේ කොමියුනිස්ට් නිලධාරී සහෝදරවරුන්ගේ බොරු සංඛ්‍යා ලේඛන හේතුවෙනි.
රජයේ නිලධාරීන්ගේ සංඛ්‍යා ලේඛන විස්වාස කර සහල් මාෆියාවෙන් සැඟවූ වී තොග සොයන්නට ගියොත් මාලිමා ආණ්ඩුවටත් වන්නට ඉඩ තියෙන්නේ ගේ කුරුල්ලන් වඳ කර ධාන්‍ය අස්වනු රැක ගැනීමට ගිය චීන කොමියුනිස්ට් නායකයින් මුහුණ දුන් අත් දැකීමට සමාන තත්ත්වයකට මුහුණ දීමට විය හැකි ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජාසන කතාවේ දී සහල් වෙළෙඳපොළේ විකෘතියක් ඇතැයි කීවේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කරන යථාර්ථය වෙළෙඳපොළේ පිළිබිඹු නොවන බව කියමිනි. එසේ වුවත්, දැන් අපට පෙනෙන්නේ විකෘතිය ඇත්තේ වෙළෙඳපොළේ නොව රජයේ සංඛ්‍යා ලේඛනවල බව යි. ඒවායේ තිබෙන වරද ද බරපතළ ය.
අනෙක් අතට අපට පෙනෙන්නේ වෙළෙඳපොළ හොඳින් ක්‍රියාකර ඇති බව යි. එපමණක් නොවේ. මෙරට වී නිෂ්පාදනයේ විශාල කඩා වැටීමක් ඇති බවත්, ඉඩම් හෙක්ටෙයාර් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් වගාවෙන් ඉවත්ව ඇති බවත්, අපට හෙළිදරව් කළේ වෙළෙඳපොළ යාන්ත්‍රණය මගින් ය.
තවත් පැත්තකින් හෙළිදරව් වී ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින දුෂිත සහ අකාර්යක්ෂම තත්ත්වය යි. මේ සියල්ල හෙළි වුයේ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය නිසා නොව වෙළෙඳපොළ මගින් යථාර්ථය හෙළිදරව් කිරීම නිසා ය.
මාලිමා ආණ්ඩුවට බෑ
මේ තත්ත්වය යටතේ සහල් මාෆියාවෙන් සඟවන ලද වී තොග සොයා ගැනීම මාලිමා ආණ්ඩුවට කළ නොහැකි ය. එයට හේතුව නම් එවැනි සැඟවූ වී තොග නොතිබීම යි. සැඟවූ වී තොග කතාව මිත්‍යාවක් බව දැන්වත් පැහැදිලි විය යුතු ය. නැති දෙයක් සොයාගත නොහැකි ය. හරියට වේයන්ගොඩ නිධානය සෙව්වා වගේ ය.
මේ වනවිට ආණ්ඩුව ද මේ බව නොදන්නවා නොවේ . වී මෝල් වට ලා වී තොග සොයන්නට ඔවුන් ඉක්මන් නොවන්නේ ඒ නිසා විය යුතු ය .
තමන් කී දේ මිත්‍යාවක් බව පිළිගැනීම මාලිමාවේ ආර්ථික විද්‍යාඥයින්ට ලජ්ජාවට කරුණක් විය හැකි ය. එසේ වුවත්, මිත්‍යාවක් විස්වාස කොට ක්‍රියා කිරීමෙන් රටට විනාශයක් සිදුවිය හැකි අතර මාලිමා ආණ්ඩුවේ පැවැත්මට ද තර්ජනයක් වෙයි. තෝරාගත යුතු වන්නේ හානි අතරින් අඩු හානිය යි.
රාජ්‍ය බලයට වඩා වෙළෙඳපොළ මිල යාන්ත්‍රනය බලවත් බව දැන්වත් පැහැදිලි විය යුතු ය. එයට හේතුව යථාර්ථය නියෝජනය වන්නේ රජයේ මැදිහත්වීම් තුළින් නොව වෙළෙඳපොළ මිල යාන්ත්‍රණය මගින් වීම යි. එනිසා රජයේ පාලන මිල මේ වනවිට භුමියේ ක්‍රියාත්මක වන්නේ නැත. සහල් අලෙවි වන්නේ පාලන මිලට වඩා වැඩි මිලකට ය. ගොවීන්ගේ වී දැන් මිල දී ගන්නේ රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට ය. මහපොළොවේ යථාර්ථය එය යි.
නුතන ආර්ථික විද්‍යාවේ පුරෝගාමියා ලෙස සැලකෙන් ඇඩම් ස්මිත් වෙළෙඳපොළේ ‘අදෘශ්‍යමාන හස්තය’ (Invisible Hand ) ලෙස හඳුන්වන ලද්දේ මෙය යි.
ක්‍රියාත්මක කළ නොහැකි නීති පැනවීමෙන් වැළකීම ආණ්ඩුකරණයේ ප්‍රධාන මුලධර්මයකි. මාලිමා ආණ්ඩුව එම පාඩම නැවත ඉගෙනගත යුතු නැත. ගොටාභය රාජපක්ෂ ආණ්ඩුව “ගැසට් රිවස් කළ ” ඉතිහාසය සිහියට නගා ගැනීම ප්‍රමාණවත් ය.
එසේ නම් මෙම දුෂිත සහ අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රනය වෙළෙඳපොළට මැදිහත් කිරීමෙන් රටට සෙතක් විය හැකිද?
ජනාධිපතිතුමනි, “පොඩ්ඩක් කල්පනා කරලා බලන්න “
සී ජේ අමරතුංග – yukthiya.lk