නියෝජනය සහ විමධ්‍යගත කිරීම අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

සිය මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිපුරම අවධානය යොමුකර තිබුණේ ආර්ථිකය සහ විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම සම්බන්ධයෙනි. පසුගිය ආණ්ඩුව IMF සමඟ කොන්දේසිවලට එකඟ වූ අතර, ඒවායින් ජනතාවට සිදුවන බලපෑම නොසළකා මූල්‍ය ඉලක්ක සපුරාලීමට ප්‍රමුඛත්වය ලබාදුන්නේය. දැන් වත්මන් ජනාධිපතිවරයා මුහුණදෙන ප්‍රශ්නය එයයි. රටේ දිශානතිය වෙනස් කිරීමට අපහසු තරම් දුරදිග ගොස් ඇති බැවින්, එම ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යෑම හැර වෙනත් විකල්පයක් රජයට නොමැති බව ජනාධිපතිවරයා පිළිගත්තේය. ඔහු පැවැසුවේ, “සාකච්ඡා දැනටමත් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ පවත්වා තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ පැවැතුණු ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කළහොත් අපට ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට නොහැකි වනු ඇත” යනුවෙනි.

පසුගිය ආණ්ඩුව රටට ශක්තිමත් ලෙස පළඳවා ඇති ආවරණය නිසා, IMF ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කර, වඩාත් දුප්පතුන්ට හිතකර ප්‍රතිඵලයක් ලබාගැනීමට මැතිවරණ කාලයේ ලබාදුන් ප්‍රතිඥාවන් අනුගමනය කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකිය. පසුගිය දෙවසර තුළ ජනතාවගේ දුෂ්කරතා වැඩිකරමින්, දරිද්‍රතා මට්ටම දෙගුණයකින් වැඩි වී ඇති අතර, ආර්ථික ස්ථාවරත්වයට හානියක් නොවන පරිදි IMF ගිවිසුම ඉදිරියට ගෙනයෑමට රජයට අවශ්‍ය වේ. ආර්ථිකය අතින් රට දැඩි අසීරුතාවයකට පත්ව තිබීමත්, ආණ්ඩුව අලුත් වීමත්, මධ්‍යගතව තීරණ ගැනීමට රජය යොමුකරනු ඇත. ආණ්ඩුවේ ප්‍රධාන කණ්ඩායම ජවිපෙ කණ්ඩායමින් සමන්විත වීම, මෙම මධ්‍යගත ප්‍රවනතාවට හේතුවන මාක්ස්වාදී නැඹුරුව වනු ඇත.

ඒ අනුව වාර්ගිකත්වයට, ආගමට හෝ ප්‍රදේශයට ඉඩක් ලබාදෙනවාට වඩා, මධ්‍යගත දෘෂ්ටිකෝණයකින් ආර්ථික ප්‍රශ්න විසඳීමට රජය ප්‍රමුඛත්වය ලබාදෙනු ඇත. මෙම මධ්‍යගත සහ ඒකාකාරී ලක්‍ෂණය ආණ්ඩුවේ ඇමැතිවරුන් තෝරාගැනීමේදී දැකගත හැකි විය. ජාතිකත්වය, ආගම හෝ ප්‍රදේශය වැනි අනෙකුත් ගුණාංගවලට වඩා, පක්ෂයේ සාමාජිකත්වය සඳහා ආණ්ඩුව වැඩි වැදගත්කමක් ලබා දී ඇත. සැබැවින් ම ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ ජාතිවාදයෙන් තොර සමාජයක් බිහි කිරීමටය. “අපේ රට බෙදන ජාතිවාදී දේශපාලනයක් යළි හිස එසවීමට අපි ඉඩ නොතබන බවට පූර්ණ වගකීමෙන් ඔබට සහතික වෙමු. ඒ හා සමානව, කිසිදු ආකාරයක ආගමික අන්තවාදයකට මුල්බැස ගැනීමට ඉඩ නොදෙනු ඇත. වාර්ගික ගැටුම් නිසා අපගේ රට අපමණ දුක් විඳ තිබේ” යැයි ඔහු පැවැසීය. එහෙත් පවතින අන්තරාය වන්නේ, විවිධ ජනවර්ග, ආගම් සහ විවිධ ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් මුහුණදිය හැකි විශේෂිත ගැටලු සැළකිල්ලට ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිපත්ති ගලපා ගැනීමට අපොහොසත් වීමයි.

 

මන්නාරමේ හෙළිදරව් කිරීම්

උතුරේ මන්නාරම ප්‍රදේශයේ මේ මොහොතේ ජනතාව වැඩියෙන්ම අවධානය යොමුකරන, ප්‍රමුඛතා පදනමක් මත ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ආර්ථික ප්‍රශ්නය යි. පසුගිය සතියේ මන්නාරමේ පැවැති සාකච්ඡාවක දී අවධානයට ලක්වූ කරුණු තුනක් වන්නේ, දැනට යෝජනා මට්ටමේ පවතින අදානි සමූහ ව්‍යාපාරයේ සුළං බල ව්‍යාපෘතිය, ඕස්ට්‍රේලියාවේ සමාගමක් විසින් ඛනිජ ද්‍රව්‍ය සඳහා වැලි ගොඩදැමීමේ ව්‍යාපෘතිය සහ පුත්තලම-මන්නාරම මාර්ගය වැඩිදියුණු කිරීම ය. මෙම රැස්වීමේදී සිවිල් සමාජ සාමාජිකයින් ස්ථාවරය වූයේ අදානි සහ ඕස්ට්‍රේලියානු ව්‍යාපෘති දෙකම ප්‍රදේශයේ ජනතාවට හානිකර බවත්, මුහුදු මට්ටම ඉහළ යෑමත් සමඟ ජනතාවගේ පැවැත්මට පවා ඒවායින් තර්ජනයක් වන බවත්ය. සුළං බල ව්‍යාපෘතිය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සහ ධීවර කර්මාන්තයටද බලපෑම් එල්ල වන බව ද ඔවුහු අවධාරණය කළහ. ව්‍යාපෘති දෙකේ දිගුකාලීන ඍණාත්මක ප්‍රතිඵල තක්සේරු කිරීම සඳහා විදේශීය වෘත්තිකයන් සමග ස්වාධීන පාරිසරික තක්සේරුවක් සිදුකරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

ප්‍රදේශයේ ජනතාවගේ අවම දායකත්වයෙන්, මෙම ව්‍යාපෘති සඳහා රජය විසින් බලපත්‍ර ලබාදී තිබීම ගැන ජනතාව තුළ කලකිරීමක් ඇත. අදානි සහ ඕස්ට්‍රේලියානු ව්‍යාපෘති දෙකම ප්‍රදේශයේ ජනතාවට හානිකර විය හැකි අතර, දිගු කාලීනව ඔවුන්ගේ ධීවර හා කෘෂිකාර්මික විභවයන් අනතුරේ හෙළනු ලැබේ. මෙම ව්‍යාපෘති හේතුවෙන් තම ඉඩම් ජලයෙන් යටවන බව ඔවුහු පවසති. එහෙත් ඉදිකිරීම් සහ කැණීම් සඳහා බලපත්‍ර ලබාදෙන්නේ කොළඹින් නිසා මෙය නතර කිරීමට ඔවුනට කළ හැකි දෙයක් නැත. මෙම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ, ඉහළ මට්ටමේ රැකියා අවස්ථා සහ ලාභය මන්නාරමෙන් පිටතට යන අතර, ව්‍යාපෘතිවල පාරිසරික පිරිවැය සමඟ තමන් පීඩාවට පත්වන බව ඔවුන්ට හැඟේ. එමනිසා විපතට පත්වන ජනතාවගේ දායකත්වයක් නොමැතිව කොළඹින් අනුමැතිය ලබාදීම ගැන ඔවුන් තුළ පවතින්නේ කලකිරීමකි.

මීට අමතරව, යුද්ධය පැවති කාලසීමාව තුළ හමුදාව විසින් අත්පත් කරගෙන ඇති සහ ඔවුන් විසින් තවදුරටත් රඳවාගෙන සිටින ඉඩම්, සම්පූර්ණ ගම්මාන පිළිබඳ දිගුකාලීන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවට සහභාගී වූවෝ කතාකළහ. මෙම ගම්මානවල ජනතාව, දැනට හමුදා කඳවුරක් ලෙස පවත්වාගෙන යන සිය ගම්මානයෙන් පිටත ජීවත් වෙති. ඔවුන් ගම්මානවලින් පිටත තාවකාලික නිවාසවල ජීවත් වන අතර, ඔවුන්ගේ නිවෙස් අල්ලාගෙන සිටින හමුදා නිලධාරීන් ඔවුනට දැකගත හැකිය. යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගත වී ඇතත්, පූර්ණ හෝ අර්ධ වශයෙන් හමුදා ආක්‍රමණයක් ලෙස එවැනි ගම්මාන කිහිපයක් තිබේ. නව ආණ්ඩුව මේ ගැටලුවලට පිළිතුරු සපයන බවට පොරොන්දු වී ඇත. එහෙත් ඒවාට වඩා හොඳින් මුහුණදීමට නම්, මේ ගැටලු නිවැරදිව ප්‍රකාශ කළ හැකි නියෝජිතයන් අමාත්‍ය මණ්ඩලය තුළම සිටිය යුතුය.

 

අභ්‍යන්තර නියෝජනය

අමාත්‍ය මණ්ඩලය තෝරාගැනීමේදී ජාතික ජන බලවේගය ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂයට හිතවත් කාඩර්වරුන් ලෙස කටයුතු කළ සාමාජිකයන්ටය. ඔවුන් තම සාමාජිකයන් සමඟ රට පාලනය කරන අතර, සම්මුතියක් අවශ්‍ය වෙනත් පක්ෂ සමඟ සභාගයක් ඇතිකර නොගන්නා බව පක්ෂයේ ස්ථාවරය වී තිබේ. කැබිනට් මණ්ඩලයේ සිටින්නේ, අත්දැකීම් අඩු, එහෙත් අවශ්‍ය අධ්‍යයන සහ කළමනාකරණ සුදුසුකම් පවතින අයයි. කැබිනට් මණ්ඩලයේ හොඳ නමක් ඇති බොහෝ විද්වතුන් සහ වෛද්‍යවරුන් සිටී. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව වැනි බහුවිධ සමාජයක, වාර්ගිකත්වය සහ ආගම විශාල ගැටුම් නිර්මාණය කිරීමට දායක වී ඇති අතර, සමබර නියෝජනයක වැදගත්කම මතක තබාගත යුතුය. බොහෝවිට, රට මුහුණදෙන ප්‍රශ්නය විසඳීමට වඩා, එය නිර්මාණය කිරීමට උගතුන් දායක වී ඇති බව අමතක කළ නොහැක.

21 දෙනකුගෙන් යුත් ජාතික ජන බලවේගයේ කැබිනට් මණ්ඩලය සාපේක්ෂව කුඩා වීම පැසසුමට ලක්ව ඇත. පෙර පැවැති ආණ්ඩුවල එම සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වූ අතර, එමඟින් පොදු කාර්ය පිරිවැය සඳහා අධික වියදම් මෙන්ම අසංවිධානාත්මක සහ නොගැලපෙන පාලනයක් නිර්මාණය විය. අමාත්‍යවරුන් සංඛ්‍යාව සීමාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ආණ්ඩුව තම කැබිනට් මණ්ඩලයේ නියෝජිතත්වය තහවුරු කිරීමට අඩු ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව පෙනේ. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයකු අමාත්‍ය මණ්ඩලයේ නොමැතිවීම ඉස්මතු වී ඇති අතර, එය එම ප්‍රජාවගේ සිත් වේදනාවට හේතු වී තිබේ. ඔවුන් සඳහන් කර ඇත්තේ, මෙවැනි තත්ත්වයක් ඇති වූ පළමු අවස්ථාව මෙය බවයි. කැබිනට් මණ්ඩලයේ දෙමළ ඇමැතිවරුන් දෙදෙනකු සිටියි. කෙසේවෙතත් ඔවුන් දෙදෙනාම උතුරට සහ නැගෙනහිරට පිටතින් පැමිණි අය වුවත් ඔවුන් එහි කටයුතු කළ හැකිය.

පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ සහ මුස්ලිම් ජනතාව බහුතරයක් සිටින උතුර සහ නැගෙනහිර ඇතුළු රටේ සෑම ප්‍රදේශයකම ජයග්‍රහණය කළේ ජාතික ජන බලවේගයයි. ජාතික දේශපාලන පක්ෂයකට පළමු වතාවට උතුරේ යාපනයෙන් පවා ජයග්‍රහණය ලබාගැනීමට හැකියාව ලැබිණි. ඒ නිසා, සියලුම වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, එනයින් ආණ්ඩුවේ ඉදිරි ගමන්මග පිළිබඳ වැදගත්ම සාකච්ඡා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය තුළ එම ප්‍රජාවන් නියෝජනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ බහුවිධ සමාජය තුළ, දැනට මන්නාරම මෙන් නොසළකා හැරිය හැකි එම ප්‍රජාවන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන් නියෝජනය කිරීමට හැකි වන පරිදි සියලුම ප්‍රජාවන් කැබිනට් මණ්ඩලයේ නියෝජනය කිරීම ඉතා වැදගත් වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට, ශ්‍රී ලංකාව සඳහා නව වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට අවස්ථාවක් තිබේ. එය තුළ, සියල්ලන්ගේ ආර්ථික අවශ්‍යතා ඇතුළත් කිරීම සහ ඒවා නියෝජනය කිරීමේ අවශ්‍යතාව තුලනය කළ යුතුය. මෙම අභියෝගවලට ක්‍රියාකාරීව මුහුණදීමෙන් වඩාත් සාධාරණ සහ සහජීවනය සහිත සමාජයක් සඳහා අඩිතාලම දැමිය හැකිය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග