මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු බේරා ගත් බව ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 24 දෙනෙකු සිටිති. ඔවුන් ඉක්මනින් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සම්බන්ධීකරණය කිරීමට නියමිත බව අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඊයේ එනම් 25 වනදා මෙම ශ්‍රී ලාංකිකයන් 32 දෙනා Mae Sot දේශසීමාව හරහා ආරක්ෂිතව රැගෙන විත් ඇති අතර තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ඔවුන්ව භාර ගෙන තිබේ. ඔවුන් මේ වන විට තායිලන්තයේ තක් පළාතේ සිටින අතර ඔවුන්ගේ සුබසාධන අවශ්‍යතා සපයා දෙමින් පවතින බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරු මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කළ අතර ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් නියෝජනය කළ මාලිගාවිල අස්සජි හිමිපාණන් ද මෙම ක්‍රියාවලියට පහසුකම් දී ඇත. පසුගිය සතියේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මියන්මාර සහ තායිලන්ත රජයන් වෙත කඩිනමින් කරුණු ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මේ ආකාරයටම මින් පෙර 2024 අප්‍රේල් සහ 2024 අගෝස්තු මාසවලදී මේ ආකාරයටම ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු බේරා ගන්නා ලදී.