අගලවත්ත පොලීසිය වතු කම්කරුවෙකුට පහර දෙයි. – නිවස කඩා දමන බවටත් තර්ජනය කරයි.

පිඹුරුවත්ත අගලවත්ත පදිංචි විජේ කුමාර් විජේ ප්‍රසාන්ත් 23 හැවිරිදි එක් දරු පියෙකි. ඔහු විසින් සිය දෙමාපියන් විසින් වගා කටයතු සිදුකරන වගාව අසළ කුඩාවට ස්ථීර නිවසක් තනාගෙන ඇත. ඔහු මාස තුනක් සිට එහි පදිංචි වී සිටි ඇති අතර ඔහුගේ සේවය වතු අධිකරීන් විසින් අහිමි කර ඇත. ඉකුත් ඔක්තෝම්බර් මස 15 වන දා රාත්‍රීයේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් හා වත්තේ මුරකරු පැමිණ පැමිණිළි විභාගයකට පසු දින එනම් ඔක්තෝම්බර් 16 වනදා පැමිණෙන ලෙස දන්වා ඇත.

ඔහු පසු දින උදෑසන පොලිස් ස්ථානය වෙත ගියද එදින දහවල් 12 වනතුරු ඔහුගෙන් කිසිදු විමසීමක් සිදුකර නොමැති අතර පසුව ඔහුව එදින නැවත හරවා එවා ඇත. ඔහු නිවසට නැවත පැමිණෙන විට පොලිස් නිලධාරියෙකු හා වත්තේ මුරකරු ඔහුට අයත් නිවස මැනගෙන ගොස් ඇති අතර ඔහුට නැවත සවස 3.30ට අගලවත්ත පොලීසියට පැමිණෙන ලෙස දන්වමින් තුණ්ඩුවක් ලබා දී ගොස් ඇත. ඉදින සවස ඔහු නැවත පොලිස් ස්ථානය වෙත ගියද වතු අධිකාරිවරයා හෝ නිලධරියෙක් නොසිට ඇති අතර එම නිසාවෙන් ඔහුට දැනුම් දුන් පරිදි නැවත ඔක්තෝම්බර් 21 වන දා උදෑසන පොලිස් ස්ථානයට ඔහු ගොස් ඇත. එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියා කරුණු විමසා ඇති අතර පසුව ඔහුට නිවසින් ඉවත්වන ලෙසත් නිවස කඩා දමන ලෙසත් තර්ජනය කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැවසීමට උත්සහ කළ අවස්ථාවේ ඔහුව උසාවි දමනවා යැයි ද තර්ජනය කර ඇත.

පසුව වත්තේ අයිතිකරුවන් සහ මුරකරු පැමිණ පසු නැවත දෙපාර්ශවය තබා කරුණු විමසා ඇති අතර වත්තේ මුරකරු එම අවස්ථාවේ ඔහු පදිංචි වී නොමැති බව පවසා ඇත. එම අවස්ථාවේ ප්‍රසාන්ත් පවසා ඇත්තේ තමා මස තුනක සිට එහි පදිංචි වී සිටින බවයි. එවිට පොලිස් නිලධාරියා විසින් ඔහුගේ කනට පහරක් එල්ල කර ඇති අතර පසුව ඔහුව සිරමැදිරිය අසළ වාඩි කරවා ඇත. එම අවස්තාවේ ඔහුට ක්ලාන්ත ගතියකුත් ඔහුගේ කන අභ්‍යන්තරයෙන් ශබ්දයකුත් පැමිණ ඇත. එම අවස්තාවේ මොහුගේ ඥාතියෙකු මෙම ගැටළුව විසඳා ගැනීමට පොලිසීය සමඟ සාකච්ඡා කර ඇත. පොලිස් නිලධාරියා විසින් ඔහුගේ නම හා ලිපිනය අසා යම් සටහනක් සඳහන් කරගෙන ඇති අතර එම සටහන සඳහා ඔහුගේ අත්සන ගෙන ඇත. නමුත් මොහුට සිංහල කියවීමට හා ලිවීමට නොහැකි අයෙක් වන අතර එම සටහන පිළිබඳ කිසිදු පැහැදිලී කිරීමක් ද එම අවස්තාවේ සිදු වී නොමැත.

පසුව ඔහුට දැනුන සිරුරේ අපහසුතාවය මත ඔහු පිඹුර රෝහලට ඇතුළත් වී ඇති අතර පසුව ඔහුව නාගොඩ ‍රෝහල වෙත මාරු කරවා ඇත. එහිදි අධිකරණ වෛද්‍යවරයා විසින් මොහුව පරීක්ෂා කර ඇත. මේ වන විට වත්තේ මුරකරු විසින් මොහුට විරුද්ධව ව්‍යාජ පැමිණිල්ලක් සිදු කර ඇති අතර එහි සඳහන්ව ඇත්තේ ප්‍රසාන්ත් යන අය වත්තේ මුරකරුට පහර දුන් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් පොලිස් කොමිෂන් සභාවට, මානව හිමිකම් කොමිසම වෙත හා පොලිස්පති වෙත  පැමිණිළි කර ඇත.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය මානව හිමිකම් මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව මතුගම ප්‍රදේශය තුළ ඇතිවන ගැටළු සඳහා මතුගම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.

මතුගම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය

ඉන්දික ගුණවර්ධන – 0774718109

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය

0112-669100

www.right2lifelanka.lk

Social Sharing
නවතම පුවත්