“ගැහැනු අපි එක මිටට ” හා ස්ත්‍රී නියෝජනය

NPPs Policy Statement and Women's Representation

මැතිවරණයකින් තේරීපත් වන නියෝජිතයින් ඒ ඒ ප්‍රජාවන් ට අනුපාතික වෙනව නම්  අපිට  එය උසස් නියෝජනයක් ලෙස සලකන්න පුලුවන්. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ වගේම එහෙම කරන්න අමාරුයි. ඒනිසා අපි මේකට එක එක විකල්ප දානවා. Quota ක්‍රමය , ජාතික ලැයිස්තුව ආදියෙන් වෙන්නෙ මේක.

මේ ප්‍රජාවන් කියන කාරණයේදී අපිට සමාජයක් දිහා ගත්තම විවිධ කොටස් හදුනාගත්තත් මූලිකම බෙදුම් රේඛාව ලෙස  ලිංගිකත්වය (Male / Female / Intersex) සලකන්න පුලුවන්. මෙහි ප්‍රධාන කුලක දෙක වන්නේ පුරුෂ සහ ස්ත්‍රී යන කුලක දෙකයි.

සාමාන්‍යයෙන් අපගේ පැවති නියෝජනය තුල අති විශාල පුරුෂ නියෝජනයක් තිබුනද 52% ක් වන ලංකාවේ කාන්තා ප්‍රජාව පාර්ලිමේන්තුවේදී නියෝජනය කරන්න සැලකිය යුතු කාන්තා නියෝජනයක් තිබුනේ නැහැ. ( පුරුෂ නියෝජනයේ වගේම තිබුන කාන්තා නියෝජනයෙත් බහුතරයක් ගුණාත්මක උනේ නෑ ) මේක හුදෙක් අංකමය දේකට වඩා, ජන ගහනයෙන් අඩක් නියෝජනය වන පාර්ශවයකට තමන්ටම සුවිශේෂී වූ කරුණු ගැන නීති සම්පාදනය කරන්න නිසි නියෝජනයක් නැතිවීම පිළිබදව තත්වයක්. මොකද කාන්තාවකට කාන්තාවක් වීම නිසාම මුහුන දෙන්න වෙන ආර්ථික, සමාජයීය , දේශපාලනික සහ සංස්කෘතික ගැටළු , අභියෝග තියනවා.

ලංකාවේ වර්ථමාන දේශපාලන වෙනසට මගකියපු සමාජ පෙරළිය ඇතිකල 2022 අරගලයේ සාර්ථකත්වය වෙනුවෙන් කාන්තාවගේ භූමිකාව ඉතා වැදගත් වූ බව කිව යුතුමයි. ප්‍රධාන සිදුවීම් ගතහොත් මාර්තු 31 මිරිහාන විරෝධයේදී දැඩි ජනතා ආකර්ශනයකට ලක් වූ සිය දරුවා වඩාගත් මවගේ ඡායාරූපයේ සිටම , පොලිසිය සමග උරෙන් උර ගැටුනු ක්‍රියාකාරීන් , ශිෂ්‍ය නායකත්වයන් , නීතිඥවරියන් ඇතුළු විවිධ ක්ශේස්ත්‍ර වල කාන්තාවන් සිය උපරිම දායකත්වයක් ඒ වෙනුවෙන් ලබාදුන්නා.

NPP ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මෙන්ම මැතිවරණ ව්‍යාපාරය තුලද ඓතිහාසික කාර්‍යභාරයක් කාන්තාවන් විසින් ඉටු කලා. මෙම නව රැල්ල නිර්මාණය කරවීමට ඔවුන්ගේ “ගැහැනු අපි එක මිටට ” ව්‍යාපාරය හේතු උනා කිවහොත් එය වැරදි නැහැ. NPP ය අද මේ තත්වයේ පැවතීම වෙනුවෙන් එම කාන්තා ව්‍යාපාරය විශාල උත්තේජනයක් ලබාදුන් බවද නොරහසක්.

එවන් තත්වයක් තුල NPP ය සිය මහ මැතිවරණ අපේක්ෂකයින් 259 න් 32ක් ( එනම් මුළු අපේක්ෂකයින් ගනනින් 12.36%) ක් සදහා කාන්තාවන් ඇතුලත් කර තිබුනා.

ඉන් කාන්තා මන්ත්‍රී වරුන් 19 ක් තේරී පත්වූ අතර, එය ලබාදුන් නාමයෝජනා සංක්‍යාවෙන් 59% ක ප්‍රතිශතයක්. තවද ජාතික ලැයිස්තු අවස්ථා 18 න් ද  එක් කාන්තා මන්ත්‍රීවරියක් තේරී පත්ව තිබෙනවා ( 5.5%). ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව නිර්මාණය කිරීමටත් NPP ය ගත් ඉහත සාධනීය පියවර හේතු උනා.

මීට අමතරව අග්‍රාමාත්‍යධූරය , එක් කැබිනට් අමාත්‍යධුරය සමග අමාත්‍ය මණ්ඩලයේ කාන්තා නියෝජනය 02/22 ක් වනවා. එනම් 09.09% ක ප්‍රතිශතයක්. මෙහි සුවිශේෂීත්වය නම් මෙම දෙදෙනාම හුදෙක් කාන්තාවක් වීම නිසා නොව, කුසලතාවය අනුව එම තනතුරු වෙනුවෙන් වඩාත් සුදුසු වන්නේ මොවුන් බව අවිවාදයෙන්  පිලිගැනීමට සිදු වීමයි.

ඉහත කාරණා වලදී NPP ය ගත් පියවර යම් අයුරකින් සාධනීයයි.

තත්වය මෙසේ තිබියදී නියෝජ්‍ය අමාත්‍යධූර පිරිනැමීමේදී ඉහත වූ නිර්ණායකයන් සහ වගකීම් අමතක කර ඇති බවක් පෙනී යනවා. මෙය NPP ය මින් පෙර අනුගමනය කල ප්‍රතිපත්තීන් සමග යම් පරස්පරතාවයක් පෙන්නුම් කරනවා. නියෝජ්‍ය අමාත්‍යවරු 29 ක් පත් කර ඇති අතර එහි කිසිදු කාන්තාවක් ඇතුලත් කර තිබුනේ නැහැ. ඒ ඒ විෂය පථය වෙනුවෙන් එම අමාත්‍යවරුන්ට ඇති කුසලතාවය පිළිබදව කිසිදු තර්කයක් නැතත් ඊට සමාන කුසලතාවයෙන් යුත් මන්ත්‍රීවරියන් මාලිමාව තුල ඉතිරිව නැතැයි  කිසිවකුට තර්ක කල නොහැකියි. මෙමගින් 52% ක ජනතාවක් මුහුණ දෙන සුවිශේෂී තත්වයන් පිළිබදව නිසි කියවීමක් ලබාගැනීමට තිබූ අවස්ථාවක් NPP ය අහිමි කරගන්නවා. එය රාජ්‍යකරණය කෙරෙහි සුබවාදී තත්වයක් ඇති කරන්නේ නැහැ.

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයනයේ 77 වන පිටුවෙහි මෙසේ සදහන් වනවා “දේශපාලන ව්‍යුහයන් හි ස්ත්‍රී නියෝජනය අවම වශයෙන් 50% දක්වා ගෙන ඒමට අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති ක්‍රමිකව හදුන්වා දීම”  – ඒ අනුව මෙම පත් කිරීම් එම ක්‍රමික වැඩපිලිවෙලේ කොටසක් ලෙස නම් ගම්‍ය වන්නේ නැහැ.

NPP යේ කාන්තා නියෝජිත වරියන් මෙම තනතුරු බලාපොරොත්තු නොවනවා විය හැකියි , NPP යේ ක්‍රියාවලිය සාමූහික එකක් විය හැකියි. නමුත් කාන්තා නියෝජනය, දේශපාලනය වෙනුවෙන් කාන්තාව සක්‍රියව දායක කරගැනීම යනු අප විශ්වාස කරන රට නිර්මාණය කරගැනීම වෙනුවෙන් 52%ක ජනගහනයක් සක්‍රියව දායක කරගැනීමක්. මෙය NPP යෙහි යුතුකමක් සේම වගකීමක් ද වනවා. එමෙන්ම සිය දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් එවැනි කැපවීමක් කල පිරිසක නියෝජනය සනාථ කිරීම දේශපාලනික වශයෙන්ද ඔවුන්ට ඉතා වැදගත් වනු ඇතියි.

ජනතාවගේ අනෙකුත් අභිලාශයන් අතරම, දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරීමේ වගකීමද ජනතාව විසින් මාලිමාවට පවරා තිබෙනවා.

  • අනුරුද්ධ බංඩාර

Social Sharing
අවකාශය නවතම