කොට්ටාව – ගල්කිස්ස 255 මාර්ග අංකය යටතේ ධාවනය වන බස් රථයක අද උදෑසන එහි ගමන්ගත් මගීයෙකුට එම බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් පහර දීමේ පුවතක් අද දින සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. ඒ අනුව කොට්ටාව – ගල්කිස්ස 255 මාර්ග අංකය යටතේ ධාවනය වන ND3993 නැමැති බස් රථය අධික වේලාවක් පිළියන්දල නගරයේ නවතා සෙනඟ රැස් කිරීම සඳහා නවතා තැබීම නිසා උරණ වූ මගීන් මේ සම්බන්ධයෙන් කොන්දොස්තර මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු “යන්න හදිසි උන් බැහැලා පලයං” යැයි පවසා ඇති අතර එම ප්‍රකාශයට එරෙහිව කොන්දොස්තරවරයා අසළට ගොස් විමසු මගීයෙකුට මෙළෙස පහර දී ඇත.
ඒ අනුව මෙම මඟියා විසින් ඔවුන් විසින් දැනමටත් සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් කොන්දොස්තරවරයාට පැමිණිළි කර ඇති අතර ඒ අනුව බස් රථය ඉතා දිගු වේලාවක් නවතා ගෙන සිටීම,
කිසිඳු මගියෙකුට වලංගු ප්‍රවේශපත්‍රයක් නිකුත් නොකිරීම, බස් රථයේ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු හදිසි ඇමතුම් අංකය සහ නීති රීති ඇතුළත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කර ඇති ස්ටිකරය බස් රථයේ අලවා නොතිබීම, රියදුරුගේ නම, කොන්දොස්තරගේ නම සහ ලියාපදිංචි අංක ඇතුළත් දැන්වීම අළවා නොතිබීම, බස් රථයේ අංකය රථය ඇතුළත සියල්ලන්ටම පෙනෙන සේ ප්‍රදර්ශනය නොකිරීම, බස් රථයේ ගාස්තු චක්‍රය ප්‍රදර්ශනය නොකිරීම, මගීන් අපහසුතාවයට පත්කිරීම හා තර්ජනය කිරීම යන ආදි වශයෙන් පැමිණිළි සිදුකර ඇත. පසුව බස් රථයේ රියදුරු පැමිණ බසය පණගන්වා ධාවනය කර ඇත.
පසුව ගල්කිස්ස දක්වා ධාවනය කළ යුතු බස් රථය කටුබැද්ද හංදියෙන් නවතා සියළු මගීන් බස් රථයෙන් බස්වා කොන්දොස්තරව ප්‍රශ්න කළ මඟීන් කවුරුන්දැයි අසමින් බස් රථයේ රියදුරු, තවත් සහායකයෙක් සහ ඔහුගේම තවත් බසයක (ND5997) රියදුරු සහ කොන්දොස්තරවරයා සමඟ සහයට තවත් පිරිසක් ද රැගෙනවිත් මෙම මගියාහට නොනවත්වා පහර දී ඇති අතර පහරකෑම් හමුවේ හිසට, ගෙල පෙදසට සහ අතට තුවාල සිදු වී ඇත.
“මේ බස් දෙකම මගේ. උඹට පුළුවන් ඕන තැනක ගිහින් පැමිණිලි දාලා පුලුවන් දෙයක් කරපං..” යැයි කියමින් බස් රථ දෙකේම අයිතිකරු ලෙස සඳහන් කළ එම මගීයා පැමිණි බස් රථයේ රියදුරු ඔහුට පහර දෙනවිට තවත් අයෙක් පැමිණිලි කළහොත් ඔහුව මරණ බවට තර්ජනය කරමින් පහර දී ඇත. පහරදීම් වලින් පසුවද ඔහු පසුපස බස් රථ දෙක රැගෙන පැමිණෙමින් තර්ජනය කර ඇති අතර වෙනත් බස් රථයකට අත දමා නවත්වන්නට උත්සාහ කළවිට එයද වළක්වා ඇත.
පසුව මොහු විසින් බස් රථයේ සිටි තවත් පුද්ගලයෙකු සමඟ ගල්කිස්ස පොලීසිය වෙත ගොස් පැමිණිළි කර ඇති අතර පැමිණිලි කිරීමෙන් පසු මේ වනවිට ඔහුගේ හිසට සිදුකළ පහරදීම් හේතුවෙන් ඇතිවුණු තුවාල සඳහා වැඩිදුර ප්‍රතිකාර කිරීමට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇත.