බණ්ඩාරගම රජයේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය රජයේ සේවකයකු වෛද්‍යවරයාගෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කොට, ඖෂධ ලියූ තුණ්ඩුව ද පෑන් ඉරිවලින් කපා ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ වෛද්‍යවරයෙක් සම්බන්ධ පුවතක් බණ්ඩාරගම රෝහලෙන් වාර්තා වේ. ඒ අනුව අධික සෙම රෝගයක් වැළදී තිබීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බණ්ඩාරගම රජයේ රෝහලට ගිය නුගේගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවකයකු ඉකුත් 18 දා මෙම සිද්ධියට මුහුණ පා තිබේ. ඔහු සෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම රෝහලට ගොස් ඇති අතර පැයක පමණ කාලයක් පෝලිමේ රැඳී සිට වෛද්‍යවරයා හමුවට ගොස් තිබේ.
එහිදී වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කරන අවස්ථාවේදී අදාල රෝගියා විසින් තම සේවා ස්ථානයට ලබාදීම සඳහා වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ වෛද්‍යවරයා කෝපාවිෂ්ට වී “මෙහේ වෛද්‍ය වාර්තා දෙන්නේ නෑ. වෛද්‍ය වාර්තා ඕනෑනම් පෞද්ගලික ස්ථානයකින් සල්ලි දීලා ගන්න” යනුවෙන් පවසා ඇත. එමෙන්ම බෙහෙත් ලියන ලද තුණ්ඩුව ද පෑන් ඉරිවලින් කපා ප්‍රතිකාර ලබා නොදී රෝගියාව එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
වෛද්‍ය වාර්තා අවශ්‍ය අය සඳහා තමන් පරීක්ෂා කරන වෛද්‍යවරයාට එම අවස්ථාවේදීම දැනුම් දෙන ලෙසට සඳහන් කරන ලද දැන්වීමක්ද එම රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රදර්ශනය කර තිබෙන අතර එවැනි පසුබිමක මෙවන් සිදුවීමක් සිදුවීම පුදුමසහගතය.
මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම රජයේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා නිලධාරී ජේ.පී. සුබසිංහ මහතාගෙන් කළ විමසීමකදී එම මහතා සඳහන් කර ඇත්තේ රෝහලට එන කිසිම රෝගියෙකුට වෛද්‍ය වාර්තා පිටින් ගන්න ලෙස රෝහලේ වෛද්‍යවරුන්ට කීමට නොහැකි බවත් එවැනි සිදුවීමක් සිදුවී ඇත්නම් එය වැරදි කාර්‍යක් බවත් වෛද්‍යවරයා පවසා ඇත. නමුත් රෝගීන් වැඩි අවස්ථාවලදී නම් වෙනත් කවුළුවකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙස පැවසීමට හැකි බවත් නමුත් පිටින් වෛද්‍ය වාර්තා ගන්නා ලෙස රෝගීන්ට බලපෑම් කරන්න කළ නොහැකි බවත් එමෙන්ම ඇතැම් අය ව්‍යාජ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට උත්සහා කරන බවත් කෙසේ හෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවත් වැඩිදුරටත් පවසා ඇත.