දේශබන්දු ට එරෙහි අගමැති හරිනිගේ පෙත්සම කැඳවීමට නියෝග!

The Fundamental Rights Petition filed by Prime Minister Harini Gonu against Deshabandu Tennakoon

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේදී පසුගිය වසරේ පැවැත් වූ සාමකාමී කාන්තා විරෝධතාවකට පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංගණය කළැයි කියමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 30 වැනි දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) දින නියම කර තිබේ.

යසන්ත කෝදාගොඩ, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම ඊයේ  (22) සලකා බැලිණි.

මෙම පෙත්සම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටහච්චි ඇතුළු ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් විසින් ගොනු කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ එවක වැඩබලන පොලිස්පතිවරයාවූ දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම, මිරිහාන පොලිස්ථානාධිපතිවරු, නුගේගොඩ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසකි.

කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවති 2023 දෙසැම්බර් 04 වැනි දා කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියට රැස්වී තමන් ඇතුළු පිරිසක් සාමකාමී විරෝධතාවක් පැවැත්වූ බව පෙත්සමෙන් පෙන්වාදී ඇත. එහි දැක්වුණේ, ඒ අවස්ථාවේදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලීසිය ජල ප්‍රහාර එල්ල කර තමන්ගේ සාමකාමී විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කළ බවයි.

පොලිසියේ මෙම ක්‍රියාව හේතූවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරියන් ඊට සුදුසු වන්දියක් නියම කරන ලෙසද ඉල්ලා තිබේ.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කියා සිටියේ, සිද්ධියේදී අත්අඩංගුවට ගත් පිරිසකට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවැත්වෙන බවයි.

එම නඩුව ඉල්ලා අස්කර ගන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් කරුණු දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ගත යුතු බවයි.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ජනවාරි 30 වැනි දා යළි කැඳවීමට දින නියම කළේ ය.

newsfirst.lk
Social Sharing
අවකාශය නවතම