නීතිපතිගේ ස්ථාවරය සම්බන්ධව වැලිසර මහේස්ත්‍රාත් විමතිය පලකරයි.!

mahara prison mosque

මහර බන්ධනාගාරයේ රැදවියන් 11 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු ගොනුව වසා දැමීමට නීතිපතිවරයා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තම විමතිය පලකරණ බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා මේ සම්බන්ධව ඊයේ (22) මෙම නඩුව කැදවූ අවස්ථාවේ පවසා තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධව නිලධාරීන්ට එරෙහිව මාස තුනක් තුළ අධිචෝදනා ගොනුකරන බවට අභියාචානාධිකරණයේ පැවති නඩු විභාගයේ දී නීතිපතිවරයා විසින් පොරොන්දු වී තිබිය දී වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙ විභාග වන මෙම නඩුව වසා දැමීමට තීරණය කිරීම බරපතල ප්‍රශ්නයක් බව මිය ගිය රුදවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

Bodies of inmates of Mahara Prison

රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, අදාළ සිද්ධිය  අපරාධයක් බවත්, ඊට සම්බන්ධ නිලධාරින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකය.

මෙම නඩුව නීතිපති නියෝග මත අවසන් නොකර නඩු ගොනුව බහා තබන ලෙස නීතිඥ සේනක පෙරේරා මහතා ඊයේ වැලිසරය අධිකරණයෙන් ඉල්ලා සිටීන ලදී. අදාල ඉල්ලීම සලකා බලා  ඒ සම්බන්ධව නියෝගය ලබා දීම දෙසැම්බර් 13 වන දිනට කල් තබා තිබේ.

කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස සහ කොවිඩ් වැළඳුණු රැඳවියන් නිසි ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමුකරන ලෙස ඉල්ලමින් 2020 වසරේ නොවැම්බර් 29 මහර බන්ධනාගාරය තුළ රැදවියන් විසින් කරන ලද උද්ඝෝෂණයක් අතරතුර බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමකින් රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් මෙම නඩුව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබේ.

 

Social Sharing
නවතම පුවත්